වාරෙදි වැඩිපුර ඇති කැම අවාරෙට කල් තබා ගන්න හැටි – Saru News Media

0
1

මේ කාලේ ආහාර ගැන විශේෂයෙන් කතාවෙන කාලයක්නේ.. ඒකියන්නෙ ආහාර හිඟයක් ගැන, බඩු මිළ ගැන සෑහෙන්න සැළකිලිමත් වෙන කාලයක්. ලෝක ආර්ථික විශ්ලේෂකයින් කියන විදියට ඉස්සරහට එන්න පුලුවන් ආහාර හිඟයට පිළියමක් විදියට මේ කාලෙ අපිට වැඩියෙන් තියන කෑම අපි ඉදිරි ප්‍රයෝජනයට ගබඩා කරලා තියාගන්න ඕනේ. ඒක නිසි විදියට කරගන්නෙ කොහොමද කියලා තමයි අද අපි කියලා දෙන්නෙ.

කොස්, දෙල් වාරෙට ගොඩක් තියනව නම් මේවා මදුළු ගලවලා සෝදලා ඇට අයින් කරලා වතුර භාජනයකට දාලා තැම්බෙන්න තියන්න. ගොඩක්ම නෙමෙයි සාමාන්‍යයෙන් තැබුනාම මදුළු ටික බාලා ඇට ටිකත් තම්බලා ලිපෙන් බාලා පෙරාගන්න. ඊළඟට මේටික තැටියකට දාලා හොඳට වේලගන්න. දවස් ගණනාවක් හොඳටම වේලෙනකල් වේලගන්න ඕනේ. ඊළඟට හුළං නොවදින්න ගබඩා කරන්න.

දෙල් වේලනකොට පෙති කපලා කහ වතුර වලින් සෝදලා තම්බගන්න. ඊළඟට මේක හොඳට වේලගන්න. වේලපු කොස් වලට අටුකොස් හා වේලපු දෙල් වලට දෙල් අටුකොස් කියනවා. අවාරෙට අපිට මේවා පිසගන්න පුලුවන්. ඒ වගේම විදේශ රටවල ගොඩක් මේ වේලලා පැකට් කරපු ආහාර තමා ගන්න තියෙන්නෙ. මේ විදියටම අපිට කරවිල හා මඤ්ඤොක්කා පෙති කපලා වේලගන්නත් පුලුවන්. ඒ වගේම හතු ලුණු වතුරෙ දාලා හෝදලා හොඳට මිරිකලා අව්වේ වේලලා කල්තියාගන්නත් පුලුවන්.

දෙහි තමා මේ විදියට විශේෂයෙන්ම හදාගන්නෙ. දෙහි ගෙඩිය 4ට වෙන් නොවෙන විදියට පලලා ඇතුලත හා පිටත ලුණු කැට වලින් වහලා හොඳටම වේලෙනකල් දවස් ගාණක් වේලගන්න. ඒ විදියටම අපිට අඹ හා සියඹලත් හදාගන්න පුලුවන්. අඹ හදාගන්න කොට පැහුණු හා අමු අඹ ගන්න. ඉදුණු අඹ තියාගන්න බෑ. අඹ පොඩි කෑලි වලට කපලා මුට්ටියක අඩියට ලුණු තට්ටුවක් එකක් දාලා අඹ තට්ටුවක් දාගන්න. මේ වගේ ලුණු කැට හා අඹ ලේයර්ස් විදියට දාලා කට වහලා දවසක් තියාගන්න. දවසකට පස්සෙ ගන්නකොට ලුණු දියවෙලා තියෙයි. දැන් මේ අඹ කෑලි ටික පිරිසිදු රෙදි කෑල්ලක අතුරලා දවස් 5ක් විතර හොඳ අව්වෙ වේලගන්න. දැන් මේක බෝතල් වල දාලා අරන් තියන්න.දෙහි හෝ සියඹලා වෙනුවට ආදේශකයක් විදියට හෝ අඹ ව්‍යෑංජනයක් වගේ හදලා කන්නත් පුලුවන්.

බඩඉරිඟු, කජු, කොස් ඇට වගේ අපිට මෙහෙම තියලා කල්තියාගන්න පුලුවන්. නිතර දුම් වදින විදියට මැස්සෙ එල්ලලා තිබ්බම මේවා ගොඩක් කල් තියාගන්න පුලුවන්. ඉස්සර මේ විදියට මස්, මාළු හා මී පැණි එහෙමත් කරලා තියනවා. ඉතින් අපිත් දැන් ගොඩක් දරලිපේ උයන නිසා මේ විදියෙ ක්‍රම අනුගමනය කරලා වාරෙට ගොඩක් තියන දේවල් කල් තියාගන්න පුලුවන්.

වාරෙට ගොඩක් තියන දෙහි හා කොස් ඇට අපිට වැලි යට දාලා තියාගන්න පුලුවන්. මේකට ගේ කොණක සාමාන්‍යයෙන් තෙත්වෙන්නෙ නැති තැනක වැලි දාලා කොස් ඇට ටික තියාගන්න පුලුවන්. එහෙම නැතිනම් පොඩි පෙට්ටියක් අරගෙන ඒක යටට පෝරඋරයක් දාලා වැලි තට්ටුවක් දාලා කොස් ඇට ලේයර් අතුරලා ඊළඟට වැලි තට්ටුවක් දාගන්න. ආයෙ කොස් ඇට අතුරලා වැලිදාගන්න. මේ වගේ තට්ටු කිහිපයක් දාගන්න පුලුවන්. මේකට වේලුණු වැලි තමයි ගන්න ඕනේ. මේ වගේ අවුරුද්දකට වැඩි කාලයක් තියාගන්න පුලුවන්.

දොඩම් හෝ නාරන් පොත්ත අයින් කරලා ගෙඩිය පිටින් හෝ බික් වශයෙන් ජීවාණුහරණය කළ බෝතල් වලට දාගන්න. ඊළඟට සීනිකෝප්ප 1 කට වතුර කෝප්ප 5ක අනුපාතයට ලිපේ තියලා හැඳිගාන්න. කුරුඳුපොතු කෑල්ලකුත් දාගන්න. සීනි දියවෙලා සිරප් එකහැදුනම ලිපෙන් බාලා නිවෙන්න තියලා පෙරලා බෝතල් වලට දාගන්න. දැන් මේ බෝතල් ටිකත් විනාඩි 15ක් වගේ වතුර එකක දාලා තම්බගන්න.මේ විදියට හදලා ටික දවසකින් බෝතල් මූඩිය ඉදිමීගෙන එනවනම් ඒක කෑමට සුදුසු නෑ එතන දිලීර ආසාදනයක්තියනවා.

මේ විදියටම ගර්කින්, රඹුටන්, ජම්බු, අන්නාසි වගේ පළතුරුත් හදාගන්න පුලුවන්.

මීට අමතරව දෙහි, ගොරකා වගේ දේවල් පොලිතින් බෑග්වල දාලා සීල් කරලා ෆ්‍රීස් කරගන්න පුලුවන්. දෙහිපෙති කපලා මෙහෙම දාගන්න. ඒ වගේම දෙහි යුෂ බෝතල් වලට දාලා හෝ අයිස් කියුබ් ට්‍රේ එකට දාලා ෆ්‍රීස් කරගන්නත් පුලුවන්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here