කුලසිංහ නාමය ඉදිරියෙන් රන් අකුරින් නිමවුනු විශ්වකර්ම නිර්මාණ – The great engineer of srilanka dr kulasinghe – Saru News Media

0
14

ඒ එන් එස් කුලසිංහ මහත්මයා කියන්නේ ලංකාවේදී වගේම ලංකාවෙන් බැහැරදීත් සිය තාක්ෂණික දැනුම ඔස්සේ බොහෝ සමත්කම් පෑ ප්‍රායෝගික ඉංජිනේරුවරයෙක්. ඉංජිනේරුවරයෙකු කියූ කල බොහෝ දෙනාගේ සිතේ වර්තමානයේ මැවෙන්නේ වායුසමනය කල කාමර තුල ලැප්ටොප් පරිඝණකයට මුහුණ හොවාගෙන සැප ආසනයක ක්ලීන් සූට් එකක් ඇඳගෙන සිටින චරිතයකි. කුලසිංහ මහතා දක්ෂ කළමණාකරුවෙක්, පාලකවරයෙක් වගේම ප්‍රායෝගිකවම වැඩට බැහැලා අලුත් දේ සොයාගත් ඉංජිනේරු චරිතයකි. එතුමාගේ මැදිහත් වීමෙන් මූලික වශයෙන් පෙරසවි කොන්ක්‍රීට් තාක්ෂණය ලොවට හඳුන්වා දුනි. ඊට අමතරව නව නිපැයුම් අංශයෙන් ගතහොත් එන්ජින්, යන්ත්‍ර සූත්‍ර, එදිනෙදා දිවියට අවශ්‍ය නිර්මාණ ආදී විශාල පරාසයකනිර්මාණ ගණනාවක් කුලසිංහ නාමය ඉදිරියෙන් දිස්වේ.  එතුමාගේ නම ඉදිරිපිට ලියවී ඇති අසහාය නිමැවුම් කිහිපයක් ගැන අපි බලමු.

 

වැවයි දාගැබයි ගමයි පන්සලයි කීවට වැව ළඟම දාගැබ ඉදිකරන්නට ඉස්සර කාලේ සිටි රජදරුවන් පවා පෙළඹුණේ නැහැ. මන්ද වැවේ ජලය අඩුවැඩිවීම් අනුව පසේ තත්වය වෙනස් වෙලා දාගැබ කැඩී යන්නට පුළුවන් කමක් තිබෙන නිසා. ඒ ආකාරයට වටේටම ජලය යහමින් තිබෙන පහත් බිමක පිහිටා තිබෙන පුරාණ දාගැබක් වන තිස්සමහාරාම චෛත්‍යය මේ වන විට අභ්‍යන්තර පිපිරීම් වලට ලක්වී එය වටා දැමූ වානේ බැමි 9ක් මතින් එහි හැඩය ආරක්ෂාෘ කරගෙන තිබෙනවා. කළුතර මහා සෑය නිමවන්නට ලැබෙන්නේ කළු ගග අසබඩ ජලාශ්‍රිත පරිසරයක.

එහිදී කුලසිංහ මැවිසුරාණන් (ඉංජිනේරුවරයා යන වදනට සමාන වන සිංහල වදන ලෙස ඊලියන් ද සිල්වා මැතිඳුන් හඳුන්වා දුන් වදන) විශාල කොන්ක්‍රීට් කුහරයක් සහිත චෛත්‍ය දෙකක් ලෙස කළුතර චෛත්‍ය කර්මාන්තය නිම කරන්නට කටයුතු කළා.  කුහර සහිත චෛත්‍ය නිර්මාණ රජ දවස පවා ඉදිවී නැතැයි පුරාවිද්‍යාඥ පරණවිතාරණ මහතා පවා තර්ක කළත් එතැනට එවැනි නිර්මාණයක් හැර සාම්ප්‍රදායික චෛත්‍යයක් ඉදිකළ නොහැකි බව කුලසිංහ මහතා පෙන්වාදී ඔහුගේ ඉංජිනේරුමය මැදිහත් වීමෙන් චෛත්‍ය කර්මාන්තය නිම කළා.

 

ගුවන්තොටින් රටින් පිට වීම ජනප්‍රිය නොවූ විසිවන සියවසේ මැද භාගයේදී මිනිසුන් රටින් පිටට ආවේ ගියේ නැව් වලින්. ජාත්‍යන්තර කීර්තිමත් චරිතයක් වූ කුලසිංහ මහතාටත් එසේ නැවෙන් රට යන්නට එන්නට බොහෝ කාරණා යෙදෙන්නට ඇති. එහිදී රටට පිවිසෙන විට රටේ උරුමය ලෙස දිස්වන්නට චෛත්‍යයක් තිබුණොත් මැනැවැයි කල්පනා කල කුලසිංහ මැතිතුමා එය ඉදිකරන්නට රජයෙන්ද දායකත්වය රැගෙන එය දර්ශනීය ලෙස ඉදිකලා.  දුර සිට වුවද පෙනෙන පරිදි උසැති කොන්ක්‍රීට් පාදමක් මත ඉදි වූ වරාය චෛත්‍ය වර්තමානයේ චීනයේ පෝට් සිටිය නිසා මුහුදින් මඳක් ඈතට ගියත් අදටත් කොටුව වරාය අසබඩ සියල්ලට ඉහලින් දිස්වෙන අලංකාර නිර්මාණයක් ලෙස දැක්විය හැකියි.

