ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් විදියට ලෝකේ ඕන තැනක ඉඳන් වැඩ කරමුද? – Saru News Media

0
5

සාමාන්‍යයෙන් අපි ඕනම කෙනෙක් රස්සාවක් කරන්න ඕනනේ ජීවත් වෙන්න. එහෙම නැතුව චිල් එකේ ආතල් එකේ ඉන්න නම් එක්කෝ අපේ අම්මලා තාත්තලා ඉතුරු කරපු ලොකු ධනයක් තියෙන්න ඕන, එහෙම නැතිනම් අපි දේශපාලනේ කරලා තියෙන්න ඕන, අඩු ගාණේ දේශපාලකයෙක්ගේ පුතෙක් දුවෙක් වෙන්න ඕන. හරි, දැන් රස්සාවක් කරනවා කියපු ගමන් අපේ ඔළුවට එන්නේ රස්සාව කරන තැනට ගිහිල්ලා වැඩ කරලා හවස ගෙදර එන සීන් එකක්. දැන් වෙනකොට නම් ගෙදර ඉඳන් රස්සාව කරන විකල්පත් තියෙනවා. හැබැයි නිකමට හිතලා බලන්න. අපිට මූද අයිනේ තියෙන පොල් ගහක් යට වාඩි වෙලා, ලැප්ටොප් එකත් දිග ඇරගෙන, පෝටබල් වයිෆයි එකට කනෙක්ට් වෙලා වැඩ කරන්න පුලුවන් නම් කොහොමද කියලා. එතකොට අද එහෙම වුණාට, හෙට ඉන්නේ වෙන රටක, කැෆේ එකක වාඩි වෙලා ලැප්ටොප් එකත් දිග ඇරගෙන වැඩ කරන ගමන් වෙන්න පුලුවන්. සරලවම කිව්වොත්, ඔන්න ඕකට තමයි ඩිජිටල් නෝමෑඩ්ලා කියන්නේ. ඒ කියන්නේ එක තැනක ඉන්න අවශ්‍යතාවයක් නැති, ඉන්ටර්නෙට් තියෙනවා නම් ලෝකෙ ඕනෙම තැනක ඉඳන් වැඩ කරන්න පුලුවන් විදියේ සෙටප් එකක් හදාගෙන, ලෝකෙ වටේ සංචාරය කරමින් රැකියාවත් කරන ඩයල් වලට තමයි ඩිජිටල් නෝමෑඩ්ලා කියන්නේ. ඇත්තටම ලෝකේ වටේ ඕන නෑ, තමන්ගේ රට වටේ සංචාරය කරමින් රැකියාවත් කරන කෙනෙක්ට වුණත් තමන්ට ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් කියලා කියාගන්න පුලුවන්.

 

හරි, දැන් ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් වෙන එක හෙනම ආතල් වැඩක් වගේ නේද? ඇත්තටම කොහොමද ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් වෙන්නේ?

 

දැන් ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් වෙනවා කියලා නිකම්ම තමන් කරමින් ඉන්න රැකියාව වර්ක් ෆ්‍රොම් හෝම් වුණාට හරියන්නෙ නෑ. උදාහරණයක් විදියට ගත්තොත්, සාමාන්‍යයෙන් රැකියාවක් කොයි තරම් ඔෆිස් එකට නොයා කරන්න පුලුවන් වුණත්, ඒක අසීරු අවස්ථා එනවා. උදාහරණයක් විදියට ගත්තොත් ටීම් මීටින් එකක්. දැන් වෙනකොට මීටින්ග්ස් වුණත් ඔන්ලයින් තියෙනවා තමයි. හැබැයි දිනපතා තවත් ටීම් එකක් එක්ක කටයුතු කරන්න වෙන, දිනපතා වැඩ කටයුතු පිළිබඳ වගකීමක් තියෙන ජොබ් එකක් ට්‍රැවල් කරන ගමන් කරන එක සාර්ථක නෑ. ඊටත් වඩා ඒකෙන් ජොබ් එක හරියට සිද්ධ නොවෙන්න පුලුවන් අවදානමකුත් තියෙනවා. ආන්න ඒ නිසා, ඩිජිටල් නොමෑඩ් කෙනෙක් වෙන්න නම් ඒකට ගැලපෙන රස්සා හොයාගන්න ඕන. ඕන නම් තමන් කරමින් ඉන්න රැකියාව එහෙම එකකට පරිවර්තනය කරගන්නත් පුලුවන්. හැබැයි ඒක කතාබහ කරගෙන කරන්න ඕන දෙයක්. ඒ ඇරෙන්න ඩිජිටල් නෝමෑඩ් කෙනෙක්ට ගැලපෙනම රස්සා තියෙනවා. ප්‍රෝග්‍රැමර් කෙනෙක් විදියට, වෙබ් ඩිවලොපර් කෙනෙක් විදියට, ලේඛකයෙක් විදියට, සෝෂල් මීඩියා මාකටර් කෙනෙක් විදියට, ඩිජිටල් ව්‍යවසායකයෙක් විදියට එහෙම කරන ජොබ් ඔය ඩිජිටල් නෝමෑඩ් ලයිෆ්ස්ටයිල් එකකට ගැලපෙනවා.

