අවුරුදු බෝනස් එක ඔබට වාසිම විදිහට පාවිච්චි කරන්නේ කොහොමද – how to use bonus in productive way – Saru News Media

0
3

ඔබ රැකියාව කරන බොහෝ ආයතන තමුන්ගේ සේවකයන්ට නිසි ලෙසින් සළකන ආයතන නම්, සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් තම ලාභයෙන් කොටසක් සේවකයන්ට අවුරුදු බෝනස් ලෙසින් වෙන් කිරීම දකින්න පුළුවන් තත්ත්වයක්. අන්න ඒ විදියට ඔයගොල්ලොන්ගේ අතට ආපු අවුරුදු බෝනස් එක ඔබේම වාසියට යස ඉසුරු කැන්දන බෝනස් එකක් බවට පත් කර  ගන්නට හැකි ක්‍රමයක් පිළිබඳවයි අපේ මෙවර සටහන ලියැවෙන්නේ. ඒ නිසාම ඔබේ අතට ලැබුන ඒ අමතර මුදල වඩා ඵලදායී විදියකට යෙදවිය හැකි ක්‍රම කිහිපයක් දැනගන්නට මේ සටහන කියවන්න.

 

අපි පෘතග්ජන මිනිස්සු විදියට අපේ හිත ඇතුළේ අපි ගැනම තියෙන සුවිශේෂ හැඟීමක් තියෙනවා.ඒ නිසා අන් සැමට කලින් අපි අපිටම යමක් කරගත යුතුයි යන හැඟීම ගොඩ නැගෙන්න පුළුවන්. ඒ විදියට තමුන්ටම යමක් කරගන්නවා නම් හොඳම දේ වෙන්නේ තමුන්ගේ නීරෝගිකම ඉහළ නංවාගැනීමයි. මොකද නිරෝගී සම්පත හැර සැපතක් ලොවේ කොයින්ද කියලා සුනිල් එදිරිසිංහයන්ගේ මධුර හඬින් ගයනවා අපිට ඇහිලත් තියෙනවනේ. සුනිල් එදිරිසිංහයන්ගේ වැඩිමහල් සොහොයුරා වෙච්ච සරත්චන්ද්‍ර එදිරිසිංහ මහත්තයත් මේ දිනවල අවුරුදු බෝනස් එක යෙදවිය හැකි යස ඉසුරින් පිරි කදිම ආයෝජනයක් ගැන හඳුන්වා දෙනවා ඔබ රූපවාහිනියෙන් දැකලත් ඇති. ඉතින් ඒ නිරෝගී සැප ලං කරගන්න අපිට පුළුවන් හොඳ උත්සහයක් විදියට, අපිට ලැබුන  බෝනස් මුදල කායවර්ධන මාධ්‍යස්ථානයකට යොදවන්න හෝ අපේම කායවර්ධන උපාංගයක් මිළදී ගැනීම වෙනුවෙන් යොදවන්නත් හැකියාව තියෙනවා.

 

මේ මොහොතේ ඔබට අවශ්‍යම දේ කුමක්ද ? මේ කියන්නේ එදිනෙදා ජීවිතයේ ඔබේ වැඩකටයුතු පහසු කරවන උපාංගයක් හෝ ඔබේ රැකියාවේ කටයුතු පහසු කරවන උපාංගයක් පිළිබඳවයි. එය ඔබගේ ගමන බිමන පහසු කරගනිමින් කාලයද ඉතිරිකරගත හැකි බයිසිකලයක් විය හැකියි. නැතිනම් ඔබේ නිවසේ මෙන්ම මගතොට වැඩකටයුතුත් තාක්ෂනය හා බද්ධව ඉක්මනින් සිදුකරගත හැකි ලැප්ටොප් එකක් හෝ ටැබ් එකක් විය හැකියි. නැතිනම් ඔබේ වැඩකටයුතු වලට අත්‍යවශ්‍යම පෝටබල් හාඩ් එකක් හෝ ස්මාට්ෆෝන් එකක් විය හැකියි. ඒ සියල්ල අවශ්‍යතාවය අනුව ඔබ විදින් ඔබ සතු කර ගත යුතු දේ නිසා ඔබේ අවුරුදු බෝනස් එක ඒ වෙනුවෙන් යෙදවීම වඩා යෝග්‍යයි.

 

ඔබේ සිත වැඩි වශයෙන්ම සැනහෙන්නට නම් ඔබේ විනෝදාංශය වෙනුවෙන්ද ඔබ සැලකිය යුතු ඉඩක් වෙන් කල යුතුයි. ඒ වෙනුවෙන් ඔබේ කාලය පමණක් නොව මුදල් හා ශක්තිය වැය කල යුතුයි. ඒ හරහා ඔබේ සිතට එන සැනසීම සහ නව අදහස්, ඔබේ ජීවිතයේ අන් සියළු කටයුතු සාර්ථක කරගන්නට හැකි මාර්ගයක් ලෙසින් ඔබටම පසුදිනෙක වාසිදායක තත්ත්වයක් උදාකරන බව නොරහසක්. ඒ නිසා ඔබේ විනෝදාංශය වෙනුවෙන් කැමරාවක්, ඔබ කඳු නගින්නට කැමති අයෙකු නම් ඒ වෙනුවෙන් දුරදක්නයක්, ඔබේ වැඩකටයුතුවලට ඔරොත්තු දෙන මිලෙන් අධික බැක්පැක් එකක් මිළදී ගන්නට ඒ මුදල යොදවන්නට හැකියි.

 

ඔබට ලැබෙන බෝනස් මුදල ඔබේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් ලෙසින් යෙදවීමත් එම බෝනස් මුදලට ඔබ සිදු කරන්නට හැකි ඉහළම වටිනාකමක් ඇති දෙයක්. එනිසා එය වඩා විශ්වාසී, වඩා ආරක්ෂාකාරී මෙන්ම ඔබට නැවත වැඩි වටිනාකමක් ලැබෙන ආයෝජනයක් යැයි සහතික කරගත හැකි ස්ථාවර ඉතුරුම් ගිණුමක තැම්පත් කිරීම යෝග්‍යයි. ඒ වෙනුවෙන් විශ්වාසනීය තැම්පතුවකට හොඳම සහතිකය ලැබෙන දේශීය ආයතනයක් තෝරාගන්නට සැලකිලිමත් වන්න.

 

ඔබේ නිවසේ ඔබ හා කල් ගෙවන ඔබේ පවුලේ අය සතුටු කරන්නට හැකි නම් එය වඩා වැඩි වටිනාකමක් ඔබට අත් කර දෙනු ඇති. ඒ වෙනුවෙන් පවුලේ සැමට එකසේ භාවිතා කළ හැකි ඔබේ නිවසටත් වැඩි වටිනාකමක් එක කළ හැකි සාලයට සෝෆාවක් හෝ නවීන පන්නයේ රූපවාහිනී යන්ත්‍රයක් තෝරාගන්නටත් ඔබට හැකියි. එනිසා ඔබට ආදරය කරන ඔබේ ලබැඳියන් සියල්ලන්ගේ අවශ්‍යතා සපිරෙන පරිදි පවුලේ සැමට සරිලන යමක් ඔබේ නිවසට එක් කර ගැනීමත් මේ අවුරුදු බෝනස් එක සාර්ථකව යොදාගත හැකි අවස්ථාවක් ලෙසින් දක්වන්නට පුළුවන්.

 

How to use bonus in productive way

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here