අලි පරපුර වෙනුවෙන් දිවිදුන් පනාමුරේ ඇත් රජු – Saru News Media

0
2

අලියා යනු බුද්ධිමත් සතෙකි. යටත්විජිත සමය ලංකාවේ මිනිසුන්ට මෙන්ම තිරිසන් සතුන්ටද මහත් පීඩාවන් ඇති කළ කාල වකවානුවකි. එවකට සමූහ වශයෙන් අලි ගාල්කොට අල්වාගෙන පිටරටට අපනයනය කරන ලදී. නැතහොත් මාර්ග ඉදිකිරීම්, බර ඇදීම් ආදී වැඩ වලට අලින් යොදවන ලදී. අලි ගාල් කර, අලි අල්ලාගැනීමට විරුද්ධව මිනිසුන්ද පෙනී සිටියත් ලංකාවේ අලි ගාල් පැවැත්වීම නැතිකිරීමට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ පනාමුරේ හස්තිරාජයාය. පනාමුරේ ඇත් ගාල හා ඒ හස්තියාගේ කැපකිරීම 1950 දී පනාමුරෙන් පටන් ගෙන, අලිගාල් ලංකාවෙන්ම ඉවත් කිරීමට සමත් විය.

 

ගාලකට කොටු කර අලි ඇල්ලීම අලි ඇල්ලීමේ එක් ක්‍රමයකි. එහිදී වල් අලින් එන දියමංකඩක් අසබඩ භූමියක් වෙන් කොට, එය දඬු වැටකින් ආවරණය කිරීම සිදු වේ. එහි කණු සිටුවන්නේ ගැඹුරු වලවල් කපා, ඒ තුළට හිර නොවන සේ කණු බැස්සවීමෙනි. එනම් අලියා පැමිණ වැටට ගැසූ පසු නැවත වැට ගැස්සී අලියාටම වදී. මෙසේ කාලයක් තිස්සේ අලි වැට සකස් කොට, ගාල ඇටවූ පසු අලි දැක්කීම කළ යුතුය. අලි ගාලක් තැනීමේදී වල් අලින්ට මෙන්ම හීලෑ අලින්ටද අවකාශයක් තිබේ. ඒ අවකාශ වෙන්කොට අලි ඇල්ලීම් බලන්නට එන පිරිසටද ඉඩ වෙන් කිරීම පනාමුරේ අලි ගාලේදී සිදුවුණි.

 

පනාමුරේ ඇත් ගාල පිහිටියේ මඩුවන්වෙල රටේ මහත්තයාගේ නින්දගමකය. 1950 දී එම අලි ඇල්ලීමේ කාර්යය සහ මෙම කලාපය එවකට ලංකාවේ කතානායක වූ සර් ෆ්‍රැන්සිස් මොළමුරේ මහතා සතුවිය. ඔහු අලි ඇතුන් පිරිස පහසුවෙන් අල්ලා ගැනීමට මෙම පනාමුරේ ඇත් ගාල පිහිටුවන ලදී. එකල එම පනාමුරේ ඇත් ගාල එවකට ලංකාවේ සිටි සුදු ජාතිකයින්ට සහ වංශවතුන්ට විනෝද ස්ථානයක් ලෙසද ප්‍රකට විය. හීලෑ අලි මාර්ගයෙන් වල් අලි මෙල්ල කරගන්නා අයුරු බැලීමට මැසි මත්තේ මැසි බැඳගනිමින් නරඹන්නන් ලක ලැහැස්ති වූහ.

 

අලි ගාලේදී එක් එක් හස්තියා වෙත කිට්ටු කරන හීලෑ අලින් මාර්ගයෙන් වල් අලි එක එකා බැඳ ගැනීම සිදුවේ. මෙය අනතුරුදායක වැඩක් වුවත්, ඒ සඳහා පළපුරුදු පිරිස් ඒ කාර්යයට සිටිති. එහෙත් මේ අලි අල්ලාගැනීමේ වැඩට එක් අලියෙකු මහත් බාධාවක් විය. එම අලියා සිටින තැනට කිට්ටු කරන්නටවත් හීලෑ අලින්ට නොහැකි විය. කොටින්ම විටෙක හීලෑ අලින්ටද පහර දෙන්නට වූ මේ මහා අලියා, අලි අල්ලන්නන්වද හිස් ලූ ලූ අත දුවවමින් මුළු මහත් අලි ගාල පුරා දෙතුන් දවසක් තිස්සේ පෙරළි කරන්නට විය. අවසන අලි ගාලේ ද්වාරය හැර, යන්නට දුන්නද සිය බැඳ තැබූ සඟයින් දමා යන්නට මේ අලියා කැමති වූයේ නැත. එම සිදුවීම ඉතාම ඛේදජනක ලෙස අලියාගේ මරණයෙන් කෙළවර විය. පසුව එම ඛේදවාචකය පනාමුරේ ඇත් රාජා ලෙස ලංකාවේ පමණක් නොව ලොව පුරාද පතල විය.

