උතුරු ඉන්දියාවෙන් පැමිණි ඉස්ලාම් ආක්‍රමණිකයන්ට අභියෝග කළ විජයනගර අධිරාජ්‍යය – Saru News Media

0
10

අපි අද ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ අසල්වැසි ඉන්දියාවේ ඉතිහාසය ගැන කතා කරද්දි මගහැරිය නොහැකිම අධිරාජ්‍යයක් පිළිබඳව. වසර 300 ක පමණ කාලයක් ඩෙකෑන් සානුව කේන්ද්‍රකරගෙන සමස්ත දකුණු ඉන්දියාව පුරාම ආධිපත්‍ය පතුරුවා ගැනීමට සමත් වුණු විජයනගර අධිරාජ්‍යය ඉන්දියාව තුළ හින්දු සභ්‍යත්වය ආරක්ෂා කර ගැනීමට විශිෂ්ට කාර්යභාරයක් ඉෂ්ට කරනු ලැබුවා. ඒ වන විට උතුරු ඉන්දියාව ඉස්ලාම් ආක්‍රමණිකයන්ගේ යටතට පත්ව තිබීම නිසා ඔවුන්ගෙන් හින්දු ආගම සඳහා රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණේ නැහැ. එපමණක් නොව හින්දු ආගම ඇදහීමටද යම්තාක් දුරකට බාධා එල්ල වුණා. එවැනි පසුබිමක විජයනගර හින්දු අධිරාජ්‍යය සමස්ත ඉන්දියාවේම උරුමය ආරක්ෂා කිරීමට දායක වූවා කිවහොත් වැරදි නැහැ.

 

14 වන සියවස වන විට උතුරු ඉන්දියාව ආක්‍රමණය කර තිබූ ඉස්ලාම් ආක්‍රමණිකයන් කෙමෙන් කෙමෙන් මධ්‍යම ඉන්දියාවට සහ දකුණු ඉන්දියාවට තර්ජනය එල්ල කරමින් පැවතුණා. ඩෙකෑන ප්‍රදේශයේ හොයිසාලා රාජ්‍යය දිල්ලි සුල්තාන්වරයාගේ ආධිපත්‍යයට එරෙහිව සටන් වැදුණු අතර එහි ප්‍රතිඵලය වූයේ මධ්‍යම ඉන්දියාව ආශ්‍රිතව පැවති රාජ්‍ය කීපයක් එක්සත් කරගනිමින් විජයනගර අධිරාජ්‍යය ආරම්භ වීමයි.

 

පළමුවැනි හරිහර ලෙස හැඳින්වෙන විජයනගර අධිරාජ්‍යයේ ආරම්භක රජු සැළකෙන්නේ යාදව රාජ වංශයට අයත් පුද්ගලයකු ලෙසයි. එසේම හොයිසාලා රාජවංශය සමග ඔහුගේ සමීප ඥාති සබඳතා සබඳකම් තිබුණා. වර්තමාන කර්ණාටක ප්‍රාන්තයේ බටහිර වෙරළ ආසන්නයේ බලකොටුවක් තැනීමෙන් ඔහු සිය බලය ව්‍යාප්ත කර ගැනීම ආරම්භ කරනු ලැබුවා. ඔහුගේ සහෝදරයන් ඔහු විසින් ආරම්භ කර තිබූ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනු ලැබුවා.

 

සිය රාජ කාලයේ පළමු දශක දෙක තුළදී තුංගභද්‍ර නදියෙන් පහත කොටසේ ආධිපත්‍ය ලබා ගැනීමට පළමු හරිහර රජු සමත් වුණා. ඉන් අනතුරුව රාජ්‍යත්වයට පත් පළමු බුක්කා රාය රජු තවදුරටත් තම ආධිපත්‍ය දකුණු දිගට ගෙන යාමට සමත් වුණා. මධුරෙයි නගරය කේන්ද්‍ර කරගෙන ගොඩනැගී තිබුණු සුල්තාන් රාජ්‍යයද තමන් යටතට ගැනීමෙන් ඔහු සිය ජනප්‍රියත්වය වැඩි කර ගනු ලැබුවා. ආරම්භයේ දී අනේගුන්ඩි නම් කුඩා නගරය අගනුවර කරගෙන තිබූ ඔහු විසින් පසුව අගනුවර විජය නගරය බවට පත් කර ගත්තා. මේ නිසා එතැන් පටන් කර්ණාටක අධිරාජ්‍යය විජයනගර අධිරාජ්‍යය ලෙස හැඳින්වීමට පටන් ගත්තා.

 

ක්‍රිෂ්ණ දේව රජුගේ සමයේදී දිගින් දිගටම විජයනගර හමුදාවන් ජයග්‍රහණයෙන් ජයග්‍රහණය අත්පත් කරගත් අතර ඩෙකෑන් සානුවෙන් නොනැවතී උතුරු ඉන්දියානු රාජ්‍ය කරා ඔවුන් සිය බලය ගෙන ගියා. ඔහුගෙන් පසුව රාජවංශය තුළ බල අරගල ඇති වුණු අතර අලිය රාම රාය නම් රජු සිය බලය පවත්වා ගැනීමට මුස්ලිම් සේනාධිනායකයන් සිය හමුදාව වෙත අනුයුක්ත කරනු ලැබුවා. එහි ප්‍රතිඵලය වූයේ සිය රට වැසියන් තුළ ඔහු අප්‍රසාදයට පත් වීමයි. අවසානයේදී විජය නගර් අධිරාජ්‍යයේ අසල්වැසි උතුරු ඉන්දීය සුල්තාන් රාජ්‍ය සියල්ලම ඒකාබද්ධ වී ප්‍රහාරයක් එල්ල කළ අතර සටන් බිමේදී අල්ලාගත් අලිය රාම රායගේ හිස ගසා දමනු ලැබුවා. ඉන් අනතුරුව විජය නගරය කරා ඇදුණු එම හමුදාවන් නගරය කොල්ලකා සුන්බුන් ගොඩක් බවට පත් කරනු ලැබුවා. ඉන්පසුව කිසිදිනක එම නගරය පැරණි ශ්‍රී විභූතියට පැමිණියේ නැහැ.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here