දිළිඳු රටවල් සුපිරි රටවල් බවට පත් කරපු නායකයින් – Saru News Media

0
4

අපේ රටේ කාලෙන් කාලෙට කතා වෙන දෙයක් තමයි 48 ලංකාව නිදහස ලබා ගනිද්දී ආසියාවේ දෙවෙනි විශිෂ්ටතම ආර්ථිකය තිබ්බේ අපිට කියන එක සහ අපි දෙවැනි වුණේ ජපානයට කියන එක. ඒ වගේම සිංගප්පූරුවේ ලී ක්වාන් යූ තමන්ගෙ රට සංවර්ධනය කරන්න ආදර්ශය විදිහට බැලුවෙ ලංකාව දිහා කියන එකත් ප්‍රසිද්ධ රහසක්. කොහොම වුණත් මේ කතාවලින් පැහැදිලි වෙන දේ තමයි අපේ රටට ගැලපෙන නිවැරදි නායකත්වයක් ලැබුණේ නැහැ කියන එක. අපි අද කථා කරන්න යන්නේ දිළිඳු රටවල් සුපිරි රටවල් බවට පත් කරන්න මැදිහත් වුණු, පුරෝගාමී වුණු නායකයෝ කීපදෙනෙක් ගැන. හැබැයි මේ ලැයිස්තුවට අපි තෝරගත්තේ අප්‍රිකානු රටවල නායකයන් විතරයි 

 

නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ පළවෙනි කළු ජාතික ජනාධිපතිවරයා විදිහට වගේම දකුණු අප්‍රිකාව සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරන්න සමත් වෙච්ච නායකයෙක් විදිහට ලෝකය පුරා ගෞරවාදරයට පත් වෙනවා. ඒ වෙනකොටත් දකුණු අප්‍රිකාව කියන්නේ සංවර්ධිත රටක්. හැබැයි ප්‍රශ්නේ තිබ්බේ රටේ බහුතරයක් වුණු කළු ජාතිකයින් අන්ත දිළිඳුව ඉද්දි සුදු ජාතික සුළුතරයක් රටේ සම්පත් සූරා කෑම. මැන්ඩෙලා මේ ක්‍රමය සම්පූර්ණයෙන් ම වෙනස් කරන්න සමත් වෙනවා. බොහොමයක් කළු ජාතිකයන් මේ නිසා මැන්ඩෙලාව දේවත්වයෙන් අදහනවා. එතෙක් කලක් සුදු ජාතිකයන්ට පමණක් සීමා වෙච්ච බොහෝ රැකියා අවස්ථාවන් සෑම දෙනාටම විවෘත වුණේ නෙල්සන් මැන්ඩෙලාගේ මේ මැදිහත් වීම නිසා.

 

හේලී සෙලාසි ඉපදුනේ ලෝකයේ අති පැරණි රාජ වංශයක වගේම අති පැරණි රටක. ඒ රට තමයි ඉතියෝපියාව. බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට නතු නොවෙච්ච එකම අප්‍රිකානු රට විදිහට ඉතියෝපියාව සඳහන් කරන්න පුළුවන්. දෙවන ලෝක යුද්ධය සමයේදී නම් වසර කීපයකට ඉතියෝපියාවට ඉතාලියට යටත් වීමට සිදු වුණා. නමුත් මේ සියල්ල අවසානයේ දී ඉතියෝපියාව වේගවත් සංවර්ධනයක් කරා ගෙන යෑමට එවකට එරට අධිරාජයා වුණු හේලී සෙලාසී කටයුතු කළා. අද වෙනකොට ඉහළම අධ්‍යාපන මට්ටමක් සහිත රටක් වන ඉතියෝපියාවේ පාසල් පද්ධතිය පළමුවරට වැඩිදියුණු කරන්න පටන් ගත්තේ ඔහු විසින්.

 

මේ වන කොට ඝානාවේ වැසියන් ගේ එකම බලාපොරොත්තුව වෙලා තියෙන්නෙ තව වසර නමයක් ඇතුළත ඒ කියන්නේ 2030 වෙන්න කලින් ඝානාව පළමු සංවර්ධිත අප්‍රිකානු රටවල් අතරින් එකක් බවට පත්කර ගැනීම. ඒ වෙනුවෙන් ඔවුන් විශාල ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ සිදුකරමින් පවතිනවා. නමුත් මේ ඉලක්කය ඝානාවට ලබා දීමට පසුබිම සකස් වෙන්නේ 1957 සිටයි. ඒ ඝානාවට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමට පුරෝගාමී වුණු ක්වමේ නකමුරාගේ මග පෙන්වීම යටතේ. වසර ගණනාවක් පුරා ඝානාවට වැඩි වශයෙන් බලපෑ ප්‍රශ්න වන දිළිඳුකම සහ කුසගින්නට තිත තැබීමට ඔහු විසින් දැවැන්ත ආර්ථික සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ කරනු ලැබුවා.

 

මාක්ස් වාදය විශ්වාස කළ විප්ලවවාදී තෝමස් සංකාරා, 1983 දී බුර්කිනා ෆාසෝහි ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ඇතැම් අය ඔහුව අප්‍රිකාවේ චේ ගුවේරා ලෙසද හඳුන්වනු ලබනවා. යුද භටයකු ලෙස මැඩගස්කරයේ සේවය කරද්දී මැඩගස්කර තරුණයන් එරට රජය පෙරළා දැමීමට කටයුතු කළ ආකාරය පිළිබඳව ලැබුණු අත්දැකීම් මත නැවතත් 1980 දී තමන්ගේ උපන් බිම වූ අපර් වොල්ටා (රාජ්‍ය බලය ලබා ගැනීමෙන් පසු ඔහු රටේ නම බුර්කිනා ෆාසෝ ලෙස වෙනස් කරනවා) වෙත ඔහු පැමිණියා. එතැන් පටන් ඔහුගේ එකම අරමුණ වුණේ තමන්ගේ මව්බිමේ ඉරණම වෙනස් කිරීමයි. 1984 දී ඔහුව ඝාතනයට ලක් වුණත් ඔහු විසින් ඇති කරනු ලැබූ සමාජ සහ ආර්ථික ප්‍රතිසංස්කරණ බුර්කිනා පාසෝවේ දියුණුවට පදනම දමා තිබුණා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here