ලොකුවට වෙඩින් එකක් නොගන්න හොඳ හේතු 7ක් – Why not to marry on a huge wedding – Saru News Media

0
7

හිතට හරියන ගෑණු මනුස්සයා ලැබුනාම ලංකාවෙ හැටියට සිද්ධ වෙන්නෙ නං කසාදයක් බඳින එක තමයි. ඉතිං මේ ගෑණු මනුස්සයයි පිරිමි මනුස්සයයි අදාළ නීතිවල හැටියට කසාදෙ ලියාපදිංචි කරලා ගෙදර මිනිස්සු එක්ක පොඩියට පාටියක් දාලා විවාහ ජීවිතයට මුලපිරීම කියන දේ සිද්ධ වෙනවා. ඒත් මතක ඇති කාලෙ ඉඳන් මේ වෙද්දි දන්න කියන හැමෝටම ප්‍රසිද්ධ කරලා, තවත් විගඩං ගොඩකුත් කරලා, රුපියල් ලක්ෂ පනහකට එහාපැත්තෙ වියදං කරල තමයි බහුතරයක් වෙඩින් සිද්ධ වෙන්නෙ. අන්න ඒ නිසාමයි අපි මේ ගැන ලියන්නෙ. ඇයි අපි ලොකු වෙඩින් එකක් එහෙමත් නැත්තං පට්ට විශාල මංගලෝත්සවයක් නොගත යුත්තේ?

 

මේ මොහොත වෙද්දි සාමාන්‍ය පොෂ් විදියෙ වෙඩිමක් ගන්න රුපියල් ලක්ෂ විස්සකට එහා පැත්තෙ යනව. ඉහළ පෙළේ හෝටලේකදි නං ඕක ලක්ෂ පනහක් දක්වා වැඩි වෙන්න පුළුවන්. ඉහළ පෙළේ හෝටලේක‌ හොඳටම පොෂ් වෙඩිමක් ගන්න යන වියදං ගැන පපුව අමාරුව හැදෙන නිසා අපි කතා නොකර ඉමු. ඒ කොහොම වුනත් ඔය මුදල ඉතුරු කළොත්, ඔබට නිවසක් ගන්න මූලික මුදලක් විදියට, වාහනයකට, ඉඩමකට, එහෙමත් නැත්තං ස්ථාවර තැම්පතුවක යොදලා පොලියෙන් මාසෙකට පාරක් රිලැක්සින් ගමනක් ගිහින් එන්න පුළුවන්. එහෙමත් නැත්තං ඒ මුදලින් විවාහක ජෝඩුවට වර්ල්ඩ් ටුවර් එකක් දාන්න පුළුවන්.

 

නෑයෝ ඉතිං වේයො වගේ කියන්නෙ නිකංයැ. ඔයා ජනාධිපති වුනත් ඔයාගෙ නෑයො ටික ඔයාගෙ ඇද කුද හොයනවම තමයි. ආයෙ ඉතිං ඒකෙ හෝදන්න දෙයක් නෑ. ඒ නිසා ඔයාගෙ වෙඩින් එකේ බීම අල්ලන්න හිටපු කොල්ලගෙ සපත්තුවෙ ලේස් එක ලිහිලා තිබීම, වෙඩින් කේක් බෙදපු කෙල්ල ‌මූණ බලා හිනා නොවීම, මැකරෝනිවල චීස් වැඩිපුර තිබීම, පෙරේතකමට සූප්පු කරන්න ගොස් මස් කට්ට උඩු තල්ලෙ වැදීම, මනමාලි නටද්දි කොණ්ඩෙ බුරුල් වීම, බ්‍රයිඩ්ස්මේඩ්ලාගේ බුරිය පෙනීම, බෑන්ඩ් එකේ උන් එකදු බොදු බැති ගීයක් නොගැයීම, හැම තැනම ඩබල් බ්ලැක් දෙද්දි මෙතන බ්ලැක් ලේබල් බොන්නට දීම, වෙඩින් ෆොටෝග්‍රැෆර් තමුන්ගේ වැඩි පින්තූර ප්‍රමාණයක් නොගැනීම ‌වගේ හේතු නිසා ඔයාගෙ වෙඩින් එක අවුල් වෙඩින් එකක් ලෙස හැඳින්වීමේ හැකියාව නෑයන්ට තියෙනවා. එහෙම බුවාලට හෙන ගාණක් වියදං කරලා කන්න දෙන්න ඕන නෑ හලෝ!

