දැන් අපි හැමෝම වයසට යනවනේ. වයසට නොයන මනුස්සයෙක් නෑ. හැබැයි වයසට යනවා කියන්නේ අපි මුහුකුරා යනවා කියන එක නෙවෙයි. අර කීමට කියනවා වගේ මෝඩයොත් වයසට යනවා. එතකොට සාමාන්‍යයෙන් නම්, අපි වයස වැඩි වෙනකොට, බුද්ධිය අතින් මුහුකුරා යන්න ඕන. ඒ වගේම හැඟීම් අතිනුත්, ඒ කියන්නේ භාවාත්මක පැත්තෙනුත් මුහුකුරා යන්න ඕන. එතකොට දැන් බුද්ධිය මුහුකුරා යෑම කියන එක අපිට තේරුම් ගන්න පුලුවන්. මොකක්ද හැඟීම් අතින් මුහුකුරා යනවා කියන්නේ?
සරලවම කියනවා නම්, ඔබට ඔබේ හැඟීම් දැනීම් සම්බන්ධයෙන් මනා පාලනයක් තිබීම සහ, ඔබට හැඟීම් දැනීම් සම්බන්ධයෙන් මනා අවබෝධයක් තිබීම තමයි හැඟීම් අතින් මුහුකුරා යෑම කියන්නේ. සරලවම කියනවා නම්, හැඟීම් කියන්නේ ඔබේ දුර්වල තැනක් වෙන්නෙ නෑ, ඔබ ඒ පැත්තෙන් මුහුකුරා ගිහින් නම්. ඒ වෙනුවට ඔබ හැඟීම් වල වටිනාකම තේරුම් අරන් සිටීම සහ හැඟීම් ඔබගේ ඉදිරි ගමනට උදව්වක් වීම තමයි වෙන්න පුලුවන් දේ.
හරි, ඔබ හැඟීම් අතින් මුහුකුරා ගියපු කෙනෙක් කියලා දැනගන්නේ කොහොමද? ආන්න ඒක දැනගන්න පොයින්ට්ස් කීපයක් තමයි අපි මේ කියන්න යන්නේ.
අහල ඇතිනේ ගොඩක් අය කියන කතාවක් තියෙනවා, “පිස්සො කලබල වුණාට දොස්තර කලබල වෙන්නෙ නැහැ” කියලා. මේක කියන්න ලේසි වුණාට ඇත්තටම ප්‍රායෝගිකව ප්‍රැක්ටිස් කරන්න අමාරු දෙයක්. ඒ කියන්නේ, ඔය රණ්ඩුවක් වගේ දේකදී, එහෙම නැතිනම් සෝෂල් මීඩියා විවාදෙකදී එහෙම කලබල නොවී ඉන්න එක නෙවෙයි අවශ්‍ය වෙන්නේ. ඒ වෙනුවට, ජීවිතේ මොන ප්‍රශ්නෙකට මුහුණ දෙන්න සිද්ධ වුණත්, reactive නොවී responsive වෙන එක තමයි ඒකෙන් කියන්නේ. ඒක තව සරලව පැහැදිලි කළොත්, දෙයක් වුණහම ඒකට ක්ෂණිකව ප්‍රතික්‍රියා දක්වනවා වෙනුවට, හිතලා මතලා, කිරලා මැනලා ප්‍රතිචාර දක්වන එක. එහෙම ප්‍රතිචාර දක්වනකොට, ඒක හැඟීම් මත නෙවෙයි පදනම් වෙන්නේ, බුද්ධිය මත. ආන්න ඒක හැඟීම් අතින් මුහුකුරා ගිහින් කියන්න පුලුවන් ලක්ෂණයක්.
ඇත්තටම මෙහෙම ඕනම අවස්ථාවකට සන්සුන්ව මුහුණ දෙන්න පුලුවන් කෙනෙක් එක්ක ඉන්නකොට, ඒ අවට ඉන්න අයටත් ඒ සන්සුන්බවේ ශක්ති කදම්භය දැනෙනවා. ඒ අයත් සන්සුන් වෙනවා.
ඔය හැඟීම් අතින් මුහුකුරා නොගිය ගොඩක් දෙනෙක්ගේ විදියක් තමයි, මොකක් හරි දෙයක් වැරදුණු ගමන් වැරදිකාරයෝ හොයන එක. ගොඩක් වෙලාවට ඒ අය තමන්ගේ ජීවිතේ දෙයක් වැරදුනත්, තමන්ගේ අතින් වැරැද්දක් සිද්ධ වුණත්, මුලින්ම හොයන්නේ ඒකට වරද පටවන්න, බණින්න කෙනෙක්. එහෙම අයගේ හිතීමේ විදියට, ජීවිතේ හැමදේම වරදින්නේ අනුන් නිසා. අඩු ගාණේ සිස්ටම් එකේ හරි වැරැද්ද නිසා තමයි තමන්ට ඉස්සරහට යන්න බැරි කියලා තමයි මේ අය හිතන්නේ. කවදාවත් වගකීම ගන්න ලැහැස්ති නෑ. හැබැයි හැඟීම් අතින් මුහුකුරා ගියපු කෙනෙක් වැරදිකාරයෝ හොයන්න ඉක්මන් වෙන්නෙ නෑ. ඒ අය තමන් අතින් වැරැද්දක් වුණොත්, වහාම ඒ වගකීම ගන්නවා. වෙන කෙනෙක් අතින් වැරැද්දක් වුණොත්, වැරැද්ද වුණේ කොහොමද, කොතනද ගැටළුව කියලා හොයනවා. ඊට පස්සේ ඒ වෙනුවෙන් කරන්න ඕන දේ කරනවා. අන්න ඒකයි, හැඟීම් අතින් මුහුකුරා ගියපු කෙනෙක්ගේ අනාගතේ සාමාන්‍යයෙන් සෑහෙන්න සාර්ථක වෙන්නෙත්.
