මතක දිගහැරුම 38 – අප්සාරි සිංහබාහු තිලකරත්න – Saru News Media

0
5

තිස් අටවන දිගහැරුම

දෙමව්පියන් මැදි වූ ගැටලුව කෙසේ හෝ විසඳාගැනීමට ලැබීම මහත් සහනයක් වූ අතර ජීවිතයේ මා ඉදිරියට පැමිණි ප්‍රශ්න සහ අභියෝග වලදී අනිවාර්යෙන්ම එයට මුහුණ දිය හැකියි යන දැඩි ආත්ම විශ්වාසයක් මා සතු විය.ඒ වගේම කිසියම් ශක්තියක් හෝ බලවේගයක් සෑම විටම මා සමඟ සිටින බව මා හට ඒ වන විට හැඟී තිබුණි.ජීවිතයේ බොහෝ දේවල් මා නොසිතූ පරිදි වෙනස් වූ අතර කවුරුන් හෝ විසින් නිවැරදි ලෙස මා හසුරවන බව මට දැනුනි.හදිසියේ මගේ ජීවිතයට උදා වූ අවස්ථාවන් ,මා ගනු ලැබූ තීරණ , හදිසියේ මට ඇති වූ අදහස් සහ ඒවා ක්‍රියාත්මක කළ ආකාරයන් පිළිබදව සිතා බලද්දි ඇත්තෙන්ම මට සිතුනේ කිසියම් බලවේගයක් විසින් මා ජීවිතයේ ඉදිරියට කැටුව යන බවය.මා තුළ තිබූ ආත්ම විශ්වාසය මට කෙසේ ඇතිවුනි දැයි මා නොදන්නා අතර ඕනෑම ගැටළුවකට මුහුණ දිය හැකි ශක්තියක් මා තුළ තිබෙන බවත් , කිසිදු ගැටලුවකින් මා ඇද නොවැටෙන බවත් මා තරයේම විශ්වාස කළෙමි.එම ආත්ම විශ්වාසය මාගේ තාත්තා තුළද තිබුණු බව මට හොඳින්ම මතකය.

සියලු දේ අවසානයේ දී අප ජීවත් වූ නිවස අදාල ඥාතීන්ට භාර දී අම්මා, තාත්තා සහ නංගී නව නිවසේ පදිංචි විය.අහිමි වී ගිය නිවස පිළිබඳව කිසිදු ලෝබකමක් මගේ සිතේ ඉතිරි නොවුණු අතර තාත්තාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ලෝභ වූ මා අනෙක් භෞතික දේවල් සියල්ල සිතින් අතහැර දැමුවෙමි.අහිමි වූ එම සියලු දේවල් නැවත උපයාගත හැකියි යන සිතුවිල්ල පමණක් මා සිත තුළ විය. ඉන්පසුව මා පෙර පරිදිම මගේ පුහුණුවීම් කටයුතු වල නිරත වෙමින් ඉතා සතුටින් සහ සැහැල්ලුවෙන් කාලය ගත කලෙමි.

මාස තුනක පුහුණු කාලයෙන් පසුව අප රාජකාරී ආරම්භ කළෙමු.ඉතා අලංකාර වූ නිල ඇඳුම් වර්ග දෙකක් ආයතනය විසින් අපට ලබා දුන් අතර ශීත කාලයේ දී සහ ගිම්හාන කාලයේදී භාවිතා කිරීමට සුදුසු ලෙස එම නිල ඇඳුම් නිමවා තිබුණි.සියලු දෙනාම එකම ආකාරයකින් සැරසිය යුතු අතර රතු පැහැයෙන් යුතු තොල් ආලේපන සහ නිය ආලේපන ද ගැල්විය යුතු විය.ඒ වගේම රතු පැහැති හිස් වැසුම සහ එයට සම්බන්ධ කර ඇති දුහුල් වේලය ගෙල වටා දමන අතර රතු පැහැති සපත්තු සහ රතු පැහැති බෑග්ද අප භාවිතා කළෙමු.මොණර පිලෙන් හැඩවුණු කොළ පැහැති ඔසරියෙන් මා බටහිර ඇඳුමකට මාරු වූයේ ඒ අයුරිනි.

