මතක දිගහැරුම 102 – අප්සාරි සිංහබාහු තිලකරත්න – Saru News Media

0
7

එකසිය දෙවන දිගහැරුම ,

පළාත් සභා මැතිවරණ සමය එළැඹිණ.ආසන බාගයක් සහිත වූවත් එයට ඉදිරිපත් වන්න යැයි පක්ෂය විසින් හෂාන්ට දැනුම් දුනි .සියලුම අපේක්ෂකයන් සම්පූර්ණ ආසනයක් සහිතව මැතිවරණයට ඉදිරිපත් වන අතර හෂාන් ආසන බාගයක් සහිතව මැතිවරණයට ඉදිරිපත් වීම විශාල අභියෝගයක් මෙන්ම අවදානමක් විය.සාමාන්‍යයෙන් ආසනයක සංවර්ධන කටයුතු ඇතුළු බොහෝ කටයුතු සිදු කිරීමට මන්ත්‍රීවරයෙක් පත් කරගැනීම අවශ්‍ය නිසාත් විවිධ වරප්‍රසාද හිමි වන්නේ මන්ත්‍රීධූරයක් සහිත නම් නිසාත් බොහෝ දෙනා තමන්ගේ ආසනයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයාට අනිවාර්යයෙන්ම තමන්ගේ මනාපය ලබා දෙති.එවිට අඩුම වශයෙන් එක් අපේක්ශකයෙකුට තම ආසනයෙන් පමණක් මනාප විසිපන්දාහක් හෝ තිස් පන්දාහක ප්‍රමාණයක් හිමිවේ .හෂාන් සතු වූයේ ආසන භාගයක ප්‍රමාණයක් පමණක් නිසා ඔහු වෙත ඊටත් වඩා අඩු ප්‍රමාණයක මනාප සංඛ්‍යාවක් ලැබීමට ඉඩ ඇතැයි අප අනුමාන කළෙමු.කෙසේ වුවත් කාලයක සිට තරුණ සංවිධායකවරයෙක් ලෙස බොහෝ කටයුතු සිදු කළ නිසා පසු බැසීම සඳහා හෂාන් කිසිසේත්ම සූදානම් වූයේ නැති අතර පක්ෂයේ නායක තුමා විසින් මැතිවරණය සඳහා ඉදිරිපත් වන්න යැයි හෂාන් ගෙන් ඉතා තදින් ඉල්ලා සිටියේය.තමා ඉදිරියේ ඇති අභියෝගයට සාර්ථකව මුහුණ දීම සඳහා හෂාන් නොබියව සූදානම් වූයේය .

කෙසේ හෝ ආසන බාගයක් සහිතව හෂාන් මැතිවරණය සඳහා ඉදිරිපත් වූයේය.මැතිවරණ ව්‍යාපාර කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම ඔහු යෙදවූයේ ඉතා කැපවීමෙන් සහ ලෙස මහන්සි වී ඔහු විසින්ම උපයාගත් මුදල් ය.වෙනත් අයගේ සහයෝගය ඇතිව ඡන්ද ව්‍යාපාර කටයුතු සිදු කළහොත් පසුකාලීනව විවිධ ගැටලු වලට මුහුණ දීමට සහ වෙත පුද්ගලයන්ට අවැසි ආකාරයට කටයුතු කිරීමට සිදුවනු ඇතැයි හෂාන් විශ්වාස කළ නිසා සෑම අවස්ථාවකදීම සෑම කටයුත්තක් සඳහාම යෙදවූයේ ඉපයූ මුදල් පමණි.

මැතිවරණයට ඉදිරිපත් වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවූ අතර හෂාන් ඔහුගේ ආසනයේ මනාප වලට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ම මනාප ලබා ගත යුතු විය.ආසනය තුල ඡන්ද රැස්වීම් වලට සහභාගී වන අතරතුර කොළඹ දිස්ත්‍රික්කය පුරාම සංචාරය කරමින් හෂාන් විවිධ කටයුතුවලට සහභාගි වූයේ ය. එම සෑම කටයුත්තක් සඳහාම මා සෑම අවස්ථාවකදීම ඔහු වෙත මගේ උපරිම සහයෝගය ලබා දුන්නෙමි.අනෙක් දේශපාලනඥයන්ට මෙන් ,හෂාන්ගේ ඡන්ද ව්‍යාපාර කටයුතු සංවිධානය කිරීමට සහ අධීක්ෂණය කිරීමට වෙනත් කිසිවකු නොසිටි අතර ඒ සියලුම කටයුතු ඉටු කළේ මා විසිනි.එම නිසා හෂාන්ට ඒ අවස්ථාවේදී මගෙ සහයෝගය විශාල ශක්තියක් වූ බව මා දනිමි. ඇතැම් අවස්ථාවලදී මා හෂාන් වෙනුවෙන් දක්වන සහයෝගය දැක ඇතැම් ප්‍රසිද්ධ දේශපාලඥයින් මා සමගම පැවසූ දේවල් තවමත් මගේ මතකයේ ඇත.

