පුවත්පතින් පොතට බැස්ස මාර්ටින් වික්‍රමසිංහ – The great writer of sri lanka Martin wickramasinghe – Saru News Media

0
1

නූතන සිංහල සාහිත්‍යය ගැන කතා කරන විට මාර්ටින් වික්‍රමසිංහ අමතක කළ නොහේ. කෙතෙක් රජවරුන් පහල වුවද දුටුගැමුණු පැරකුම්බා ආදී මහා රජවරුන් ඉතිහාසයෙන් ඉවත් කලනොහැක්කේ යම් සේද වික්‍රමසිංහයෝ ගම්පෙරලිය ලියා දැනට වර්ෂ හැට හැත්තෑවක් ගත වුවද වික්‍රමසිංහයින් සිංහල සාහිත්‍යයයෙන් වෙන් කළ නොහැක. වික්‍රමසිංහ සාහිත්‍ය ලෝකයට එක් වන්නේ උඩින් පහලට නොව පහලින් ඉහලටය. එනම් ඔහු සිංහල භාෂාව, ඉතිහාසය, හෝ ලෝක විද්‍යාවන් ගැන ශාස්ත්‍රාලයීය උගතෙකු වී ඉන් අනතුරුව සාහිත්‍යයට එබිකම් කළ අයෙක් නොවේ. ඔහු ස්වෝත්සාහයෙන් තමුන්ගේම මාවතක් ඔස්සේ දැනුම ඔප්නංවාගෙන සිය වචන ඔස්සේ ක්ෂේත්‍ර කිහිපයක්ම එකලු කල මහ ගත්කරුවෙකි.

 

වික්‍රමසිංහයෝ මුලින්ම සිය ජීවිකා වෘත්තිය වශයෙන් තෝරාගන්නේ පුවත්පත්වලට කතෘ කමයි. ඔහු දිනමිණ පුවත්පතේ සෑහෙන කලක් කතුකම කල අතර අතරමැද කාලයේ සිළුමිණ,ලක්වැසියා, ලක්මිණ ආදී පුවත්පත් වල කතෘවරයෙක් ලෙස සේවය කළේය. මුල්කාලයේ වික්‍රමසිංහගේ මේ කතෘ දිවිය හොද ආදායම් මගක් නොවීය. ඒ ගැන පසුකෙලෙක වික්‍රමසිංහගේ පුතණුවන් ලියා ඇති සටහනක ” එකල තාත්තාට ලේක්හවුසියෙන් ලැබුනේ සුලු වැටුපකි. මහන්සි වී පොතපත ලිවීමෙන්ද අමතර මුදලක් ලබාගත් නමුත් ළමුන් හය දෙනෙකුට පොත් සපයන්නට පාසැල් ගාස්තු ගෙවන්නට එය ප්‍රමාණවත් නොවූ හෙයින් අම්මාට ඉතා අරපිරිමැස්මෙන් කටයුතු කරන්නට සිදුවිය. “ යනුවෙන් සදහන් වේ. ඒ අනුව සිය පුවත්පත්කලාවෙන් ලැබූ ආලෝකය ඔස්සේ පොත් පත් ලිවීමට බට වික්‍රමසිංහයන්ට එය හුදෙක් විනෝදාංශයක්ම නොව ආදායම් මගක් ලෙසද වැදගත් මගක් වූ බැව් නිගමනය කළ හැකිය.

 

පත්‍ර කතෘ කමෙක ඇති වගකීම හරිහැටි අවබෝධ නොවූ කොග්ගල ගැමියෝ මාර්ටින් වික්‍රමසිංහ හැදින්වූයේ ලියන මහත්මයා යන නමිනි. “ පත්‍රයක වැඩ කිරීම රස්සාවක් ලෙස නොසැලකූ ගැමියෝ මා ලියන මහත්තයා යන නමින් හැඳින්වූහ. මගේ වැඩිමහල් පුතත් දෙවන පුතාත් නිවාඩු කාලයේ ගම ට ගිය අවස්ථාවක අපේ ගෙදරට ආ ගැමියෙක් ” මේ ලියන මහත්තයාගේ ළමයි ද? “ යි මගේ සහෝදරියකගෙන් ඇසුවේය. “ ආදී ලෙසින් මාර්ටින් වික්‍රමසිංහ තමුන් ගැමියන් ලෙසින් හැදින්වූ ආකාරය දක්වා තිබේ.

 

පුවත්පත් හි වැඩකරන කාලයේ සාහිත්‍ය කටයුතු කෙරහිද ඇල්මෙන් කටයුතු කිරිමට වික්‍රමසිංහ යෝ සැදී පැහැදී සිටියේය. වර්තමානයේ මෙන්ම එකලද පුවත්පත් වල කෙටිකතා තිරු වලට කෙටිකතා රැසක් ඇදී එන්නට විය. එයින් නොපැහැදිලි අකුරින් තිබූ ජී බී සේනානයකගේ කෙටිකතාවක් මාර්ටින් වික්‍රමසිංහගේ සිත ගත්තේය. ජී බී සේනානායක පසුකලෙක මාර්ටින් වික්‍රමසිංහ යටතේ වැඩකළ ලේඛකයෙක් විය. සිය ජේෂ්ඨයාගේ ඇසුර සාහිත්‍ය දිවියට මහත් රුකුලක් වූ බව සේනානයකයෝම පසුකලෙක කියා තිබේ. හේමපාල මුනිදාස වැන්නන් ද වික්‍රමසිංහ සෙවනේ හැදී වැඩුනෝ වෙති. නව පොතක් පතක් ගැන පුවතක්, සාහිත්‍ය කලා කටයුත්තක් වෙත් නම් සිය කතුකම යටතේ වූ පුවපත්පත් හි  ඉඩක් වෙන්කර දීමට සෑම කාලයකදීම වික්‍රමසිංහ නොමසුරුව දායක විය.

