තනියෙන් ගෙදරක ඉන්න සිද්ධ වුණු කෙනෙක්ට, තනිකම පාළුව මකාගන්න ක්‍රම කීපයක්! – Saru News Media

0
1

සාමාන්‍යයෙන් මනුස්සයා කියන්නේ සමාජ සත්වයෙක්නේ. තනියෙන් ඉන්නෙ නෑ ගොඩක් දුරට. දැන් අපි ගෙදරක ඉන්නකොට වුණත්, අඩුගණනේ ගෙදර එක සාමාජිකයෙක් හරි අපිත් එක්ක ජීවත් වෙනවනේ. එතකොට ඇත්තටම පාළුවක්, තනිකමක් දැනෙන්න තියෙන ඉඩ ඉතාම අඩුයි. හැබැයි කවදාහරි තනියෙන් ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවද? ඒකට උත්තරේ “ඔව්” කියලා කියන්න වෙන සුළුතරයක් හරි ඉන්නවා කියලා අපි දන්නවා. හිතන්න අපි ජීවිතේ පළවෙනි වතාවට තනියෙන් ජීවත් වෙන්න යනවා කියලා. ඒ කියන්නේ ඇනෙක්ස් එකක් හරි අපාර්ට්මන්ට් එකක් හරි අරගෙන තනියෙන් ජීවත් වෙන්න යනවා කියලා. ආන්න තනියෙන් ජීවත් වෙන්න වෙන, තනිකම දැනෙන තැනක්. එහෙම නැතිනම් සමහරු ඉන්නවා, දෙමාපියෝ මියපරළොව යෑම නිසා තනියෙන් ජීවත් වෙන්න සිද්ධ වෙන. පවුලේ අනික් සාමාජිකයෝ තැන් තැන් වල විසිරිලා වෙන්න පුළුවන්. ඉතින් ඔය ඕනෑම විදියකට කෙනෙක්ට තනියෙන් ජීවත් වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. 

 

හැබැයි ඇත්තටම තනියෙන් ජීවත් වෙන එකේ තියෙන ප්‍රධානතම ගැටළුවක් වෙන්නේ තනිකම සහ පාළුව තමයි. අපි කවුරුත් තනිකමින් සහ පාළුවෙන් ඉන්න කැමති නැහැනේ. එතකොට කොහොමද හුදෙකලාව කරදරයක් නොවෙන විදියට කටයුතු කරන්නේ? තනිකම සහ පාළුව පීඩාවක් නොවෙන්න වගබලා ගන්නේ? ආන්න ඒ ගැන තමයි අපි මේ කියන්න සූදානම් වෙන්නේ.

 

මුලින්ම තනියෙන් ජීවත් වෙන්න පටන් ගන්නකොට, අපිට ඕන කරන්නේ බාහිර සම්බන්ධතාවයක්නේ. ඒ කියන්නේ අහළ පහළ කෙනෙක්ව අඳුනාගැනීම හරි, එහෙම නැතිනම් අපි තනියි කියලා නොදැනෙන්න කාගේහරි සමාගමයක් හොයාගන්න එකනේ. හැබැයි ඒකට හදිසි වෙන්න කලින්, මේ තනියෙන් ජීවත් වෙන වෙලාව තමන්ව අඳුනාගන්න වෙන් කරන්න. ඒ කියන්නේ තනියෙන් කතා කරන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. තමන්ගේ වැඩ තනියෙන් කරගෙන, තනියෙන් ජීවත් වීමේ වගකීම ගන්න අතරේ, තමන් කොයි වගේ කෙනෙක්ද කියන එක හොයාගන්න කටයුතු කරන්න. ඒක ඇත්තටම තමන් තනියෙන් දේවල් කරගෙන යනකොට වැටහෙන්න පටන් ගන්නවා. ඒ වගේම, තමන්ට ආදරේ කරන්න. තමන්ගේ විදියට කැමති වෙන්න. ඕන නම් ඉන්න ගමන් තනියෙන් තමන් එක්කම කතාවක් දැම්මත් කමක් නෑ! කොටින්ම තමන් එක්ක හොඳ සම්බන්ධතාවයක් නිර්මාණය කරගන්න.

