ලාංකීය දේශපාලනයේ වැදගත්ම තීන්දුව – විවෘත ආර්ථික ප්‍රතිපත්ති​ය – Saru News Media

0
3

විවෘත ආර්ථික ප්‍රතිපත්තිය කියන්නෙ ලංකාවේ දැනට ඉතාම දැඩි කතාබහකට ලක් වෙලා තියෙන සහ පහුගිය කාලේ පුරාවටම කතාබහට ලක් වුණු විශේෂ මාතෘකාවක්. සමහර අය විවෘත ආර්ථික ප්‍රතිපත්තිය වැරදි තීන්දුවක් විදිහට දකිනවා වගේම සමහර කණ්ඩායම් ඒ ප්‍රතිපත්තිය හොඳ එකක් විදිහට දකිනවා. ඒ අතරේ සමහර අය කියන්නෙ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වලා දීපු වෙලාව වැරදියි කියන එක. ඉතින් අපි අද කතා කරන්නේ කොටසකට හොඳ, කොටසකට නරක විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ගැන. ඉතින් මේ ගැන සංකීර්ණ කරුණු කාරණා ගැන අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. හැමෝටම තේරෙන සරල දේවල් ටික තමයි අපි අද කතා කරන්නේ. පස්සේ ටිකක් සංකීර්ණ කාරණා ගැන කතා කරමු. 

 

 

විවෘත ආර්ථිකයක් කියන එකේ සරලම තේරුම තමයි ආර්ථික කටයුතු වලට තියෙන සීමාවන් ඉවත් කරනවා කියන එක. විශේෂයෙන් විදේශ අංශය ආර්ථිකය සඳහා හවුල් කරගැනීම මේ හරහා සිදු කෙරෙනවා. ඒ තුළින් නිදහසේ භාණ්ඩ සහ සේවා ගලා ඒම සහ ගලා යාම සිදුවෙනවා. මේකෙන් කියවෙන්නේ නෑ රජය කිසිසේත්ම මැදිහත් වෙන්නේ නෑ කියලා. යම් මැදිහත් වීමක් රජය සිදු කරනවා. නමුත් විදේශීය ආර්ථික කටයුතු වලදී රජය යම් යම් ආකාර වලින් මැදිහත් වීම අඩු කරන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් විදේශීය සමාගමකට ලංකාවේ ඔවුන්ගේ ව්‍යාපාරය පටන් ගන්න ඕන වුණොත් සමහර අවස්ථා වල රජය යම් යම් බදු සහන වගේ ලිහිල් කිරීම් පිරිනමනවා. 

 

 

ඕනම දෙයක වාසි අවාසි කියල කොටස් දෙකක් තියෙනවනේ. ඉතින් විවෘත ආර්ථික ක්‍රමයේත් වාසි අවාසි කියන දෙකම තියෙනවා. මුලින් අපි වාසි ගැන සලකා බැලුවොත්, මේ තුළ තියෙන මූලිකම වාසිය තමයි ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් වෙන ප්‍රාග්ධන ගැටළුවට ලොකු සහනයක් ලැබෙන එක. ඒ වගේම තාක්ෂණය සහ වෙළෙඳපොල පුළුල් කරගැනීමේ ගැටළු වලටත් ඉතාම හොඳ විසඳුමක් තමයි විවෘත ආර්ථික ක්‍රමය. අපි බැලුවොත් කොහොමද මේ ප්‍රාග්ධන ප්‍රශ්නයට විවෘත ආර්ථික ක්‍රමය විසඳුමක් වෙන්නේ කියල ඒක ගොඩක් වැදගත්. කලින් කිව්වා වගේ විවෘත ආර්ථිකයක් කියන්නෙ විදේශ අංශය ආර්ථික කටයුතු වලට හවුල් කරගන්න එකනේ. ඉතින් එතකොට විදේශ පුද්ගලික අංශයේ ආයෝජකයින්, ව්‍යාපාරිකයින් රට තුළ ව්‍යාපාර සහ ආයෝජන සිද්ධ කරනවනේ. එතකොට ඒ ව්‍යාපාර ආරම්භ කිරීම් සහ ආයෝජන එක්ක රට තුළට මුදල් එන නිසා සහ ඒ මුදල් රට තුළ වියදම් කරන නිසා දේශීය ආර්ථිකයට ඒක ලොකු හයියක් වෙනවා. ඒ වගේම විවෘත ආර්ථිකය නිසා රට තුළ සේවා වියුක්තියටත් ලොකු සහනයක් ලැබෙනවා. ඔන්න ඔය ප්‍රධාන වාසි වලට අමතරව තවත් වාසි රාශියක් විවෘත ආර්ථික ක්‍රමයේ තියෙනවා. 

 

 

විවෘත ආර්ථික ක්‍රමයක තියෙන ආවේණික අවාසි ගොඩක් තියෙනවා. ඒවායින් මූලිකම එකක් තමයි දේශීය කර්මාන්ත පිරිහීමට ලක් වීම. දැන් ලංකාවට සිද්ධ වෙලා තියෙන තත්ත්වය ගැන කල්පනා කරලා බැලුවම මේ තත්ත්වය හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන් ලංකාවේ තිබුණු පේෂ කර්මාන්තය, කඩදාසි නිෂ්පාදන, රබර් නිෂ්පාදන වගේ අංශ කඩා වැටෙන්න විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මූලික හේතුවක් වුණා. අනික් අවාසිය තමයි දේශීය මුදල අවප්‍රමාණය වීම. මේක ටිකක් තේරුම් ගන්න අමාරුයි වගේ තමයි. සරලව කිව්වොත් විවෘත ආර්ථික ක්‍රමය තුළ පාවෙන විනිමය අනුපාත ක්‍රමයක් පවත්වාගෙන යාම නිසා ආනයන වියදම් වැඩි වීමෙන් විදේශ මුදල් සඳහා ඉල්ලුම වැඩි වෙනවා. හැබැයි එහෙම වුණා කියල ඊට සාපේක්ෂව විදේශ මුදල් ඉපයීම වැඩි නොවීම නිසා රුපියල අවප්‍රමාණය වීම සිද්ද වෙනවා. වයස 35 වගේ පැනපු අය ඉන්නවනම් මතක් කරලා බලන්න ඉස්සර ටීවී එකේ ජපන් යෙන් එකේ වටිනාකම කීයද කිව්වේ, අද කීයද කියන්නෙ කියල. ඩොලර් එකත් එහෙම්මම තමයි. ඒ වගේම ආනයන වියදම් වැඩි වීම නිසා රටේ වෙළෙඳ ශේෂ හිඟය වැඩි වීමත් සිදු වෙනවා. ඊට අමතරව විදේශ ආයෝජන වල ලාභාංශ විදේශිකයින් නැවත ඒ ඒ රටවල් වලට අරන් යන එකත් වෙළෙඳ ශේෂයට බලපානවා. ඉතින් ඔය ප්‍රධාන අවාසි වලට අමතරව අනුශාංගික අවාසි සෑහෙන මේ විවෘත ආර්ථික ක්‍රමය තුළ තියෙනවා. 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here