 

වික්‍රමසිංහයන් ලියූ පොත් පත් රැස දෙස බලන කල ශාස්ත්‍රීය නවකතා ආදිය මෙන්ම සාමාන්‍ය කෙටිකතා ආදියද වේ. සත්ව විද්‍යාව, පුරා විද්‍යාව, කලාව, රට රටවල්, දේශපාලනික තත්වය ආදී විවිධාකාර මාතෘකා රැසක් යටතේ වික්‍රමසිංහ පොත පත පලකොට තිබේ. ඒ දැනුම ලැබීමට පුවත්පත් කලාව වික්‍රමසිංහට මහත් ආලෝකයක් වන්නට ඇත. ඔහු තාගෝර් ගේ ලංකා ගමනය නිමිති කොටගෙන පුවතක් පලකරන්නට ගත් වෙහෙස පහත දැක්වේ. “ මම රෑ දහයට පමණ ගෙදර ගොස් කෑම කා අවුරුදු පහකට පමණ උඩදී කියවූ ඊ ජේ තොම්සන් ගේ “තාගෝර් චරිතය” යළිත් අතරින් පතර කියවීමි. තාගෝර්ගේ නිබන්ධන සංග්‍රහයක් හා කාව්‍යක්ද පළින් බල කියවීමි. අනතුරුව ලිපිය ලියන්නට පටන් ගෙන රෑ දෙකට අවසන් කළෙමි. එය දිනමිණෙහි තීරු 4ක පමණ ලිපියකි.තාගෝර් එන දවසේ ඒ ලිපිය දිනමිණ පළමු පිටුවේ පළ විය. “ අද මෙන් සට සට ගා අන්තර්ජාලයෙන් සෙවූම් කර ලිපිලිවීමට නොහැකි වූ එකල විවිධ විෂයයන් ගැන ලියනු පිණිස බොහෝ කියවන්නට සිදුවීමම වික්‍රමසිංහයන්ගේ ලේඛන වල පරාසය වැඩිකරන්නට හේතු වන්නට ඇත.

 

යටත්විජිත කාලයේ හමාර වීමත් සමගම සිංහල භාෂාව ගැන ප්‍රබෝධයක් ඇති වූ අතර ඒ අතර කුමාරතුංගු මුණිදාස වැන්නෝ භාෂාව ගැන දැඩි නීතිරිති වල එල්බගෙන සිටියෝය. එහෙත් වික්‍රමසිංහ බස යනු අදහස් සන්නිවේදනයට යොදාගන්නා මෙවලමක් ලෙස සලකා එය කාලයට අනුව යාවත්කාලීන විය යුතුයැයි නිතර ඇදහීය. ඔහුගේ පුවත්පත් බස මෙන්ම පත පොත ලියූ බසද වඩාත් ජනයාට කාවදින ලෙසින්ම ලියන්නට ඔහු උත්සුක වීය.

මෙය වික්‍රමසිංහයන්ගේ සාහිත්‍ය කලාව නම් ග්‍රන්ථයේ ඇතුලත් ඡේදයකි. එසේම වික්‍රමසිංහ පුවත්පත් කලාවට බහින අවස්ථාව වන විටත් සිංහලයේ වූ බැදි අකුරු මුද්‍රණය කිරීමේ අපහසුතා විය. ඒ අනුව මුද්‍රණයට පහසු ආකාරයට අක්ෂරමාලාව සංස්කරණය කොට ගෙන නිමකිරීමටත් වික්‍රමසිංහ නොමද වෙහෙසක් ගත්හ. එකල ඇතැම් පාර්ශව සිංහල බස වුවත් දැනට මැසේජ් කරන්නා සේ සිංග්ලිස් ආකාරයෙන් පල කිරීම මැනැවැයි යන මතයක්ද ගෙන ගියේය. එහෙත් බහුතර මතය වූයේ සිංහල බස සිංහල අකුරෙන්ම නිම විය යුතුයැ යන්නය.

 

 

වෙබ් අඩවි වල හෝ බ්ලොග් ෆේස්බුක් ආදියේ ඇනෝ හෝ වෙනත් ව්‍යාජ නම්වලින් පෙනීසිටිමින්, ලියන අදහස් වලට පස්පඩංගුවේ බැනවදින්නන් ගෙන් අද කාලේ හිඟයක් නැත. වික්‍රමසිංහ යනු ඇතැම් දේ සම්බන්ධ ආන්දෝලනාත්මක දේ ලියූ අයෙකි. බුදුන් වහන්සේ යනු කතාන්දර වල දැක්වෙන සේ මහත් වූ ආශ්චර්ය විශ්වකර්ම වලින් තොර සාමාන්‍ය මනුෂ්‍ය චරිතයකැයි දැක්වෙන මතයක් වික්‍රමසිංහගේ විය. ඒ ගැන අවසාන කාලයේ ඔහු ලියූ ‘බව තරණය’ පොතේ සඳහන් විය. පසුකලෙක වික්‍රමසිංහයෝ මිය පරලොව ගියද වික්‍රමසිංහගේ ප්‍රගතිශිලී මත ගැන උරණ වූ ඇතැමෙක් දැන් මාටින් වික්‍රමසිංහ අවීචි මහා නිරයේයැයි අදහස් පළ කරන්නට ද විය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here