 

කොත්මලේ ජලාශය තැනීමේදී සියවස් ගණනාවක් පුරා සිංහල බෞද්ධ ගම්මාන වශයෙන් තිබූ බිම් රැසක් ජලයෙන් යට වුණා. ඒ යටවුනු බිම් අතර අතර කඩදොර විහාරය ඇතුළු විහාර ආරාම කිහිපයක්ද ඇතුලත් වුණා. මේ වන්දිය ගෙවීම පිණිසත් රජ දවසින් පසු විශාල චෛත්‍ය කර්මාන්ත ඉදිකිරීමේ හැකියාව පෙන්වීමටත් ගාමිණි දිසානායක මහතා කොත්මලේ මහා සැය ඉදිකරන්නට යෙදුණා.

එහිදී ද මැදිහත් වූ කුලසිංහ මහතා කොන්ක්‍රීට් පාදම් 32කින් සවිමත්ව කුහරයක් සහිතව රුවන්වැලි මහා සෑයට ඉතා මදක් කුඩා වන්නට කොත්මලා මහා සැය ඉදිකලා. ගාමිණී දිසානායක මහතාත් කුලසිංහ මහතාත් අභාවයට යනතෙක් කොත්මලේ සෑයේ වැඩකටයුතු හමාර කරගන්නට බැරි වුණා. පසුකලෙක විවෘත වී අදටත් බොහෝ ඈතට පෙනෙන සුවිශාල චෛත්‍ය කර්මාන්තයක් ලෙස කොත්මලේ මහා සෑය හැඳින්විය හැකිය.

 

කොන්ක්‍රීට් සිල්පර තාක්ෂණය මුලින්ම හඳුන්වා දෙන්නෙත් කුලසිංහ මැතිතුමා වන අතර ඒ සදහා ඒ මහතාට පේටන්ට් බලපත් ද හිමියි. පෙරසවි තාක්ෂණය මතින් වහලවල් , සුවිශාල ගොඩනැලගිලි වරායේ ජැටි ආදිය නිර්මාණය කරන්නට කුලසිංහ මහතා ක්‍රියාකළේ ඊට පෙර තිබූතාක්ෂණයන්ට වඩා අඩුමිලට වගේම සවිශක්තියෙන් ද වැඩි වන ආකාරයටයි. එතුමාගේ මැදිහත් වීමෙන් තායිලන්තය වැනි රටවල් කොන්ක්‍රීට් බෝට්ටු පවා තනන්නට ක්‍රියා කළා. මේ තාක්ෂණික නිමැවුම් වෙනුවෙන් ඉන්දියාවෙන් සහ මහා බ්‍රිතාන්‍යයෙන්  සම්මාන එතුමාට හිමිවුණා. ජාත්‍යන්තර මට්ටමෙන් ද ඔහු ගේ තාක්ෂණික නිමැවුම් ජනප්‍රිය කරන්නට ජාත්‍යන්තර සංවිධාන සෘජුවම ඔහුට අවකාශ ලබාදුන්නා.

 

සෑම විශාල ඉංජිනේරු ඉදිකිරීම් කාර්යයක්ම විදෙස් කොන්ත්‍රාත්කරුවන් ලබාගනිමින් ඔවුන් විශාල මුදලක් රටින් ලබාගන්නා අයුරු දුටු කුලසිංහ මැතිතුමා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය ඇරඹීමටත් ඒ හරහා විශාල ඉදිකිරීම් රාජ්‍ය මැදිහත්වීමෙන් සිදුකර විශාල මුදලක් රජයට ඉතිකරදෙන්නට මාවත විවර කළා. අද වනවිට එම රාජ්‍ය ආයතන අයහපත් පරිපාලන සහ වංචා ආදිය නිසා පාඩු ලැබුවත් කුලසිංහ මහතා වැනි දැඩි කැපවීමකින් රට ගැන සිතූ අය සිටි කාලවල එම රාජ්‍ය ඉංජිනේරු ආයතන ඉදිකිරීම් කටයුතු වලට ප්‍රබල ලෙසම මැදිහත් වී රටේ ජාතික ධනය සුරැකීමට මැදිහත් වුණා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here