 

අපේ ජීවිත වල ගොඩක් අය නැති වෙන්න පුළුවන්. ගොඩක් අය ඉන්නත් පුළුවන්. හැබැයි ඒ කෝක වෙතත්, අපිට විශ්වාසදායී, අපිට බලාපොරොත්තු තියන්න පුළුවන්, අපිට විශ්වාසයක් තියන්න පුළුවන් එක සම්බන්ධතාවයක් හරි අපේ ජීවිතේට ඕන. ඒක ආදරේ කරන කෙනෙක් වෙන්න පුළුවන්. සමීපතම හිතමිත්‍රයෙක් නැතිනම් පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්. ඇත්තටම එහෙම අතිශය විශ්වාසදායක සම්බන්ධතා එකක් ජීවිතේට තිබ්බත් හොඳටම ඇති. ඉතින් තමන් තනියෙන් ජීවත් වෙන්න පටන් ගත්තා නම්, මේ ඇත්ත බාහිර සම්බන්ධතාවයන් ශක්තිමත් කරගන්න එක වැදගත්. අද කාලේ තාක්ෂණයත් එක්ක අපිට ඒක දුරින් ඉඳන් වුණත් කරන්න පුළුවන්. වීඩියෝ කෝල්ස් වගේ දේවල් ඒකට උදව්වක්. ඒ ඇරෙන්න, තමන්ගේ තැනට එන්න කියලා ඒ අයට ආරාධනා කරන්න පුළුවන්. ඉඳලා හිටලා වුණත් ඒ අය එක්ක වෙලාව ගත කරන්න පුළුවන්. 

 

ඇත්තටම අපි කොයි තරම් තනියෙන් ජීවත් වුණත්, අපි තනියෙන් ජීවත් වෙන්නේ සමාජයකනේ. උදාහරණයක් විදියට ගත්තොත්, අපි අළුතෙන් ඇනෙක්ස් එකකට ගිහින් තනියෙන් ජීවත් වෙනවා කියමු. හැබැයි තනියෙන් හිටියත්, එතන අපිත් එක්ක සම්පූර්ණ ප්‍රජාවක් ඉන්නවා. ඒ කියන්නේ අහළ පහළ අසල්වැසියෝ, ගමේ උදවිය එහෙම. එතකොට අපිට ඉතින් ගෙයක් ගානේ ගිහින් මිනිස්සු අඳුනගන්න බැහැනේ. හැබැයි ඔය ඒ වගේ ප්‍රජාවන් ඇතුළේ සිද්ධ වෙන සාමූහික කටයුතු, පොදු වැඩ එහෙම තියෙනවනේ. ආන්න ඒ වලට එකතු වුණහම අපිට ඒ ප්‍රජාව අඳුනාගන්න පුළුවන්. ඒක ඉරිදා දවසේ ශ්‍රමදානයක් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් පන්සල් යෑමක් වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් වෙසක් එකට කූඩුවක් හැදීම, නත්තලට ගවලෙනක් හැදීම වගේ දෙයක් වෙන්න පුළුවන්. ඔය ඕන විදියක පොදු වැඩකට සහභාගී වීමත්, ඇත්තටම තමන් ජීවත් වෙන පරිසරයේ ඉන්න ප්‍රජාවට එකතු වෙන, පාළුවෙන් තනිකමෙන් මිදෙන්න හොඳ විදියක්.

 

අපි ඕනම කෙනෙක් සුරතල් සතෙක්ට කැමතියිනේ. සමහරු සුරතලේට සතෙක් ඇතිකරන්න ඒ තරම් කැමැත්තක් නැති වුණත්, වෙන කෙනෙක්ගේ හරි සතෙක්ව හුරතල් කරන්න කැමතියි. ඉතින් තනියෙන් ජීවත් වෙන, පාළුව තනිකම තියෙන කෙනෙක්ට ඒක නැතිකරගන්න හොඳම ක්‍රමයක් තමයි සුරතල් සතෙක් හදන එක. කවුරුත් සුලභව සුරතල් සත්තු කියලා ඇති කරන්නේ බල්ලෙක් නැතිනම් පූසෙක්නේ. හැබැයි ඒ විතරක් නෙවෙයි, හාවෙක්, ගිනියා ඌරෙක්,  හැම්ස්ටර් එකෙක්, ඉබ්බෙක් වගේ සත්තු වුණත් ඇතිකරන්න පුළුවන්. ඕන නම් ගෙම්බෙක් කටුස්සෙක් වුණත් පුළුවන්. මාළු ඇති කරන්න පහසුවෙන්ම පුළුවන්. ඇත්තටම මෙතන අරමුණ වෙන්නේ, අපි සුරතල් සතෙක් හදන්න කාලය වෙන් කරන එක සහ ඒ සතාව රැකබලා ගන්න අපේ කාලය සහ ශ්‍රමය වැය කරන එක. ඒකෙන් ලැබෙන තෘප්තිය විතරක් වුණත් ඇති අපේ පාළුව සහ තනිකම නැති කරන්න.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here