ඈත දුර සැටලයිට් පෘථිවිය සමග ගනුදෙනු කරන හැටි – Saru News Media

0
5

සන්නිවේදන කාර්යයන්ට කෘත්‍රිම චන්ද්‍රිකා අදටත් යොදා ගන්නවා. සාමාන්‍ය ස්මාට්ෆෝන් හරහා කෙරෙන සන්නිවේදන කටයුතු වලට දැන් නම් සැටලයිට් වැඩි පාවිච්චියක් නැහැ. ඒත් ස්මාට් ෆෝන් එකේම ජී පී එස් (GPS) මැපින් වලට සැටලයිට් වල පිහිටාධාර ලබාගන්නවා. රූපවාහිනී සන්නිවේදන කටයුතු, හුදකලා පළාත් වලට ජාල පහසුකම් ලබාදෙන්න වගේම කාලගුණික දත්ත එක්රැස් කරන්නත් චන්ද්‍රිකා බහුල වශයෙන් පාවිච්චි වෙනවා. පෘථිවි ගෝලයට ඉහළින් විවිධ කක්ෂ වල චන්ද්‍රිකා රැසක් දැනටත් තියෙනවා. මේ චන්ද්‍රිකා මොනවද, ඒවායේ කාර්යයන් මොනවද කියලා අපි ටිකක් බලමු.

 

විකාශන කටයුතු වලට සැටලයිට් යොදාගැනීම ලේසියි. ඒ කියන්නේ රූපවාහිනී සංඥා නිසි පරිදි හුවමාරු කරගන්න සැටලයිට් තාක්ෂණය පහසුවක්. සැටලයිට් මගින් මුළු ලෝකයම ආවරණය කරන්නත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා මැපින් කටයුතු වලට වගේම කාලගුණ දත්ත ලබාගන්නත් සැටලයිට් පාවිච්චි වෙනවා. ඇමසන් වනය මැද, සහරා කතර මැද වගේම ඈත ඇන්ටාක්ටිකාවේ ශීත බිම් වලට පවා සැටලයිට් හරහා සන්නිවේදන පහසුකම ගන්න පුළුවන්. භූමියේ කඳු, කාන්තාර, ජල තලා ආදී බාධා තිබුණත් චන්ද්‍රිකා හරහා කරන සන්නිවේදනයට ඒ කිසිවක් බාධා කරන්නේ නැහැ.

 

ලංකාවේ තාක්ෂණය ගැන කියද්දි අපිට තාම චන්ද්‍රිකාවක් වත් යවාගන්න බැරිවුණා නේද කියලා පසුතැවෙන අවස්ථා තියෙනවා. රොකට් තාක්ෂණය දියුණු වීම එක්ක ඉන්දියාවට නම් සැටලයිට් තාක්ෂණයට අනුකූලව ගුවන් ගත කරන්න හැකියාව ලැබුණා. සැටලයිට් තාක්ෂණය ටිකක් වැඩිපුර පාවිච්චි වෙන අංශයක්. ඒ වගේම සැටලයිට් එකක් ගුවන් ගත කරන්න සැළකිය යුතු මුදලකුත් වියදම් වෙනවා. ඒ වගේම සැටලයිට් වලින් සිදුවන සන්නිවේදන කටයුතු වලට වළාකුළු ආදියෙන් බාධා වෙනවා. සැටලයිට් ගොඩක් ගුවන් ගත වෙලා තියෙන අවස්ථාවක ඒ ඒ සංඥා මිශ්‍රවීම නිසා ගැටළු ඇතිවෙන්නත් ඉඩකඩ තියෙනවා.

 

පොළවේ සිට කිලෝමීටර 35,900 කට විතර උඩින් කක්ෂයක භූ ස්ථාවර චන්ද්‍රිකා තියෙනවා. මේ චන්ද්‍රිකා සමකයට උඩින් එක්තරා තැනක මුළු අවුරුද්ද පුරාම ස්ථානගත වෙලා තියෙනවා. යම් යම් සාධක නිසා පෝඩ්ඩක් එහා මෙහා වුණත් නැවත පුරුදු තැනට ගිහින් සේවය සපයන්න මේ චන්ද්‍රිකා වල යාන්ත්‍රණ තියෙනවා. ඊට පහලින් මැද මට්ටමේ තවත් චන්ද්‍රිකා විශේෂයක් තියෙනවා. ඒ වගේම පහලම කක්ෂයේ තියෙන චන්ද්‍රිකා ඡායාරූප ගැනීම වගේම වෙනත් සන්නිවේදන කටයුතු වලටත් දායක වෙනවා. භූ ස්ථාවර නැති චන්ද්‍රිකා නිතරම පෘථිවිය වටා වේගයෙන් කැරකෙනවා. ඒ නිසා ඒ වගේ චන්ද්‍රිකා වලින් දත්ත ලබාගනිද්දි එකවර චන්ද්‍රිකා රැසක් ගුවන් ගත කරලා ඒ ඇසුරින් දත්ත එක්රැස් කරගන්න කටයුතු කරනවා.

 

 

මෙතෙක් කිලෝමීටර හත් අටදාහක් උඩ හෝ නැතිනම් භූ ස්ථාවර මට්ටමේ තියෙන චන්ද්‍රිකා හරහා තමයි සන්නිවේදන කටයුතු වඩාත්ම සිද්ධ කරගත්තේ. ඒත් පෘථිවි කක්ෂයට තියෙන උස වැඩිවෙනකොට ඩිලේ එක වැඩියි. සරලවම කිවුවොත් රේඩියෝ සංඥා කිලෝමීටර දහදාස් ගාණක් දුර වාතය හරහා යද්දි අපේ සන්නිවේදන කටයුතුවලට සැළකිය යුතු වෙලාවක් ගත වෙනවා. ඒ නිසා අන්තර්ජාල කටයුතු වලට මෙතෙක් සැටලයිට් සම්බන්ධ කරගන්න එක එතරම් ප්‍රායෝගික වුණේ නැහැ. ඒත් පෘථිවි ගෝලයට කිලෝමීටර 800 -1500 සීමාවේ තිබෙන චන්ද්‍රිකා රැසක් මගින් දැනට ලෝකයේ තිබෙන වේගවත්ම දිගු දුර සන්නිවේදන මාධ්‍යය වන ඔප්ටිකල් ෆයිබර් වලටත් වඩා වේගයෙන් දත්ත හුවමාරු කරගන්න පුළුවන් කියලා න්‍යායාත්මකව සොයාගෙන තියෙනවා. පසුගිය වසරේ ඉලොන් මස්ක් ඇතුළු ස්පේස් එක්ස් කණ්ඩායමකුත් මේ ගැන පර්යේෂණ කරලා තිබුණා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here