 

අලි ගාලට පිටින් ඇතුළු වූ අලි 27කි. ඒ අලි මෙල්ලකර බැඳ ගැනීමට සිටි අලි 14කි. මෙම අලි ඇල්ලීම කරන අතර නායක හස්තියාගේ හදිසි ප්‍රහාර වලින් හීලෑ අලි සේම අලි අල්ලන ප්‍රවීණයෝද බියෙන් සැලී ගියෝය. අල්වාගෙන, බැඳගෙන සිටි වල් අලිද මෙම නායක හස්තියාගේ එඩිතර ගතිය නිසා නම්මාගන්නට නොහැකි ආකාරයක් දිස් වන්නට විය. එවකට ලංකාවේ ආණ්ඩුකාර ලෙස සිටි සෝල්බරි සාමි, හමුදාපති රෝස්, දොස්තර ස්පිටල් ආදී ප්‍රභූන් පිරිසක්ද වරක් අලි ගාල තුළ සංචාරයට සැරසුණි. එහෙත් මේ නිලතල වල කිසිත් වැදගත් කමක් නොදුටු නායක අලියා, ඔවුන් පසුපසද එලවූයේය. ප්‍රභූ පිරිසට අගලකින් පැන, යාන්තම් දිවි ගලවාගන්නට හැකිවුණි.

 

පනාමුරේ ඇත් රාජා ලෙස අභිෂේක ලැබුවද මෙම පෙරළිකාර සතා අලියෙක් විය. උගේ දළ ඇතකු මෙන් දිගු දත් දකින්නට නොලැබුණි. උස අඩි 9ක් පමණ, වයස 25ක් තරමේ වූ මේ හස්තියා ගාලේ සිටි අනෙක් සියලුම අලින්ට වඩා උසින් වැඩි එකකු විය. නායකයා සිටියදී දවස් තුනකදී ඉතිරි වල් අලි ටික අල්ලා, එනම් අලින් 26ක්ම ගස් බැඳගන්නට අලිගාලේ පිරිසට හැකි විය. එදා පනාමුරේ ගාලේ දී අලින් සියලුම දෙනා අල්ලා ගස් බැඳ, ඉන් පසු ගාලෙන් එළියට ගැනීම ගාලේ ක්‍රමය විය.

 

වැඩේ සම්පූර්ණ කර ගාල අවසන් කිරීමට විසල් හස්තියාද අල්ලා ගත යුතුම විය. ගෙවී ගිය කාලය දවස් තුනකි. සියල්ලෝම හෙම්බත්ය. ගස් වල වරපට වලින් බැඳ සිටි අල්ලාගත් අලි, කකුල් වල තුවාල ඇතිව නොයෙක් දුකින් සිටියෝය. හිලෑ අලිද කොයි මොහොතේ හෝ අර රුදුරු මහ එකා පැමිණ ගහන්නේදැයි අවධානයෙන් සිටියෝය. මේ පුවත රට වටා ගොස් එය මොලමුරේ මහතාගේ දේශපාලනයටද බලපෑම් කරන්නට විය. අලි ගාලේ තිබූ මුල් සිරියද ටිකෙන් ටික පහව යමින් පැවතුණි. එහෙත් මේ එකකින්වත් අර ඉහත කී විසල් අලියාගේ දරුණු ගතියට නම් වෙනසක් නොවීය.

 

තැන තෝරාගෙන, පිරිස් පත්කර, අලිගාල් ඉදිකර මාස ගණනක් තිස්සේ වෙහෙස මහන්සි වී අල්වාගත් අලින් 26 දෙනා, මේ එක් විශාල හස්තියෙක් නිසා නැතිකර ගන්නට මොලමුරේ අකමැති විය. ඔහු හොඳින් කල්පනා කර බැලුවේය. මෙල්ල කිරීමට තබා වල් අලින් ළඟට යෑමටද හීලෑ අලි හෝ අලි අල්ලන්නෝ බියය. ඒ හැර නිතර බැඳ ඇති සිය සඟයන් අසලට ගොස්, වරපටවල් නිදහස් කරගන්නට මහ අලියා වෙරදරයි. අලිගාලට ආගන්තුකයෙක් පැමිණියොත්, කිසිම පැකිලීමක් නැතිව ඔසවා පොලොවේ ගැසීමද මේ නායක අලියාට ලොකු වැඩක් නොවීය. කොටින්ම ගාලේ දොර ඇරියත් වනයට නොයා, සිය සඟයින් වෙනුවෙන් පෙනී සිටීම නායක හස්තියාගේ තීරණය විය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here