බුදුන් වහන්සේ උපන්නේ නේපාල ලුම්බිණියේ යැ කියන්නට හේතු – Buddhas Birth Place – Saru News Media

0
2

බුදුදහම යනු ලෝකය වෙනස් කල දහමකි. පුරාණ චීන සේද මාවත ඔස්සේ වර්තමාන ග්‍රීසිය රෝමය පිහිටි සීමාවේ සිට නිරිතදිග කෙළවර ඉන්දුනීසියාවේ බාලි දිවයින දක්වාද, නැගෙනහිරින් ජපානය දක්වාද එකම බෞද්ධ රාජ්‍යයක්ව පැවති කාලයක් ලොව විය. එකල්හි ලොව ජාත්‍යන්තර දහම බෞද්ධ වූවා පමණක් නොව වැඩිම පිරිසක් ඇදහූ පොදු දහම බෞද්ධ ආගම විය.
බුදුන් වහන්සේ උපදින්නට ප්‍රථමයෙන් දේශනා කරන්නට සහ රජුන්ට කල යුතු දෑ කියන්නට සිටි බමුණන්ට විශේෂ ආධිපත්‍යයක් විය. ක්ෂත්‍රිය වංශිකයකු වූ සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේගේ දහම කිසිසේත්ම අනෙකා පසුකිරීම හුරුකරන දහමක් නොවේ. එහෙත් බමුණු මත ඉවත ලන බුදු දහම රාජ රාජ මහාමාත්‍ය ආදී පාලක ක්ෂත්‍රියන් අතර මෙන්ම මහජනයා අතරද ඉක්මනින්ම ජනප්‍රිය විය.

 

19 වන ශතවර්ෂය ආරම්භයේදී ඉන්දියාවේද ස්ථාන කිහිපයක්ම බුදුන් වහන්සේ උපන් ස්ථානය යැයි සලකා විද්වතුන් අතර වාද විවාද ඇති විය. එයින් ලුම්බිණිය මූලිකවම සනාථ කරගත හැකි වූ සාධකයක් ලෙස අශෝක කුළුණ දැක්විය හැකිය. දැනට නේපාලය ඉන්දියාව ලෙස වෙන්වී ඇත්තේ වුවද අශෝක රාජ සමයේදී මෙම භූමිය අශෝක අධිරාජ්‍යයට අයත් විය. අශෝක රජතුමා පැමිණ බුදුන් වහන්සේට උප්පත්තිය දුන් මෙම බිම වැඳපුදාගත් බව එම කුළුණේ වූ අක්ෂර වල සටහන් වේ.

 

එක්සත් රාජධානියේ ඩර්හැම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කනින්හැම් වසර ගණනාවක් පුරා නේපාල ලුම්බිණියේ සිදුකල කැනීම් අවසානයේ නේපාල ලුම්බිණියේ පිහිටි පුරාවස්තු ලොව ඉපැරණිම බෞද්ධ නටඹුන් බවට සනාථ කරගත්තේය. එහිදී සොයාගත් දැව කොටස් ක්‍රිස්තු පූර්ව 6වන සියවස, එනම් බුද්ධෝත්පාදක කාලය තෙක් පැරණි යැයි කනින්හැම් ගේ කැනීම් වලින් කාබන් දත්ත ආශ්‍රයෙන්ද සොයාගන්නා ලදී.

 

සිද්ධාර්ථ කුමාර උප්පත්තිය ගැන ඇති බෞද්ධ කෘතිවල සඳහන්ව ඇති ආකාරයට මායාදේවිය හෙවත් මහාමායා දේවිය සිය පිංවත් කුමරා බිහි කරන්නේ අතරමගදීය. කපිලවස්තු පුර සිට දෙව්දහ නුවර දක්වා වූ ගමනේ අතර මග තැනෙක තැනූ තාවකාලික ස්ථානයකදී මායා දේවිය පිංවත් සිද්ධාර්ථ කුමාරයා බිහි කරන්නීය. ඒ කතාවට ගැලපෙන ආකාරයටම දැන් ලුම්බිණිය පිහිටි ස්ථානයට මදක් ඉහළින් කපිලවස්තු පුරය යැයි සැක කල හැකි පුරාවස්තු තිබේ.

 

බුදුදහම යනු දැනට වසර 2500කට අධික කාලයක් අඛණ්ඩව ලොව පවතින දහමකි. එසේම ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ සිට ලුම්බිණිය වනයට යට වූවා යැයි සැලකිය හැකි, ක්‍රිස්තු වර්ෂ 15 වන සියවස දක්වා කාල පරාසයකට අයිති පුරාවස්තු රැසක් ලුම්බිණි පුදබිමෙන් හමු වී තිබේ. විහාර ගෙවල් කුටි, චෛත්‍ය, පොකුණු වලින් සමන්විත ඒ පුරාවස්තු නිසැක වශයෙන්ම බෞද්ධ පුරාවස්තු බව බැලූබැල්මට පෙනේ.

 

ෆාහියන් සහ හියුන් සාන් යන බෞද්ධ භික්ෂූන්ගේ දේශාටන වාර්තා වල මෙම අශෝක කුළුණ සහ පොකුණු සහිත ලුම්බිණි පුදබිම වැඳපුදාගත් බව දැක්වේ. ඒ දේශාටන විස්තර වල ඇති සලකුණු සහ ලුම්බිණි පුදබිම ආසන්න වශයෙන් ගැලපේ. මෙම භික්ෂූන් දෙනම චීනයේ සිට නේපාලයට පැමිණ බුදුන් උපන් ස්ථානය වැඳ පුදාගෙන ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 5වන සියවසේදී සහ 7වන සියවසේදීය.

 

මහාමායා දේවින් වහන්සේ පොකුණකින් පැන් සනහාගත් බවක්ද ඇතැම් බෞද්ධ සාහිත්‍ය කෘති වල සඳහන් වේ. එසේම සිද්ධාර්ථ කුමාරයා නෙළුම් මල් මත ඇවිද ගිය බවද පුරාවෘත වල සඳහන්ය. මෙම ලුම්බිණියේ කැනීම් වලදී අශෝක කුළුණ සහ ප්‍රධාන නටඹුන් ඇති ස්ථානයට මදක් නුදුරෙන් පැරණි යුගයට අයත් පොකුණ සොයාගෙන තිබේ. අදද සල් ගස් වැවෙන, ජලය පිරි පොකුණු සහිත භූමියක් ලෙස ලුම්බිණිය පවතී.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here