කසාද ජීවිතේ ගැටුම් විසඳන්න ආ මිතුරිය නිසා ම බිඳ වැටුණු පවුලක් – Saru News Media

0
1

(නීතිඥ තක්ෂිලා ජයසේන මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

මල්කි සහ ගිහාන් එකිනෙකාව මුණ ගැසෙන්නේ පාසල් කාලයේ දී. පාසල් ප්‍රේමයක මිහිර විඳින්නට ඔවුන් පටන් ගන්නේ අවුරුදු දහසයක පමණ කාලයේ ඉඳලා. මල්කිත් ගිහානුත් එකම ගමේ නිසා ඒ ප්‍රේමයට බොහෝ සීමා තබා ගන්නට ඔවුන්ට සිදු වෙනවා.එය ඇත්තටම අතින්වත් නොඅල්ලා ඇරඹූ ප්‍රේමයක්.”අතින්වත් අත නොඅල්ලා – අපි කොහොම බැඳුණා ද මන්දා” ලෙස ඇරඹෙන ඒ ආදර කතාව ඉදිරියට යන්නේ ද සරාගයෙන් තොරවයි. වයසින් වැඩීමත් සමඟ ගිහාන්ගෙන් ආ සමහර සරාගී ඇරයුම් පවා මල්කි ප්‍රතික්ෂේප කරා.

“අපි බැඳපු දවසක එහෙම ළං වෙමු.”

 ඇය එහෙම යෝජනා කළා. ඔහු ඒ යෝජනාව අකමැත්තෙන් පිළි ගන්නට ඇති. හාදුවකින් එහා නොගිය දස වසරක ප්‍රේමය විවාහයකින් කෙළවර වුණේ දෙපාර්ශවයේම ආශිර්වාද ඇතිවයි. එය බොහෝ සුන්දර විවාහයක් වුණා. මල්කිගේ ළඟම මිතුරිය මල්කිට හොඳම විවාහ තෑග්ග ලබා දුන්නා.

“මුහුදුබඩ පළාතක තරු හෝටලයක මධුසමයක්”

ඒ සුන්දර දින කිහිපයේ ඇති තරම් ආදරය කරන්නට මල්කිට ඕනෑ වුණා. නමුත් ඒ අදහස සාර්ථක වුණේ නැහැ. ඇයට ලිංගිකව හැසිරීමට දැඩි අපහසුවක් දැනුණා.කිසිම අයුරකින් ඇගේ යෝනි මාර්ගය ඉහිල් වූයේ නැහැ. ලිංගිකත්වය ගැන ඇයට දැනුමක් තිබ්බේ ද නැහැ. අන්තර්ජාලය පරීක්ෂා කරමින් මෙයට හේතුව සොයා බැලුවේද ගිහාන් විසින්මයි.

“ඔයාට Vaginismus කියන ලෙඩේ වෙන්න ඇති. අපි ඩොක්ට කෙනෙක් මීට් වෙලා බලමු”

වෛද්‍ය උපදෙස් ලබාගත්තත් සාර්ථක ප්‍රතිඵල ලැබුණේ නැතිම තරම්. ඇයට ඒ මොහොතේ ඇති වූ වේදනාව දරා ගන්නට නොහැකි වුණා. ඒ නිසා මල්කි ලිංගිකව එක් වීම දිගටම ප්‍රතික්ෂේප කරන්නට වුණා. ඇය සමහර අවස්ථාවල ක්ලාන්තය පවා ඇති කර ගත්තා. මෙය ගිහාන්ට මහත් මානසික පීඩාවක් වුණා.

“මෙතන තියෙන්නේ ඔයාගේ බය. අපි ඒ බය නැති කරගමු.”

ගිහාන් එහෙම කියමින් මල්කිව දිරි ගැන්නුවා. පසුව නාරි වෛද්‍යවරයෙක් මල්කිට සුළු සැත්කමක් කර ඇගේ යෝනි විවරය ලිංගික ක්‍රියාවලිය වෙනුවෙන් හැඩ ගැස්වූවා. නමුත් මල්කිට ලිංගික එක්වීමට හැකිවූයේම නෑ.

ඇයට මංගල තෑග්ගක් දුන් සනූජා මල්කිගේ දුක අහන්නට නිතරම පැමිණියා. මල්කි ඇගේ වේදනාව සහ අපහසුව මිතුරියට කියමින් හැඬූ වාර ඕනෑ තරම්

“බය නොවී ඉන්නකො. මං ගිහාන් එක්ක මේක කතා කරන්නම්. මේක කොහොමහරි හදාගන්න ට්‍රයි කරමු.”

සනූජා එහෙම කියමින් ප්‍රශ්නය ගැන ගිහාන් සමඟ කතා කරන්නට පටන් ගත්තා. නමුත් ඒ කතාබහ අවසන් වූයේ ඔවුන් දෙදෙනා අතර ඇති වූ ආදර සම්බන්ධතාවයකින්. ඉන්පසු ඔවුන් මල්කි ගැන කතාව නවතා ඔවුන් ගැන කතා කරන්නට පටන් ගත්තා.සනූජා ඒ සම්බන්ධය රැගෙන ගියේ මල්කිට දැනෙන්නටමයි. ඇය ගිහාන් සමඟ හිතු හිතූ තැන්වල සංචාරය කළා. 

“මේක වුණේ මගේ අඩුවක් නිසානෙ”

මල්කි එහෙම කියමින් දුක් වුණා. නමුත් ගිහාන් ඇයව ප්‍රතික්ෂේප කළා.

“තමුන්ගෙන් මට වැඩක් නෑ. මට දික්කසාද වෙන්නෝන.”

