ඔබත් ගේම් වලට ඇබ්බැහි වෙලාද? එහෙනම් මේ අවදානම් ගැනත් නැවත සිතන්න – Saru News Media

0
4

වීඩියෝ ගේම් එකකට දරුවා පුරුදු පුහුණු කළාට පස්සේ ඉතින් ඔහුගෙන් වැඩි කරදරයක් නැහැ. බෝල ගහනවා වගේ ගෙදර වීදුරු වලට කරදරයකුත් නැහැ, යාලුවෝ එක්ක ගිහින් නාස්ති වෙයි කියලා බයකුත් නැහැ. ඒත් වීඩියෝ ගේම් කියන්නේ ඇබ්බැහි වුනොත් ලේසිපාසු දෙයක් නෙමෙයි. වීඩියෝ ගේම් වලට ඇලුනොත් වෙන්න පුලුවන් හානි ගොඩක් තියෙනවා. එයින් කිහිපයක් ගැන අපි බලමු.

 

වැඩිහිටියන් වගේ යොවුන් වියේ අය සහ ළමුන් රස්සාවක් කරන්නෙ නැති නිසා ඔවුන්ට කාලය සම්බන්ධ ලොකු ප්‍රශ්න නැහැ. රැකියාවක් හෝ බිස්නස් එකක් කරන කෙනෙක් නම් මේ ගේම්ස් වෙනුවෙන් වැඩිපුර නාස්තිවෙන්නෙ ඒ වෙනුවෙන් වැයකරන්න පුලුවන් වටිනා කාලය. වීඩියෝ ගේම්ස් සෙල්ලම් කරනවා කියන්නේ ලාබ වැඩක් නෙමෙයි. සාමාන්‍ය පරිගණකයකින් අලුත් ගේම් සෙල්ලම් කරන්න නම් හොඳ මට්ටමේ හාඩ්වෙයාර් තියෙන්නට ඕනා. අන්තර්ජාල ගේම් නම් ඔප්ටිකල් ෆයිබර් කනෙක්ශන් එකක් ඕනා. මේ හැමදෙයක් වෙනුවෙන්ම අමතර වියදමක් දරන්න වෙනවා. ලංකාවෙදි නම් ගේම් හොරෙන් කොපි කරගෙන ඉන්ස්ටෝල් කරගන්න පුලුවන් වුනත්, වෙනත් රටවලදි නම් අලුත් ගේම්ස් කියන්නේ ටිකක් මිල අධික දෙයක්.  ඉතිං ගේම් වලට දැනට කීයක් වියදම් වෙලා ඇතිද? ඒ වගේම කීයක් තව යයිද? ගේම් ලෝකයෙන් එළියට ආපු වෙලාවක මේ ගැනත් හිතන එක වැදගත්.

 

ගේම් වලට හුරු වූ අයට ඉක්මණින්ම භින්නෝන්මාදය වැනි මානසික රෝග හැදෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඉක්මණින් තරහ යෑම, නොසැලකිලිමත්කම ආදී මානසික ගැටළු ගේම් වලට ඇබ්බැහි වීමත් එක්ක එන්න පුලුවන් කියා විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා.

 

ගේම් වල එල්ලුන අයට වැඩිය යාලුවෝ ඕනි නැහැ. වැඩිය කණ්ඩායම් එක්ක සෙට් වෙන්න ඕනා නැහැ. ඔවුන් ජීවත් වෙන්නේ පරිගණකයේ මැවුණු ලෝකයක. එවන් ආකාරයට දවසේ විවේක කාලය ගේම් එක්ක බෙදාගන්න අය සමාජයෙන් ඈත් වෙනවා බොහොම ඉක්මණින්ම. හොඳ සමාජ ආශ්‍රයක් තිබීම අපේ මානසික සෞඛ්‍යයටත් බලපාන දෙයක්. ගේම් එක අස්සට ගියාට පස්සේ නිවසට එන අමුත්තෙක් එක්ක හිනාවෙන්න, කතාකරන්නවත් ගේම් ගහන අය කැමති නැහැ. වීඩියෝ ගේම් එකෙන් ඒ ගේම් එකට මිනිස්සු ඇදගත්තත්, ඒ අය ජීවත්වෙන සමාජයෙන් මිනිස්සු ඈත් කරන්න ගේම් වලට හැකියාව ලැබිලා තියෙනවා.

