මතක දිගහැරුම 58 – අප්සාරි සිංහබාහු තිලකරත්න – Saru News Media

0
2

පනස් අටවන දිගහැරුම ,

විවිධ රටවල් වල පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීම සඳහා සහභාගි වුණු මා ඇතුළු අනෙක් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන් කාලය ගත කළේ ඉතා විනෝදයෙන් ය.ක්‍රිකට් තරග නරඹා අවසානයේ දී සාප්පු සවාරි වල යෙදීමට ද අප අමතක කළේ නැත.

ලොව පුරා ප්‍රචලිත සිදුවීමක් වූ Darall Hair සහ මුත්තයියා මුරලිදරන් අතර සිදු වූ සිදුවීම වන අවස්ථාවේ අප සිටියේ ප්‍රේක්ෂකාගාරයේ ය.එම සිදුවීම අප සියලු දෙනාම සියැසින් දුටුවෙමු.ඒ වගේම ඒ මොහොතේ දී අර්ජුන රණතුංග විදහා දැක්වූ නිර්භීත නායකත්වය සැබැවින්ම අගය කළ යුතුය.මුත්තයියා මුරලිදරන් වෙනුවෙන් මෙන්ම තම කණ්ඩායම වෙනුවෙන් ද නොබියව ඉදිරිපත් වූ අර්ජුන රණතුංගගේ එම ක්‍රියා කලාපය සියලු දෙනාගේ ම ප්‍රශංසාවට ද ලක්වූ අතර ඔහුගේ එම නිර්භීත නායකත්වය මුත්තයියා මුරලිදරන් ගේ ඉදිරි ගමනට ද විශාල පිටුවහලක් වූ බව මා සිතමි.

එම රටවල් වල සිටි ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනා ක්‍රිකට් තරග නැරඹීමට පැමිණි අතර ඔවුන් විවිධ උත්සව සහ සාද සඳහා ක්‍රිකට් කණ්ඩායමට ආරාධනා කළහ.එම රටවල් වල දී පවා ක්‍රිකට් කණ්ඩායමට ඔවුන්ගේ නොමද ආදරය හිමි විය.

තරඟ සංචාරය සඳහා අප සමග සහභාගි වූ හෂාන්ගේ දෙමව්පියන් සංචාරය නිම වීමට පෙර නැවත ලංකාවට පැමිණියහ.ඉන් පසුව සිදු වූ සිදුවීමක් නිසා අප සියලු දෙනාම අතිශයින්ම කම්පනයට පත්විය.එකල ලංකාවේ දරුණු ලෙස යුද්ධය පැවති කාල වකවානුවක් වූ අතර හදිසියේ ම අපට දැනගන්නට ලැබුණේ මහ බැංකුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.හෂාන්ගේ මව මහ බැංකුවේ සේවයෙහි නිරත වීම නිසා එම ආරංචියෙන් අප සියලු දෙනාම දැඩි ලෙස කම්පනයට පත් වුණෙමු.ඒ නිසා හැකි ඉක්මනින් අප අම්මා පිළිබඳ විස්තර සොයා බැලූ අතර වාසනාවකට මෙන් ඇයට කිසිදු හානියක් සිදුවී තිබුණේ නැත.

හෂාන්ගේ අම්මා සතුව වෑන් රථයක් තිබූ අතර ඇය සෑම දිනකම රැකියාවට ගියේ මහ බැංකුවේ සේවයේ නිරතවන තමන්ගේ මිතුරියන්වද ඇගේ වෑන් රථයේ නංවා ගෙන ය.බෝම්බ පිපිරීම සිදු වූ අවස්ථාවේ ඉන් තුවාල ලැබූ බොහෝ දෙනෙකුව අම්මා තනිවම එම වෑන් රථයෙන් රෝහලට රැගෙන ගොස් ඇත.තමන්ට ඒ මොහොතේ සිතාගත නොහැකි තරමේ විශාල ශක්තියක් දැනුණු බව හෂාන්ගේ අම්මා පසුව අප සමඟ පැවසුවාය.

ඔස්ට්‍රේලියානු සංචාරයේදී හෂාන් සහ මම ඉදිකරමින් තිබූ අපගේ නිවෙසට අවශ්‍ය කරන බොහෝ බඩුබාහිරාදිය මිලදී ගත්තෙමු.ඇතැම් අවස්ථාවල දී පෙට්ටි හතක් හෝ අටක් වැනි සංඛ්‍යාවක අප මිලදී ගත් බඩු භාණ්ඩ අසුරා තිබුණි.නිවෙස් අලංකරණය පිළිබඳව ඇති සඟරා බලමින් ඒවායෙන් අප නිවස සඳහා අදහස් ගත් හෂාන් සහ මම නිවසට අවශ්‍ය කරන දෑ එකතු කලෙමු.තරග සංචාරය අවසන් වූ විට අප ද ආපසු ලංකාවට පැමිණියෙමු.ඉන්පසු සාමාන්‍ය ආකාරයට අපගේ ජීවිත ගලාගෙන ගිය අතර නිවස ඉදි කිරීමේ කටයුතු වලට මගේ වැඩි අවධානයක් යොමු වී තිබුණි.

