රජ පවුලට දරුණු පහරක් එල්ල කරන හැරී කුමරුගේ කෘතිය – SPARE – Saru News Media

0
5

කාලයෙන් කාලයට පුවත් මවන්නට බ්‍රිතාන්‍යයේ පවුලේ උදවිය තරම් කිසිවෙකුත් සමත් නැති බව සත්‍යයක්. ඔවුන් ඉතාම පෞද්ගලික ජීවිත ගත කරන්නට උත්සාහ කළත් වරින්වර ඔවුන්ගේ ජීවිතවල ඇති රහස් කතන්දර එළියට එනවා.

Spare නම් කෘතිය එහි අලුත්ම දිගහැරුමයි.

ඒ නමේ අර්ථයෙන්ම ඔබට තේරෙන්නෙ මොකක්ද? අමතර කියන අදහස. ඒ හැරුණාම මෙහි ඒ තරමට වැදගත් නැති වගේ අදහස් ගැබ් වෙලා තියෙන්න පුළුවන්. හැරී කුමරු මේ කෘතිය රචනා කරමින් අදහස් කරන්නේ තමන් රජ පවුලට ඇත්තටම වැඩි උවමනාවක් නැති අමතර පුද්ගලයෙක් කියන කතාව

මේ කෘතිය ලියන්නේ හැරී කුමරු. ඔහු ලියූ බව කීවට සත්‍ය වශයෙන්ම මේ පොත ලියා ඇත්තේ පුලිට්සර් සම්මාන පවා දිනූ ප්‍රකට ඇමරිකානු පුවත්පත්කලාවේදියකු සහ ලේඛකයෙකු වන JR Moehringer විසින්. ඔහු මෙහි Ghost Writer ලෙස හඳුන්වන්න පුළුවන්.

ජනවාරි 10 වැනිදා නිකුත් වූ මේ කෘතිය නිකුත් වන්නටත් පෙර සිටම රාජකීයයෙකු අතින් ලියැවුණු අමුතුම පොතක් ලෙස විචාරකයින්ගේ සහ ලෝකයේ සිටින බොහෝ ජනතාවගේ අවධානයට ලක් වන්නට පටන් ගත්තා.

මේ කෘතිය Penguin Random House විසින් ප්‍රකාශයට පත් කරන ලද්දක්. එය පිටු 416ක පොතක් වන අතර ඩිජිටල් කෘතියක් සාමාන්‍ය කෘතියක් සහ දෘඪ ආවරණ සහිත කවරයක පොතක් යන ආකෘතිවලින් ලබාගත හැකියි. භාෂා පහළොවකට පරිවර්තනය කර ඇත. හැරී විසින්ම කියවන ලද පැය 15 ක Audio Book සංස්කරණයක් ද තිබෙනවා. 2022 ජූලි මාසයේ මේ පොත් එළි දක්වන්නට සූදානම් කර තිබුනත් රැජිනගේ නරක සෞඛ්‍ය තත්ත්වය නිසා මෙය කල් ගිය බව නොරහසක්.ප්‍රකාශන ආයතනය මේ කෘතිය වෙනුවෙන් ඩොලර් මිලියන විස්සක් හැරීට ගෙවා තිබෙනවා. ඒ අඩු ආදායම් දරුවන්ගේ සුබසාධන කටයුතුවලට වැයක කරන්නට හැරී කුමරු සිතා සිටින අතර ඔහු මෙහි ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ලොව වටා සංචාරය කරන්නට ද නියමිතයි.

සාමාන්‍ය ජීවිත කතාවකට පවා අවධානයක් ලැබෙන බව සත්‍යයක්. නමුත් මේ කෘතියට එහෙම අවධානයක් ලැබෙන්නට විශේෂ හේතුවක් තිබෙනවා. ඒ තමන්ගේ බොහෝ අත්දැකීම් හැරි නිර්භයව විස්තර කර තිබීම නිසා.

