යුවාන් වෑන් 5 නැව ගැන අපි නොදන්නා දේවල් – Saru News Media

0
3

ඇමෙරිකාවත් බයවෙච්ච, ඉන්දියාවත් අපිට එපා කියද්දී ලංකාවේ ලැගුම් ගත්තු යුවාන් වෑන් 5 නැව ගැන අපි නොදන්නා දේවල් ටිකක් දැනගමු

ඔයාලා කවුරුත් දන්නවානේ පහුගිය අගෝස්තු 16 ඇවිත් අගෝස්තු 22 ලංකාවෙන් පිටත්ව ගිය චීනයේ යුවාන් වෑන් 5 නැව ගැන අපි ගණන් නොගත්තත් ලෝකයම කතා වුණා කියලා. ඒකට හේතු වුණේ නාමික වශයෙන් මේ නෞකාව විද්‍යාත්මක පර්යේෂණය සඳහා යොදාගැනෙන සිවිල් නෞකාවක් වුනත් ඒක යුධමය ඔත්තු බලන වැඩ වලටත් යොදාගන්න පුළුවන්ය කියන දේ ගැන හැමෝම අනුමාන කරපු නිසයි. ඉතිං ඉන්දියාව වගේම ඇමෙරිකාවත් මේ නැව එන එකට එයාලගේ විරෝධය ප්‍රසිද්ධියේ කියලා දැම්මා. කොහොම වුණත් චීනය තරහා කරගන්න බැරි තරම් තැනක ලංකාව ඉන්න නිසා ලංකා රජය ඒකට හම්බන්තොට වරායට ඇතුල්වෙන්න ඉඩදුන්නා. ඒ මෙරට මුහුදු සීමාවේ කිසිම පර්යේෂණ කටයුත්තකට නියැලෙන්නේ නැති බවට වාචික පොරොන්දුවක් එක්ක.

ඉතිං මේ නැව ඇතුලේ වෙන්නේ මොකක්ද කරන්නේ මොකක්ද කියලා හොයලා බලන්න අපිට අයිතියක් නැති නිසා ඒ පොරොන්දුව වචනයකට විතරක් සීමා වෙන්න ඉඩකඩනම් තියෙනවා. කොහොම හරි මේ අපූරු නැව ගැන හා ඒක සතු පුදුමාකාර හැකියාවන් ගැන ඔයාලට කියන්න lifie සූදානම්.

යුවාන් වෑන් 5 - Yuwan Van 5 ship

ලංකාවට ආපු මේ යුවාන් වෑන් 5 නැව ඒ නමින්ම තියෙන එහෙමත් නැත්නම් ඒ ක්ලාස් එකටම අයිති වගේම මුලික වශයෙන් විවිධාකාර නිරික්ෂණ කටයුතු සඳහා ගොඩනගපු එකක්. මේකේ මුලික අවධියේදී යුවාන් වෑන් 1 හා 2 නෞකා 1977 තරම් මෑත කාලයේදී නිෂ්පාදනය කෙරුණු ඒවා වුනු අතර දෙවෙනි පරම්පරාව විදිහට තමයි 1994 අවුරුද්දේදී යුවාන් වැන් 3 නෞකාව නිෂ්පාදනය කළේ. පස්සේ 1998 දි යුවාන් වැන් නෞකාවෙ අඩංගු දේවල්ම වෙනත් නෞකාවක් මත සවිකිරීමෙන් තමයි යුවාන් වැන් 4 නෞකාව ඉදිකළේ. මේ නැව් 4 ම චීන නාවික හමුදා සේවයට එක්කර ගත්තා. පහුගිය දා අපේ රටට ආවේ 2007 දී නිපදවපු තුන්වෙනි පරම්පරාවේ යුවාන් වැන් 5 නෞකාවයි. යුවාන් වැන් නෞකාවල නිරික්ෂණ හැකියාවන් සියල්ලම පාහේ මෙම නැවට ඇතුල් වුනත් චීන නාවුක හමුදාව වෙනුවට චීන රජයට අයත් වෙන විදිහටයි මේක සේවයට එක්කර ගත්තේ. ඉතින් යුවාන් වැන් නෞකාවල පහසුකම්,හැකියාවන් ගෙන් සන්නද්ධ වුනත් එය නිලවශයෙන් සිවිල් විද්‍යාත්මක පර්යේෂණය සඳහා වූ නෞකාවක් කියලයි සැලකෙන්නේ.

Yuwan Van 5 ship

චීන රජය විසින් යුවාන් වෑන් 5 නැව ගැන තොරතුරු හෙළිකරලා තියෙන්නේ ඉතාමත් සීමිත වශයෙන්. කොටින්ම කියනවනම් මේකේ දිග පළල ගැන උනත් හරි තොරතුරක් අනාවරණය කර ගන්න පුළුවන් වුණේ ඒක ලංකාවට ආවට පස්සෙයි. දිගින් මීටර් 222 ක් හා පළලින් මිටර් 22.5 ක් වෙන මේ නෞකාව විස්තෘත බර ටොන් 22000 ක් විතර වෙනවා. මීට පෙර නිෂ්පාදනය වුණ නැව් 4 ටම වඩා විශාල වෙන මේකේ නාවිකයින් 400 ක් සේවයේ යෙදිලා ඉන්නවා. චීන රජයේ කොන්ත්‍රාත් එකක් මත CSIC සමාගම තමයි මේක නිපදවලා තියෙන්නේ.