 

මේක ඉතිං ‌විලි ලැජ්ජාව පිළිබඳ ප්‍රශ්නයක්. මුළු සනුහරයක් ඉස්සරහා ඉඳගෙන බලං ඉද්දි පුටුවකට වෙලා ඉන්න ජෝඩුවට සිද්ධ වෙනවා. ඒ මදිවට ප්‍රී ෂූට්වල ගෑණිව උස්සන් නටන්න වෙනවා, අන්න සුදෝ අර පාට වළා ටයිප් සීන්වලට අත දික්කරං ඉන්න වෙනවා, ෆොටෝ එක කොටාගන්නකං උම්ම දීගෙන ඉන්න වෙනව, කැමරාමන් මෙමරි චිප් එක දාගෙන හිටපු නැති නිසා නැකතට කරපු වැඩ ටික ආයෙ ෆොටෝ එකට ගන්න හරියන විදියට කරන්න සිද්ධ වෙනව, මාස දෙකක් තිස්සෙ ප්‍රැක්ටිස් කරපු තමුන්ගෙ ගෑණිගෙ නැටුම දිහා එදා දැක්ක වගේ බලං ඉන්න වෙනවා. ඔන්න ඔය වගේ අවුල් වැඩ තොගයක් කරන්න වෙනව කියන්නෙ ඉතිං විලි ලැජ්ජා නැති වැඩක් තමයි.

 

අපි මීට කලින් වෙඩින්වලට ගිහිල්ලා යාළුවොන්ට දීපු රැග් නිසා අපේ වෙඩින් එකකදි යාළුවො අනේ ඌ පවු කියල නිකං ඉඳියි කියල හිතන්නෙපා. යාළුවො ටික අපි දුන්නට හපං ගේමක් අපිට දෙන්න බලාගෙන ඉන්නව. අන්න ඒ නිසා අන්ඩර්වෙයා ටිකේ මඩ පුරවගන්න, විල්බැරැක්කවල තල්ලු දාන්න, ලොක් කරපු ඇඳුම් පෙට්ටි දිහා හනිමුන් ගිය රූම් එකේ ඉඳන් විරවගෙන බලං ඉන්න, ගම් දාපු වතුර නාන්න, කැරට් අල මාලයක්, සනීපාරක්ෂක තුවා මාලයක් ගෙලේ පැළඳගෙන යන්න කොයි මනුස්සයද කැමති. ඉතිං නිකං කටු කන්න වෙඩින් ගන්නෙ මොකටද මචං?

 

https://www.youtube.com/watch?v=b1nmHjg25b8

මෙහෙම හිතමුකො. වෙඩින් එකක් සිරා මට්ටමේ සිට චාටර් මට්ටමට යා හැකි හේතු මොනවාද? ඒ අතරින් ප්‍රධාන වෙන දේවල් තමයි කෑම, බීම, මනමාලි සහ බෑන්ඩ්/ඩීජේ එක. ඒ ඔබ හිතන විදියටයි. නමුත් ඇත්තටම වෙඩින් එකක් අවුල් යන්න මේ වගේ අපට පාලනය කළ හැකි හෝ තෝරා ගත හැකි කාරණාම අවුල් විය යුතු නෑ. පමණ ඉක්මවූ අංකල් කෙනෙක් කබ්බා දැමීම, සූර් වූ තරුණයෙක් පෝරුව අසල සඳකඩපහනේ හැපී දොයියපතං වීම වැනි අපට පාලනය කළ නොහැකි සිද්ධිත් වෙඩින් එකක් චාටර් බවට පත්කරවන්නට සමත් කාරණා වෙනවා.

 

කෙනෙක් තිස් වසරක් පිරෙද්දි කසාද බැන්දොත් (මේ අර එපා එපා මස් කන්නට කිරි අම්මාගේ සින්දුව නෙමෙයි කියන්න යන්නෙ) එයාට සල්ලි හම්බුකරන්න තියෙන්නෙ උපරිම වශයෙන් අවුරුදු 10ක් නැතිනම් 5ක්. ඒ කාලයේ උපයාගත් මුදල ඉතිරිකරලා අවම වශයෙන් ලක්ෂ විස්සක් ඉතිරි කරන්න අමාරුයි. එනිසා වෙඩින් එකක් ගන්නනං ලෝන් එකකට (පරම්පරා සල්ලි නැත්තං) යන්නම සිද්ධ වෙනවා. ඉතිං මේ විදියට ලෝන් එකක් අරගෙන තමුන්ගෙ අනාගතේ සැපපහසුවෙන් ඉන්න තියෙන සල්ලි නාස්ති කරගන්න එක වාතයක්. එනිසා වෙඩින් එකක් නොගන්න එකෙන් ඒ වාසියත් ලැබෙනවා. බැංකුවකට උනත් අනාගත ආයෝජනයක් නොවෙන දෙයක් වෙනුවෙන් ණය වීම හොඳ නැහැනෙ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here