ගිහාන් එසේ පවසා නිවසින් ගොස් මල්කිව විත්තිකාරිය කර නඩුවක් පවරන්නේ ඇය වෛවාහක යුතුකම් ඉටු නොකරන බව සහ ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන බවට චෝදනා ගොනු කරමින්.මුල් රාත්‍රියේ පටන් එය පැමිණ ඇති බව ඔහු සඳහන් කරා. ඒ නිසා එය ද්වේෂ සහගත ලෙස අත් හැර දැමීමක් ලෙස  ගිහාන් නඩුව පවරා තිබුණා.මල්කි අප වෙත පැමිණෙන්නේ දැඩි මානසික කඩා වැටීමක් සමඟ. නමුත් දැන් කරන්නට දෙයක් නැහැ.

“අපි අවුරුදු දහයක් ආදරේ කරා. දැන් බැඳලා මාස අටක්. මං එයාට පණටත් වඩා ආදරේ කරා. ආදරේ කියන්නේ සෙක්ස් විතරමද? එයාට මං මේ දේ කොහොමහරි සනීප කරගන්නකම් මානසික ප්‍රතිකාර අරන් හැඩ ගැහෙනකම් ඉවසන්න තිබ්බෙ නැද්ද?”

මල්කි හඬමින් විමසා සිටියා. ඒ ප්‍රශ්නයට දෙපැත්තක් තිබෙනවා. මානුෂිය වශයෙන් බලද්දී ඇය ඉතා අසරණ බව සත්‍යයක්. නමුත් ඇය වෙනුවෙන් දස වසරක්ම හැඟීම් පාලනය කරගත් ගිහාන්ට ද කතාවක් තිබෙනවා. ඔහු දරුවන් ලැබීම ගැන ද විශාල බලාපොරොත්තු තබා සිටි අයෙක්. එවිට ඔහුගේ පැත්තෙන් ඔහුටද අසාධාරණයක් වී අවසන්.

නමුත් සනූජා සමඟ ගිහාන්ගේ ඇති සම්බන්ධතාවය ඔප්පු කරන්නට අපිට හැකි වුණා. ඒ නිසා අපි මල්කි වෙනුවෙන් තරමක් විශාල මුදලක වන්දියක් ලබා ගත්තා. එය අවශ්‍ය වුණේ මල්කිගේ දෙමාපියන්ට. මල්කි පැවසුවේම ආදරය අහිමි වී ගිය පසු ඇයට කිසිවක්ම අවශ්‍ය නැති බවයි. 

“ආදරේ කියන්නේ සෙක්ස් විතරයිද?”

මල්කි එසේ දිගටම ඇසුවා. 

ඇය දික්කසාදයකට කැමැත්ත පළ කරේම නැහැ. වන්දිය ලැබුණේ ද විවාහයට පෙර ඔවුන් දෙදෙනා නිවසක් ඉදි කර තිබූ නිසා. එයට මල්කි ද මුදල් වියදම් කර ඇති බව අපි උසාවියට ඔප්පු කළා. එය සහ ඇගේ මානසික පීඩාව වෙනුවෙන් වන්දියක් ලබා ගත්තත් මල්කි ඒ මුදල දෙස ඇස හැර බලන්නට ඇති බවක් මම නම් හිතන්නේ නැහැ. දික්කසාදය නඩු වාර කිහිපයකට පසු ලබා ගන්නට ගිහාන්ට හැකි වුණා.

බොහෝ සේවා දායිකාවන් දික්කසාදයට පසු හිත හදාගන්නා අතර නැවත යෝජනාවකින් හෝ විවාහ වෙනවා. ඒ බව අපට ද දන්වන්නට ඔවුන් අමතක කරන්නේ නෑ. හඬමින් අප වෙත පැමිණෙන සේවා දායිකාවන් නැවත මනාලියක වන දිනයේ ඇසින් දුටු සාක්ෂිකාරියක වන්නට පවා මට ඉඩ ලැබී තිබෙනවා. ඔවුන් නැවත ගොඩ නැගීම ගැන මට ඇත්තේ විශාල සතුටක්.සමහරුන් ආදරය ගැන සිතීම පසුවට කල් තබා තමන්ගේම ව්‍යාපාරයක් ඇරඹීම, වැඩිදුර අධ්‍යාපනය හෝ රැකියාවක් වෙනුවෙන් විදෙස් ගත වීමට වග බලා ගන්නවා. එවැනි අයත් අපට ගෙනෙන්නේ සතුටක්.

නඩුව අවසන් වී ටික කාලයක් ගෙවී අවසන්. නමුත් මල්කි තවමත් මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබනවා.

“ආදරය කියන්නේ සෙක්ස් විතරමද?”

ඇය වෛද්‍යවරයාගෙන් එහෙම අහනවා ඇති. ඇය වැරදි ද නිවැරදි ද යන්න මට තවමත් වැටහෙන්නේ නැහැ. නීතිය සම්බන්ධයෙන් ඇයට කළ හැකි උපරිම සාධාරණය අපි ඉටු කළා. ගිහාන් සහ සනූජා දැන් දෙමාපියන් වන්නට සැරසෙනවා. මල්කි ඉක්මනින්ම හිත හදා ගැනීම අපේ එකම ප්‍රාර්ථනාවයි.

ආදරය කියන්නේ ආදරයටම වග ඇත්තක්. නමුත් වෛවාහක යුතුකම් පැහැර හැරෙද්දී ආදරය ඔබට අහිමි වන්නට පුලුවන්. මෙවැනි තැනකදී වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. එය බොහෝ අවාසනාවන්ත සිදුවීම් වළක්වන බව සහතිකයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here