Yuwan Van 5 ship

යුවාන් වෑන් නෞකාවෙ එක්තරා විශේෂත්වයක් වෙන්නේ එකේ තියෙන විදුලිජනක පද්ධතිය. නෞකාව දිහා බලාපු සැනින් දකින්නට ලැබෙන දැවැන්ත රේඩාර් පද්ධති 3 ඇතුළුව එහි භාවිත කටයුතු සඳහා යොදාගන්නා පද්ධතීන් සියල්ලම අතිශයින්ම ප්‍රභල ඒවා. ඒ නිසා මේවා පනගන්වන්න දැවැන්ත විදුලි බලාගාරයක් නැව ඇතුලේම පිහිටුවලා තියෙනවා.

මේ බලාගාරය ගැන නිවැරැදි දත්ත හෙළිකරලා නැතත් ඊට අනුමාන කරගන්න පුළුවන් පුවතක් චීන මාධ්‍ය පලකරලා තිබුණා. එකෙන් කියැවුණේ නිවාස ලක්ෂ 3 කට විතර විදුලිය සපයන්න පුළුවන් හැකියාවක් ඒකට තියෙනවා කියලායි. මේ නිසා ⁣සාමාන්‍යයෙන් මෙගා වොට් 100 ක පමණ ධාරිතාවකින් යුක්ත බව හිතාගන්න පුළුවන්. මෙහි ප්‍රමිතියෙන් නව ලක්ෂපාන විදුලි බලාගාරය වගේ අපේ රටේ ප්‍රධාන විදුලිබලාගාරයකට සමාන විදුලියක් උත්පාදනය කරන්න පුළුවන්. මේ නිසා මුළු හම්බන්තොට දීස්ත්‍රික්කයටම උනත් විදුලිය දෙන්න යුවාන් වෑන් 5 නෞකාවට.

Yuwan Van 5 ship

ඉතිං යුවාන් වෑන් 5 නැවට අපේ රටේ බලාගාරයක් තරම්ම විදුලිය අවශ්‍ය වෙන්නේ මොකටද කියලා ඔයාලට ප්‍රශ්නයක් ඇති. එකේ මූලිකම කාරණාව වෙන්නේ නෞකාවෙ තියෙන ප්‍රධාන රේඩාර් පද්ධතිය බලගැන්වීම. මේ ප්‍රධාන රේඩාර් එකට කිලෝමීටර් 750 වැඩි දුරක පවතින වස්තූන් හඳුනගන්න පුළුවන්. ඒ වගේ වස්තූන් සිය ගණනක් වුනත් එකපාර ට්‍රැක් කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා කියලයි ඉන්දියාව හා ඇමරිකානු ඔත්තු සේවා විසින් මේ වනවිටත් ඇස්තමේන්තු කරලා තියෙන්නේ.

ඉතිං යුවාන් වෑන් නෞකාවට එය වටා වර්ග කිලෝමිටර් මිලියන 1.7 කට වැඩි ප්‍රදේශයක් සෝදිසි කරලා බැලීමේ හැකියාවක් මේ වෙද්දී පවතිනවා. විශාලත්වය ගත්තොත් එක ලංකාව වගේ විසිහත් ගුණයක්. එහෙමත් නැත්නම් ඉන්දියාවෙන් හරි අඩකටත් වඩා විශාලයි. මෙහි ඉඳන් ඉන්දියාවේ දකුණු හා බටහිර ප්‍රදේශ සෑහෙන ප්‍රමාණයක කටයුතු ගැන සෝදිසි කරන්න ඒකට පුළුවන්. ඉන්දියාවේ ප්‍රධානතම අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන සතිෂ් ධවාන් මධ්‍යස්ථානය පිහිටලා තියෙන්නෙත් හම්බන්තොට වරායේ ඉදලා සෝදිසි කරන්න පුළුවන් දුරකින්. මේක නිසයි ඉන්දියාව මේ නෞකාවෙ ආගමනයට වැඩි විරෝධයක් දක්වන්න ප්‍රධානතම හේතුව.

Yuwan Van 5 ship

යුවාන් වෑන් 5 නෞකාව නිල වශයෙන් චීනයේ සිවිල් අභ්‍යවකාශ කටයුතු වලදී නිරික්ෂණ කටයුතු හා ට්‍රැකින් කිරීම සඳහා සහය වෙන නෞකාවක්. පසුගියදා චීනය දියත්කරපු ලෝන්ග් මාර්ච් 5 රොකට්ටුව ඇතුළු චීනයේ සිවිල් චාරිකා දියත්කිරීම් වලදී ඒවයෙ ගමන් මාර්ගය, වේලාව, පිහිටි ස්ථානය ඇතුළු වැදගත් දත්ත රැස් කිරීමට නිතරම යුවාන් වෑන් 5 නෞකාව යොදාගත්තා. කොහොම උනත් ඒ සඳහා යොදාගත් තාක්ෂණය පහසුවෙන්ම ඉන්දියාව දියත්කරණ චන්ද්‍රිකා බැලස්ටික් මිසයිල ආදිය ගැන ඔත්තු බලන්නටත් යොදා ගන්නට පුළුවන්. අපි කලින් කතකරපූ වායුගෝලයේ රේඩාර් නිරික්ෂණ කටයුතුවලට අමතරව කිලෝමිටර් දහසක් විතර ඈත අහසේ පවතින චන්ද්‍රිකාවන් ගැනත් ඔත්තු බැලීමේ හැකියාවක් එහි රේඩාර් පද්ධතියට පවතින බවයි ඇස්තමේන්තු ගතකරල තියෙන්නේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here