මතක දිගහැරුම 33 – අප්සාරි සිංහබාහු තිලකරත්න – Saru News Media

0
1

තිස් තුන්වන දිගහැරුම ,

Emirates ආයතනයට සම්බන්ධ වීමේ සිහිනය අතහැර මා සුපුරුදු ලෙස මගේ රැකියාවෙහි යෙදුනෙමි.එසේ දින 6 ක පමණ ගුවන් ගමනක යෙදී මා නැවත ලංකාවට පැමිණෙන දිනක මා නිවසට රැගෙන යාම සඳහා අපගෙ රියදුරු මහතා පැමිණ සිටියේය.ඔහු ඉතාම ප්‍රවේශමෙන් සහ ගෞරවයෙන් යුතුව මා අතට ලිවුමක් ලබා දුන්නේ අම්මා එය මාගේ අතටම දෙන්නැයි පැවසූ බව කියමිනි.මා ඉතා පුදුමයට පත්වී එම ලියුම අතට ගෙන හොඳින් පරීක්ෂා කර බලන විට එමිරේට්ස් ආයතනයේ ලාංඡනය එම ලියුමේ, ලියුම් කවරයෙහි මුද්‍රණය කර තිබෙනු දුටුවෙමි.

හැකි ඉක්මනින් වාහනයට නැගුනු මා ඉතා නො ඉවසිල්ලෙන් යුතුව ලියුම් කවරය තුළ තිබුණු ලියුම එළියට ගතිමි.ලියුම කියවූ මට දෑස් අදහාගත නොහැකි විය. සුබ පතුමක් සඳහන් කරමින් එවා තිබූ එම ලියුමේ සඳහන් වී තිබුණේ , පෙර පැවති සම්මුඛ පරීක්ෂණ වලින් එමිරේට්ස් ආයතනය සඳහා ශ්‍රී ලංකාවෙන් තෝරා ගෙන ඇත්තේ මා පමණක්ම බවයි.ඒ වගේම දින දහයක් ඇතුළත ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලයට වාර්තා කරන ලෙස ද ,මාස තුනක පුහුණු කාලයක් තිබෙන බවද ඔවුන් සඳහන් කර තිබුණි.වචනවලින් විස්තර කළ නොහැකි තරමේ ඉහවහා ගිය සතුටක් ඒ මොහොතේ දී මට දැනුණු අතර මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ටවූ බවක් මට හැඟුනි.මට ලැබුණු අවස්ථාව පිළිබඳව මගේ අම්මා සහ තාත්තාද හදවතින්ම සතුටු විය.අම්මා , තාත්තා සහ නංගී වෙනුවෙන් මා ඉටුකරන යුතුකම් ද මා ඔවුන්ට සලකන ආකාරය නිසාද කිසිදු දිනක මට නොවරදින බවද මට ඉතා ආදරයෙන් පැවසූ මගේ තාත්තා මා දියුණුවෙන් දියුණුවට පත් වන බව ද පවසමින් මට ආශිර්වාද කලේය.

තාත්තා අසනීප වූ මොහොතේ ඔහුව සුවපත් කර ගැනීම සඳහා මා කළ සියළු දේ නිසා තාත්තා නිරන්තරයෙන්ම මා පිළිබඳව ආඩම්බර වූ අතර , ඔහු ඔහුගේ බොහෝ හිත මිතුරන් සමග පවසා තිබුණේ ඔහුට සිටින්නේ දියණියක නොව පුතෙකු බවත් , ඔහු හොඳින් ජීවත් වන්නේ ඒ නිසා බවත් කියාය.මා තාත්තා වෙනුවෙන් කළ සියලු දේවල් වලට ඔහු මට පින් දෙන වග මට කීවේ ඔහුගේම හිත මිතුරන් ය.තාත්තා ඔවුන් සමග එසේ කී බව දැනගත් විට මට සිතුනේ ඇතැම් විට තාත්තා ඔහුට තිබූ අසනීපය පිළිබඳව කුමක් හෝ දැන ඉන්නට ඇති කියාය.නමුත් සුවවීමෙන් පසු කිසිම දිනකවත් මා ඔහු සමග ඒ පිළිබඳව කතාබහ කර නැති අතර ඔහුට තිබූ අසනීපය කුමක්ද යනුවෙන් ඔහු ද කිසිදාක මගෙන් විමසා නැත.නමුත් එක් දිනකදී තාත්තා ඔහුගේ දෑත් එකතු කර වැඳ ” පුතේ ඔයා කවදහරි බුදු වෙන්න ඕනේ ” යැයි මට පැවසීය.ඒ සංවේදී මොහොත සිහිපත් වන විට අද ද මාගේ දෑස් වලට කඳුළු නැගේ.මා කරන කියන සියලු කටයුතු වලදී ඔහුගේ ඒ ආශිර්වාදය මා සමඟ අදටත් තිබෙන බව මා විශ්වාස කරමි.