” මගේ නෝනත් අප්සාරි වගේම මට උදව් කළා නම් අද මම මීටත් වඩා ඉහළ තැනක ඉන්නවා “

මා වෙත ලැබුණු එවැනි ප්‍රතිචාර අදටත් මා සිහි කරන්නේ නිහතමානී සතුටකිනි.

හෂාන් වෙත සහයෝගය දැක්වීම සඳහා විවිධ ආසනවලින් ස්වේච්ඡාවෙන්ම පුද්ගලයන් ඉදිරිපත් වූහ.හෂාන් වැනි තරුණ නායකයන්ට සහයෝගය ලබා දී ඉදිරියට රැගෙන ආ යුතුය යන යහපත් බලාපොරොත්තුව සහිතව ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ බොහෝ දෙනා අතර තමන්ගේ අභිමතාර්ථයන් ඉටු කර ගැනීම පිණිස සහ ඒ මොහොතේ මුදල් උපයා ගැනීම පිණිස ඉදිරිපත් වූ පිරිස් ද වූහ.සත්‍ය වාදීන් මෙන්ම අවස්ථාවාදීන් තුළ ඇති සැබෑ සිතිවිලි හඳුනාගෙන ඔවුන් සමඟ කටයුතු කිරීම සහ මැතිවරණයක් සඳහා සූදානම් වීම එතරම් පහසු කටයුත්තක් නොවන බව යළි යළිත් අපට පසක් විය.

සමහර පුද්ගලයන් හෂාන් වෙත පැමිණ තමා සතුව ඡන්ද පන්සියයක් ඇති බවත් , ඔහු බලාපොරොත්තු වන මුදල් ප්‍රමාණය ලබාදුන් හොත් එම සම්පූර්ණ ඡන්ද ප්‍රමාණයම හෂාන්ගේ නමට පවරන බවත් පවසයි.ඒ ආකාරයටම තවත් ඡන්ද අපේක්ෂකයෙක් වෙත යන එම පුද්ගලයන් එම අපේක්ෂකයාගෙන් ද ඒ ආකාරයටම මුදල් ලබා ගැනීමට උත්සාහ කරයි.මැතිවරණ සමය සමහර පුද්ගලයන්ගේ ආදායම් මාර්ගය බවට පත් වන්නේ ඒ අයුරිනි.එවැනි තත්වයක් යටතේ නව අපේක්ෂකයෙකුට මැතිවරණයක් ජයග්‍රහණය කිරිම ඇත්ත වශයෙන්ම විශාල අභියෝගයකි .අළුයම් කාලයේ වැඩ ආරම්භ කරන හෂාන් සහ මම ඇතැම් දිනවල නැවත නින්දට යන්නේ පසුදින අලුයම් කාලය උදාවන විට ය.අපගේ ජීවිත එතරම් ම කාර්යබහුල විය .