 

ඩිජිටල් නෝමෑඩ් වෙන්න නම් කොහේද යන්නේ කියන එකත් වැදගත්. ඒ මොකක්ද ඒ කතාව? මෙහෙමයි. ඩිජිටල් නෝමෑඩ් කියලා හුළඟ වගේ ඔහේ යනවා කියලා හිතෙන හිතෙන ඕනම තැනකට යන එක අවදානම්. උදාහරණයක් විදියට, අපි ගමු ඩිජිටල් නෝමෑඩ් විදියට අපි යන්නේ ජීවන වියදම අතිශයින්ම සැර රටකට කියලා. එතකොට, ඒ ජීවන වියදම එක්ක අපිට ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් විදියට හොයන ආදායම මැච් කරන්න බැරි නම්? එතකොට? ආන්න ඒ නිසා තමයි, තමන් යන්නේ කොහාටද කියන එක තීරණය කරන්න ඕන, හැමදෙයක්ම හොයාබලලා. අනික, රටවලින් රටවලට දවස් දෙක තුන බැගින් ඉන්න හිතාගෙන ඇවිදින සංචාරකයන්ට ඩිජිටල් නෝමෑඩ්ලා වෙන්න නම්, හොඳට සල්ලි තියෙන්න ඕන වෙයි. ඊට වඩා සාර්ථක, එක තැනක යම් කාලයක් ඉන්න හිතාගෙන යන එක. ඒ වගේම, රටක ඩිජිටල් නෝමෑඩ් ප්‍රජාවන් ඉන්න තැනක්ම යන්න තෝරගන්න එක ගොඩක් පැතිවලින් වාසියි. එතකොට තමන්ට උදව් ලැබෙන ප්‍රජාවක් තමන් වටේ ඉන්නවා. එහෙම ප්‍රජාවන් ෆේස්බුක් ගෘප් වලින් පවා හොයාගන්න පුලුවන්.

 

ඩිජිටල් නෝමෑඩ් කියන්නේ ඉතින් දවසම බීච් එකේ ආතල් එකක් අරගෙන, නාලා, කාලා, හවසට පැයක් වැඩ කරන එක නෙවෙයි කියලා මේ වෙනකොට තේරෙන්න ඕනනේ. අපි එහෙම ලොකු සල්ලිකාරයෝ නෙවෙයි නම්, ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් විදියට වුණත් දවසෙන් ප්‍රමාණවත් කාලයක් වැඩ කරන්න වෙන් කරගන්න සිද්ධ වෙනවා. එතකොට තමන් කරන රැකියාව තනියෙන් කරන වැඩක් නම්, ඒ වැඩ කරන වෙලාව තමන්ට අභිමත විදියට හදාගන්න පුලුවන්. උදාහරණයක් විදියට ස්වාධීනව වැඩ කරන ඇප් ඩිවලොපර් කෙනෙක් ගන්න පුලුවන්. හැබැයි එතනදී තමන්ට තියෙන ඩෙඩ්ලයින් ගැනත් හිතන්න ඕන. දැන් ඒ ඇරෙන්න අපි කියමු තව ටීම් එක්ක එක්ක වැඩ කරන්න වෙන ඩිජිටල් නෝමෑඩ් රස්සාවක් කරනවා කියලා. අන්න එතකොට, ඒ අයත් එක්ක වැඩ කරන්න, එහෙම නැතිනම් ක්ලයන්ට්ලා එක්ක වැඩ කරන්න පොදු වෙලාවකට එකඟ වෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕන ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් වෙනකොට.

 

තව කාරණයක්. දැන් අපි හිතමු උදේ අපි බීච් එකට ගිහින් නාලා කරලා ෆන් එකක් අරගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ වැඩ කරන්න දාගෙන තියෙන්නේ. හැබැයි අපිට චිල් මූඩ් එකෙන් අර වැඩ කරන මූඩ් එකට යන්න අමාරුයි. එතකොට හිතෙනවා වැඩේ පොඩ්ඩක් පස්සේ කරන්න. ඒක කේස්. ඒ නිසා, ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් වෙනවා නම්, බොහොම බරපතළ විදියට තමන්ගේ වර්ක් ඩිසිප්ලින් එක හදාගන්නත් ඕන.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here