මාස තුනක පුහුණු වීම සඳහා මා ගිය පසු අම්මා ,තාත්තා සහ නංගී තනිවීම මට විශාල ගැටලුවක් විය.නමුත් තාත්තා පැවසුවේ දැනටමත් ඔවුන් සඳහා අවශ්‍ය සියලු දේ මා සපයා ඇති නිසා ඔවුන්ගේ කටයුතු බලා ගත හැකියි යනුවෙන් ය.මා බලාපොරොත්තු වූ අවස්ථාව මට උදා වී ඇති නිසා ඒ ගමන සතුටු සිතින් යුතුව යාම සඳහා තාත්තා මෙන් ම අම්මාද මට ආශිර්වාද කළහ.

ඉන්පසුව මා මගේ ගමනට අවශ්‍ය සියලු දේ සූදානම් කර ගතිමි.emirates ආයතනයෙන් ඉල්ලා තිබූ ලියකියවිලි සූදානම් කර ගැනීම සහ Air Lanka ආයතනයෙන් ඉල්ලා අස් වීම මා කළ යුතුව තිබුණි. Air Lanka ආයතනයෙන් මා ඉවත් වීම ඔවුන් හට සිදුවන විශාල පාඩුවක් ලෙස ඔවුන් සැලකූ නමුත් මගේ ජීවිතයේ එළඹෙන්නට නියමිත අලුත් ආරම්භයට ඔවුන් සියලු දෙනාම මට සුභ පැතුම් එකතු කළහ.ආයතනයෙන් අස්වීම සඳහා අවශ්‍ය කටයුතු කර ගැනීමට ඔවුන් සියලු දෙනාගේම නොමද සහයෝගය මට ලැබුනි.මාස තුනක පුහුණු කාලය අතරතුර නැවත මට අප රටට පැමිණීමට නොහැකි නිසා මට අවශ්‍ය ඇඳුම් පැළඳුම් වල සිට සියල්ල මා සූදානම් කර ගතිමි.

එකළ ,එමිරේට්ස් ආයතනයේ ගුවන් ගමන් වාර ජපානයට නොයෙදී තිබීම නිසා Air Lanka ආයතනයෙන් ඉවත්වීමට පෙර මාගේ අවසන් ගුවන් ගමන් වාරය ජපානයට ලබා දෙන ලෙස මා ආයතනයෙන් ඉල්ලීමක් කළෙමි.පුහුණු වීමට යාමට පෙර ජපන් අම්මා සහ තාත්තා දැකබලා ගැනීම මගේ අරමුණ විය.කෙසේ හෝ මාගේ අවසාන ගුවන් ගමන් වාරය ලෙස ජපානයට යාමේ අවස්ථාව ද මට හිමි විය.

ජපානයට ගිය අවස්ථාවේ දී මගේ කාර්ය මණ්ඩලය විසින් මා වෙනුවෙන් සාදයක් ද සූදානම් කර තිබුණි.ඔවුන් සියලු දෙනා එකතු වී ඉතා ලස්සන මෙන් ම වටිනා මුද්දක් ද මට තෑගි කළහ.එහිදී මා මගේ ජපන් අම්මා සහ තාත්තා මුණගැසී ටික කාලයකට මට ඔවුන් වෙත පැමිණීමට නොහැකි බව පවසා මගේ ජීවිතයේ නව ආරම්භය සඳහා ඔවුන්ගේ ආශිර්වාදය ද ලබා ගත්තෙමි. Air Lanka ආයතනයේ මගේ අවසන් ගුවන් ගමන් වාරය ද අවසන් කිරීමෙන් අනතුරුව මා නැවත නිවසට පැමිණියෙමි.

මතු සම්බන්ධයි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here