පෝස්ටර් ව්‍යාපාරය යනු වෙනමම කාර්යභාරයකි.මැතිවරණ සමයේදී ප්‍රදේශයේ පුරාම පෝස්ටර් ව්‍යාපාරය ක්‍රියාත්මක කෙරෙන අතර පෝස්ටර් අලවන පුද්ගලයන් එම කාලයට ඡන්ද අපේක්ෂකයන් සොයා එති.එවැනි පුද්ගලයන්ට මුදල් ලබා දුන් විට ඔවුන් අදාළ පෝස්ටර් අදාළ ස්ථානවල අලවති.ඇතැම් අවස්ථාවලදී පෝස්ටර් අලවා විනාඩි කිහිපයක් ගත වන විට තවත් අපේක්ෂකයෙකුගේ පෝස්ටර් අලවන්නන් පැමිණ අපගේ පෝස්ටර් මතින් ඔවුන්ගේ පෝස්ටර් අලවයි.සමහර දේශපාලඥයන් මැතිවරණය ජයග්‍රහණය කරන්නේ ඉතා සාර්ථකව පෝස්ටර් ව්‍යාපාරය හා ඡන්ද ව්‍යාපාර කටයුතු කිරීම නිසාය.ඇතැමුන් පෝස්ටර් ව්‍යාපාර කටයුතු සඳහා පමණක් මිලියන ගණන් වැය කරන අවස්ථාද ඇත.නමුත් එවැනි කටයුතු සඳහා අප ඉතා වෙහෙස මහන්සි වී උපයා ගත් මුදල් වියදම් කිරීම පිළිබඳව පශ්චාත්තාපය මුසු හැඟීමක් ද ඇතැම් විට මාගේ සිතට ඇති වේ. එසේ වියදම් කළ මුදල් වලින් උදව් අවැසි සහ අසරණ වූ මිනිසුන්ට උපකාර කළා නම් මැනවැයි මා හට සිතේ .

මේ සියල්ලටම අමතරව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණ කටයුතු කිරීමද අප සිදු කළෙමු .හෂාන් වෙනුවෙන් අප ඉතා ආදර්ශමත් ප්‍රචාරණ දැන්වීමක් නිර්මාණය කළේ ඔහුගේ පාසල වූ ඩී එස් සේනානායක විද්‍යාලයේ සිට ය.එකල බොහෝ දෙනා එම ප්‍රචාරණ දැන්වීම පිළිබඳව කතා බහ කරන්නට සහ ප්‍රතිචාර දක්වන්නට වූහ.ඉතා හොඳ පූර්වාදර්ශයක් සහිතව එම දැන්වීම සමාජගත කිරීම අපගේ අරමුණ වූ අතර මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ දේශපාලන ප්‍රචාරණ දැන්වීම් අතුරින් හොඳම ප්‍රචාරණ දැන්වීම හෂාන්ගේ ප්‍රචාරණ දැන්වීම බව බොහෝ දෙනා කාලය තුළ පැවසීම අප හට ඉමහත් සතුටක් විය.එම ප්‍රචාරණ දැන්වීම ප්‍රචාරය කර ගැනීම සඳහා යම් මාධ්‍ය ආයතන වල ප්‍රධානීන් සාධාරණ මිල ගණන් දක්වමින් අපට බොහෝ සේ සහයෝගය දැක්වූහ.රූපවාහිනි සහ පුවත්පත් වල හෂාන්ගේ දැන්වීම් පළ විය. අදාල ආයතන වල බොහෝ ප්‍රධානීන් පැවසුවේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙමින් රටට සේවයක් කළ හෂාන් වැනි පුද්ගලයකු ඉදිරියටත් රටට සේවයක් කිරීමට අවශ්‍ය නිසා සෑම අයුරකින් ඔහු හට සහයෝගය ලබාදෙන බවයි.

මැතිවරණ ව්‍යාපාර කටයුතු සඳහා අප ඇතැම් ප්‍රදේශ වලට යන විට එම ප්‍රදේශවල මිනිසුන් ඔවුන්ගේ ධනයෙන් සහ මහන්සියෙන් අප වෙනුවෙන් සංග්‍රහ පවා සූදානම් කර තිබුණි.බොහෝ දෙනාගේ ආදරය සහ ගෞරවය හෂාන් වෙත හිමි වූයේ ඒ ආකාරයෙනි.නමුත් තවත් සමහර ප්‍රදේශවල මිනිසුන් තේ සංග්‍රහ වලට පවා අපගෙන් මුදල් බලාපොරොත්තු වූහ.බොහෝදෙනාට අප මොන තරම් සේවයක් ඉටු කළත් සුළු කාලයක් තුළ ඒවා අමතක වීම ද දක්නට ලැබුණි.ඇතැම් දේශපාලඥයන් පැමිණ හෂාන් ලබා දුන්නාට වඩා සුළු ප්‍රමාණයක් වැඩියෙන් උපකාරයක් කළ ද ඔවුන් වෙත තමන්ගේ මනාප ලබා දේ .ඒ ආකාරයට දුරදිග නොබලා කටයුතු කළ කල අය අතර හෂාන් වැනි තරුණ නායකයන් ඉදිරියට ආ යුතු බව විශ්වාස කරමින් සහයෝගය දැක්වූ පිරිස් ද වූහ.

මතු සම්බන්දයි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here