හැරීට රජ පවුලේ උපත ලැබූවත් රජකම හිමිකර ගැනීමට ඇත්තේ අල්ප හැකියාවක්.වගේම සහෝදරයන් වුණත් විලියම් සහ ඔහු අතර කිසිම බැඳීමක් නොවූ බව මේ කෘතියෙන් කියවෙනවා. විලියම් කුමරුට විශාල සැලකිල්ලක් හිමි වුණත් රැජිනි ගේ ප්‍රියතම කුමරා බවට පත්වුණත් විලියම් යටතේ ජීවත් වන්නට හැරී ට සිදු වූ බව මේ කෘතිය තුළින් ඔහු කතා කර තිබෙනවා.රජ පවුලේ චාරිත්‍ර ගැන එතරම් තැකීමක් නොකළ හන්දා ඔහු Bad boy ලෙස හැඳින්වූ අන්දමත් ආත්ම අභිමානය සහ ආත්ම විශ්වාසයෙන් තොර ව ජීවත් වූ කාලය ගැනත් හැරී නිර්භීතව ප්‍රකාශ කර තිබෙනවා.

කෘතිය නිකුත්වන්නට පෙර ගාඩියන් පුවත්පත වාර්තා කළ අන්දමට මෙහි විලියම් විසින් තමන්ට පහර දුන් අවස්ථාවන් ගැන හැරී කුමරු විස්තර කර තිබෙනවා. ඒ මේගන්   සම්බන්ධයෙන් සිදු වූ සිදුවීමකදී. කුමරුගේ කමීසය ඉරා දමා බිම වැටෙන ලෙස පහර දුන් බවයි ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ. මේගන්  අවිනීත සහ රළු තැනැත්තියක්  ලෙස විලියම් කුමරු හැඳින්වූ බවත් ඒ විවාහයට තරයේම විරුද්ධ වූ බවත් පැවසෙනවා.තමන්ගෙ තාත්තා සහ සහ සහෝදරයා තමන්ට නැවත ලබා ගන්නට තමන් සැබෑවට ම කැමති බව පොත සම්බන්ධ මාධ්‍ය සාකච්ඡාවක දී හැරී කුමරු ප්‍රකාශ කර තිබුණා. නමුත් ලේ බැඳීම් වලට වඩා බලය සම්බන්ධ කාරණා ඉස්මතු වන නිසා එය සිහිනයක් පමණක් වීමේ ඉඩකඩ වැඩියි.

මෙහි පවතින විවාදාත්මක කරුණු අතර  මව හා පියා අතර වූ ගැටුම්, ඩයනා කුමරියගේ දේහය පිටුපස ඇවිද යාමේදී ඇති වූ හැඟීම් ගැන සඳහන් වෙනවා. ඔහු ළාබාල කාලයේදී මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ ආකාරය සහ තරුණ වියේ ඇති කරගත් ලිංගික සබඳතා ගැන පවා පොතෙහි සදහන් වෙනවා. තරුණ කොලුවෙකු කරන සමහර තක්කඩි වැඩ කරන්නට ඔහුද නොපැකිළෙන බවයි එහි සැබෑ අරුත වී ඇත්තේ.කැමිලා පාකර් ගැන ද ඔහුගේ කෘතියේ සඳහන්. කැමිලා පාකර් බෝල්ස්ව ඔවුන්ගේ පියා ඇයව විවාහ කර නොගැනීමේ කොන්දේසිය මත තම පවුලට පිළිගැනීමට ඔහු සහ ඔහුගේ සහෝදරයා එකඟ වූ බවක් හැරී පවසනවා.නමුත් එය එසේ වූයේ නෑ.

සියල්ලට පසු මේගන්ගේ මුණ ගැසීම,දෙමාපියන් වීම සහ රජ පවුල හැර යාමට ගත් තීරණ ගැනත් හැරී සවිස්තරව ලියා ඇති බව සඳහන්.

SPARE කෘතිය මේ වසර සහ ඉන් අනතුරුවත් ලෝකයේ වැඩියෙන්ම කතා බහට ලක් වෙන කෘතියක් වේවි. අමතරයෙකු වීමේ වේදනාව මොනතරම්දැයි කතාබහට ලක් කරාවි.

මේ රජ පවුලට එල්ල කළ දරුණු කනේ පහරක් බවනම් නොකියාම බෑ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here