 

එකතැනක බොහෝ වේලා වාඩිවෙලා ඉඳීම කියන්නේ ලෙඩ ගොඩකට අත වැනීමක්. ගේම් වලට ඇබ්බැහි වුන අයට නින්ද හරියට එන්නෙත් නැහැ. ඒ වගේම ගේම් එකට සෙට් වුනාට පස්සේ සමහර අයට රෑ වෙනවා, දවල් වෙනවා තේරෙන්නෙත් නැහැ. එක පැත්තකින් ව්‍යායාමයක් නැතුව කරන ගේම් ගැහිල්ලෙන් සිරුරට වෙන්නේ පිටිගුලියක් වගේ පුටුවක් උඩ වාඩිවෙලා පැය ගණන් ගත කරන්න. අනෙක් අතින් මනස කෘත්‍රිම අවකාශයක් තුළ සිටින කවරෙකු හෝ සමග යුද්ධ කරනවා. මෙය සෞඛ්‍ය ගැටළු බිහිවන්නට හොඳ තෝතැන්නක්.

 

පවුලක් වුනාම එකිනෙකා කෙරේ අවධානය තියෙන්නට ඕනි. සංවේදීකම තියෙන්නට ඕනි. පවුලක එක් අයෙක් හෝ ගේම් වලට ඇබ්බැහි වුනොත් ඒ පුද්ගලයා හුදකලා වෙනවා වගේම පවුලේ අනික් අයටත් එය බලපානවා. මෙය පවුල් අවුල් ඇතිවෙන්න වගේම, දුරදිග ගිහින් ආරවුල් ඇතිවෙන්නත් හේතු වෙනවා.

 

ගේම් වලට ගොඩක් දුරට යොමු වෙන්නේ වයස 30ට අඩු පිරිස්. මේ බොහොමයක් දෙනා කුමක් හෝ ඉලක්කයක් වෙනුවෙන් ඉගෙනගන්නා අය. දිනපතා ගේම් එකත් එක්ක නොවැරදීම සෙට් වෙන්න මතක් වෙනවා. ඒත් පාඩම් වැඩ ගැන නම් එහෙම උනන්දුවක් ඇතිවෙන්නේ කලාතුරකින්. අධ්‍යාපනය කියන්නේ කෙලින්ම විෂය හැදෑරීමම නෙමෙයි. ගේම් එකක සතුරෙක්ගේ ප්‍රහාරයක් සොයමින් පැය ගණන් නාස්තිවෙන කාලය කියන්නේ පොතක් පතක් කියවන්න, වීඩියෝවකින් යමක් ඉගෙනගන්න සහ අත්දැකීම් ගන්න යොදාගන්න පුළුවන් කාලය. ඉතිං අධ්‍යාපනය ලබන අයට වැඩිපුර ගේම් ගැසීම කියන්නේ අධ්‍යාපනය කියන ගේමට එච්චර හොඳ දෙයක් නෙමෙයි.

 

කොච්චර හොඳට ඉගෙනගත්තා වුනත්, තමුන්ගේ හැකියාවන් ලෝකෙට පෙන්වන්න බැරිනම්, හොඳ ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැතිනම් ඒ ඉගෙනගත් දේවලින් තේරුමක් නැහැ. සාමාන්‍ය ජීවිතයේ ක්‍රීඩා කටයුතු වලින් සහ සමාජ ක්‍රියාකාරකම් වලින් අපේ පෞරුෂය වර්ධනය වෙනවා. ඒත් වීඩියෝ ගේම් තුළ සිරවුණු අයට තමුන්ගේ පෞරුෂය හදාවඩා ගන්න සමාජය එක්ක ගැටෙන්න තියෙන අවස්ථා අඩුයි. ඉතිං ඇතැම්විට වීඩියෝ ගේම් එකෙන් තරු පිට තරු අරගෙන, හොඳ මෙඩල් ගන්න සුපිරි ගේමර්ස්ලා කියන්නේ මූණ බලන් වචන දෙකක් කතාකරගන්නත් බැරි තරම් සබකෝලය තියෙන උදවිය. ගේම් වලට ඇබ්බැහි වෙද්දි පෞරුෂය නැතිවීම ගැන හිතන එක වැදගත්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here