එසේ කාලය ගෙවී යන අතරතුරදී මා ගැබ් ගෙන ඇති බවට ලකුණු පහළ වන්නට විය.ඒ පිළිබඳව සැකහැර දැන ගැනීම සඳහා මා වෛද්‍ය සරත් අමරසේකර වෙත යොමු වුණෙමි.එම අවස්ථාවේදී සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව මා මව් පදවිය ලබන්නට යන බව දැනගන්නට ලැබුණි.එය අප කාහටත් ඉතා සතුටුදායක ආරංචියක් වූ අතර මගේ ජීවිතයට තවත් අලුත් අත්දැකීමක් විය.

එකළ හෂාන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සූදානම් වෙමින් සිටි කාලය වූ අතර මා නිවස ඉදි කිරීමේ කටයුතු වලට වෙහෙසෙමින් සිටි කාලය විය.හෂාන් ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස රට වෙනුවෙන් ක්‍රීඩා කළේ රැකියාවක් කරමින් සිටින අතරතුර දී ය.වර්ථමානයේදී මෙන් එකල ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා විශාල මුදලක් ලැබුණේ නැත.නමුත් ඔහුට ලැබෙන සෑම මුදලක්ම ඔහු මා හට ගෙනැවිත් දුන් අතර ඔහු මා මත විශාල විශ්වාසයක් ද තැබීය.ඒ හේතුව නිසා අවශ්‍ය දේට පමණක් එම මුදල් යොමු කිරීමට මා සිතා ගත් අතර ගැබ් ගැනීමෙන් අනතුරුව මා තවත් වගකීම් සහගත ලෙස ජීවත් විය යුතු විය.සියලු පහසුකම් සහිතව ඉතා සුන්දර නිවසක් ඉදි කළ යුතුයැයි දැඩි අධිෂ්ඨානයක් ඒ වන විට මා සිත තුල තිබුණි.

ක්‍රිකට් ක්‍රීඩාව යනු දිගින් දිගටම නියැළිය නොහැකි වෘත්තියක් වන අතර ඇතැම් විට ක්‍රීඩකයා යම් ආබාධයකට ලක් වුවහොත් ඔහුට තවදුරටත් ක්‍රීඩාවේ නියැළීමට අවස්ථාව අහිමි වී යා හැකිය.හෂාන් යනු ඉතා කැපවීමෙන් ක්‍රීඩාවේ නියැළුණු අයෙකු වූ අතර පාසල් කාලයේ සිටම ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා ආදරය කළ අයෙක් ද විය.ඒ ආකාරයට පාසල් කාලයේ සිටම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කැප වන බොහෝ අයට වෙනත් ක්ෂේත්‍රයක නියැලීමට හෝ වැඩිදුර අධ්‍යාපනය ලැබීමට කාලයක් ඉතිරි වන්නේ නැත.එම නිසා එක් අතකින් බලන කල , ඇතැම්විට ක්‍රිකට් ක්‍රීඩකයන් නිරත වන්නේ අවදානම් සහගත වෘත්තීයක ය.එම නිසා එවැනි අවිනිශ්චිත ක්‍රීඩාවක නියැලෙන හෂාන් උපයන සෑම මුදලක්ම ඉතා පරිස්සමෙන් භාවිතා කරමින් ඔහුගේ මහන්සියට වටිනාකමක් දිය යුතු යැයි මා සෑම විටම සිතුවෙමි. හදිසියේ හෝ හෂාන් යම් ආබාධයකට ලක්වී ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීමට නොහැකි වූවොත් ඉදිරි ජීවිතය ගත කරන්නේ කෙසේද යනුවෙන් සිතමින් ඔහු ඉපයූ මුදල් අනවශ්‍ය ලෙස මා වියදම් නොකල අතර අත්‍යවශ්‍ය දේවල් සඳහා පමණක් වියදම් කළෙමි.

ලෝක කුසලාන තරගාවලියට පෙර සාජා හී පැවැත්වුණු තරගයකට හෂාන් සහභාගි විය.ඒ වන විට මා මව් පදවිය ලැබීමට බලාපොරොත්තුවෙන් සිටි නිසාත්, ඒ අතරතුර ගුවන් ගමන් වල නිරතවීම හිතකර නොවන නිසාත් මා එයට සහභාගි වූයේ නැත.ඔහු එම තරගවලට සහභාගි වන අතරතුර මා ඔහු ඇතුළු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් බෝධි පූජා පැවැත්වූයෙමි.ඊට අමතරව සෑම තරගාවලියකට ම පෙර ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සියලු දෙනාම හෝ , හෂාන් සහ මම අපගේ දෙමාපියන් සමඟ හෝ හෂාන් හට පුහුණුවීම් නොමැති දිනයකදී අනුරාධපුරය, රුවන්වැලි සෑය ,ශ්‍රී මහා බෝධිය සහ දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම පුරුද්දක් කර ගෙන සිටියහ. ඒ වගේම තරග වලට සහභාගිවීමට පෙර අනිවාර්යයෙන්ම හෂාන් අප ජීවත් වන ගමේ කොළමුණ්න පන්සලට ගොස් අටපිරිකර පූජා කර ස්වාමින් වහන්සේලා ලවා පිරිත් සජ්ජායනය කර ගෙන ආශිර්වාද ලබා ගැනීමට ද අමතක කළේ නැත.ඇතැම් දිනවල ස්වාමීන් වහන්සේ නිවසට වැඩම කර පිරිත් සජ්ජායනය කර ආශිර්වාද ලබා දුන් දිනයන් ද ඇත.

මතු සම්බන්දයි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here