Air Lanka ආයතනයේ ගුවන් ගමන් වාර නොයෙදී තිබුණු රටවල් බොහොමයකට එමිරේට්ස් ආයතනයේ ගුවන් ගමන් වාර යෙදී තිබුණි.එම නිසා තවදුරටත් ලෝකය දැකීමේ අවස්ථාව මට එමගින් හිමි වූ අතර අරාබි රටවල් බොහොමයකට මා ගොස් ඇත්තෙමි.මුස්ලිම් නීති ඉතා තදින් ක්‍රියාත්මක වන රටවල් වල දී ගැහැණු පාර්ශවයේ අය පිටතට යනවා නම් කළු පැහැති ලෝගුව හැඳ දෑස් පමණක් විවෘතව තබා ගෙන යා යුතුය.එම නීතිය අපටත් පොදු වූ අතර රාත්‍රී කාලයේ දී ආහාර ගැනීම සඳහා අප අවන්හල් වලට යාමේදී එම ලෝගුවෙන් සැරසී යාමට අපට සිදු වූ අවස්ථා තිබුණි.ඇතැම්විට අපගේ කණ්ඩායමේ ම පිරිමි ළමුන් අප ඉදිරියට පැමිණියත්, ඔවුන්ට පවා අපිව හඳුනා ගැනීමට හැකියාවක් තිබුණේ නැත.

මා රාජකාරියේ යෙදුණ ඇතැම් ගුවන් ගමන් ගමන්වාර වල දී මක්කම වන්දනාවේ යන පිරිස් ද මට හමුවී ඇත.තනි සුදු පැහැයෙන් සැරසී සිටින ඔවුන් ගමන් ගන්නේ බයිබලය කියවමින් සහ යාඥා කරමින්ය.එවැනි බොහෝ ගුවන් ගමන් ගමන් වාර වල මා රාජකාරි කර ඇති අතර ඒවා වෙනස්ම ආකාරයේ අත්දැකීම් ද විය.රටවල් විශාල සංඛ්‍යාවකට ගමන් කරමින් මගේ රැකියාවෙහි මා නිරත වූයේ ඉතාමත් සතුටිනි.

ඩුබායි සිට ලංකාවට පැමිණෙන ගුවන් ගමන් වාර වල දී ගුවන් යානා කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකික අයෙකු සිටිය යුතු නිසා ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් වාරයක රාජකාරි කිරීමට මට අවස්ථාව හිමිවිය.ලංකාවට පැමිණෙන අපගේ කාර්ය මණ්ඩලයට නවාතැන් පහසුකම් සලසා තිබුණේ ටාජ් සමුද්‍රා හෝටලයේ ය.දින දෙකක් අප ලංකාවේ සිටීමට නියමිතව තිබූ අතර මා පැමිණෙන විට අම්මා, තාත්තා සහ නංගීද ටාජ් සමුද්‍රා හෝටලයට පැමිණ සිටියහ.ඉන්පසුව මා ඔවුන්ව මාගේ කාමරය වෙත කැටුව ගිය අතර ඔවුන් ප්‍රිය කරන ආහාර ඇනවුම් කර කාමරයේ සිට, සියලු දෙනාම එක්ව ආහාර ගත්තෙමු.

නව නිවසක් මිලදී ගැනීම වෙනුවෙන් මාගේ කාර් රථය විකුණා දැමූ නිසා දෙමාපියන් සහ නංගී පැමිණ සිටියේ හිතවත් අයෙකුගේ වෑන් රථයක ය.ආහාර ගෙන අවසන් වූ පසු අප සියලු දෙනාම නව නිවස වෙත ගියෙමු.එම නිවස වෙත ගිය විට ඇත්ත වශයෙන්ම මට මගේ දෙමව්පියන් සහ නංගි පිළිබඳව දැඩි දුකක් දැනුනි.ඊට හේතුව වූයේ, හදිසියේ මුහුණ දීමට සිදු වූ ගැටලුව නිසා එම අවස්ථාවේ හැටියට එතරම් සැප පහසුකම් නොමැති අඩක් ඉදිකල නිවසක් ඔවුන් විසින් මිලදී ගෙන තිබීමය.ජලය ලබා ගැනීම සඳහා එහි ළිඳක් තිබූ බව ද මට මතකය.ඊට පසු දිනම මා අම්මා සහ තාත්තා සමග ගොස් පුටු සෙටිය,කෑම මේසය ඇතුළු ඔවුන්ට අවශ්‍ය සියලුම ගෘහ භාණ්ඩ මිලදීගෙන දුන්නෙමි.සතියෙ ගත් එම අලුත්ම ගෘහ භාණ්ඩ වලින් නිවස අලංකාර කරදී , නිවසේ ඉතුරු වැඩ කටයුතු නිම කිරීම සඳහා අවශ්‍ය මුදල් වලින් කොටසක් ද තාත්තා අතට දී එම දින ද පවුලේ අය සමඟ ඉතා සතුටින් ගත කර පසු දිනයේ දී ඩුබායි බලා නැවත පිටත්ව ගියෙමි

මතු සම්බන්ධයි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here