හැඟීම් අතින් මුහුකුරා ගියපු කෙනෙක් රැකියාව කරනකොට, එයාට වඩා පහළ ලෙවල් එකක හරි වයසින් බාල කෙනෙක් හරි ඇවිත් එයාගේ වැරැද්දක් පෙන්නුවොත්, එහෙම නැතිනම් එයා කරන දේ වඩාත් හොඳට කරන්න පුලුවන් ක්‍රමයක් පෙන්නලා දුන්නොත්, එයා ඒක අපහාසයක් විදියට හිතන්නෙ නෑ. ඒ වෙනුවට ඒ ගැන කෘතඥ වෙලා, තමන් කරන දේ වරදින්නෙ නැතුව වඩාත් හොඳින් කරන්න වග බලා ගන්නවා. කෙනෙක් එයාට අභියෝග කළොත්, ඒක තමන්ට තර්ජනයක් කියලා හිතන්නෙ නැතුව, ඒක තමන්ට වර්ධනය වෙන්න අවස්ථාවක් විදියට ගන්නවා. කෙනෙක් එයත් එක්ක යම් දේකට එකඟ නොවෙනවා නම්, ඒක පර්සනල් ගන්නෙ නැතුව, වෘත්තිමය තැනක තියලා හිතනවා. මෙන්න මේ නිසාම, විශේෂයෙන්ම වෘත්තිය ජීවිතේ, එහෙම නැතිනම් සමාජ ජීවිතේ ගැටළුවක්, මත ගැටුමක් මතු වුණත්, ඒක සාර්ථකව විසඳාගන්නත්, මේ හැඟීම් අතින් මුහුකුරා ගියපු කෙනෙක්ට හැකියාව තියෙනවා.
සාමාන්‍යයෙන් හැඟීම් අතින් මුහුකුරා නොගිය කෙනෙක්ට ඇතිවෙන ප්‍රශ්නයක් තමයි, තමන් කරන කියන හැමදේකටම අනික් අයගෙන් අනුමැතියක්, වලංගු භාවයක් බලාපොරොත්තු වීම. වෙනත් විදියකට කියනවා නම්, ඒ අයට තමන් ගැන හොඳ හැඟීමක් ඇති වෙන්න නම්, බාහිර අය, ඒ කියන්නේ පවුලේ අය හරි, යාළුමිත්‍රයෝ හරි, වැඩ කරන තැන අය හරි ඒ අය “හොඳයි” කියලා, ඒ අය කරන දේවල් “හොඳයි” කියලා කියන්න ඕන. ඒ විතරක් නෙවෙයි, ඒ අයට තමන් කරන දේ හරියි කියලා හිතෙන්නේ එහෙම ඇහුවොත් විතරයි.
ඇත්තටම අපි ඕනම කෙනෙක්, ඒ කියන්නේ හැඟීම් අතින් මුහුකුරා ගියපු කෙනෙක් වුණත්, එහෙම නැති කෙනෙක් වුණත් කැමතියි අපිට අනික් අය ප්‍රශංසා කරනවට. හැබැයි අනික් අය අපි ගැන දරණ හොඳ මතය සම්බන්ධයෙන් සතුටු වෙන එක සහ ඒ මත යැපෙන එක කියන්නේ දේවල් දෙකක්. හැඟීම් අතින් මුහුකුරා ගියපු කෙනෙක්ට, තමන් ගැන ලෝකේ අනික් අයගෙන් අනුමැතියක්, වලංගු භාවයක් අවශ්‍ය වෙන්නේ නෑ.
දැන් හිතන්න පිරිසක් එකතු වෙලා ඉන්න තැනක් ගැන. පාටියක් වෙන්න පුලුවන්. ගෙට් ටුගෙදර එකක් වෙන්න පුලුවන්. දැන් ඔතන ඉන්න අයගෙන්, කීයෙන් කී දෙනෙක් තමන් ගැන, තමන් මේ වෙනකොට සාර්ථක කරගෙන තියෙන දේවල්, ලබාගෙන තියෙන දේවල් ගැන කතා කරනවද? එතනින් කී දෙනෙක් තමන් වටිනා කියන පුද්ගලයෙක්, එහෙම නැතිනම් සමාජයට වැඩදායී පුද්ගලයෙක්, එහෙම නැතිනම් සාර්ථක පුද්ගලයෙක් කියලා අනික් අයට අඟවන්න හෝ සෘජුවම කියන්න වෙහෙසෙනවද?
Saru FM Media