විවාහයෙන් වසර දහයකට පසු සමලිංගිකත්වයට ඇබ්බැහි වූ සැමියෙක් – Saru News Media

0
2

චමින්ද වයස අවුරුදු තිස් හතරක පමණ පුද්ගලයෙක්. ඔහු ජංගම දුරකථන අලුත් වැඩියා කරන කඩයක් පවත්වාගෙන ගියා. ඔහු විවාහ වී සිටියේ වාසනා සමඟ. මේ වෙද්දී ඔවුන්ට අවුරුදු අටක සහ හතරක දරුවන් දෙදෙනෙක් ද සිටියා.

“මොකද අනේ ගෙදර එන්න රෑ වෙන්නේ?”

කාලයක සිට චමින්ද ගෙදර එන්නට ඕනෑවට වඩා කල් ගන්නවා. රෑ දහයට පමණ ගෙදර එන ඔහුගෙන් වාසනා එහෙම ඇහුවේ කේන්තියෙන් නෙවෙයි. හිතවත්කමින්.

“පුදුම වැඩ ගොඩක් අනේ. ලංකාවේ මිනිස්සු ෆෝන් කඩාගන්න එකමනෙ වැඩේ. උන්ට ඒවා එවෙලෙම හදලා දෙන්නත් ඕන.”

චමින්ද එහෙම කියන්නේ නුරුස්නා කමකින්. ඔහු ඒ නුරුස්නාව පළ කරන්නේ ඔහුගේ සේවා දායකයන්ට කියලා වාසනා විශ්වාස කළා. සමහර දවස්වල ඔහු මත්පැන් පානය කර හෝ යම් මත්ද්‍රව්‍යයක් භාවිතා කරලා ගෙදර එනවා.

“යාළුවෙක් සෙට් වුණා.”

එතකොට චමින්ද එහෙම කියනවා. ඒ වගේම එදාට ඔහුට කෑම කන්න උවමනාවක් ද නෑ. මේ සියල්ල සිද්ධ වෙන්නේ ඔහුගේ කාර්යබහුලකම නිසා කියලා වාසනා විශ්වාස කළා.

නමුත් සියල්ල කනපිට හැරෙන්නට ගියේ ටික කාලයක්. පුතුන් දෙදෙනෙකු ඉන්නා නිසා වාසනාට දුවෙක් ඕනෑ වුණා. අනිත් කාරණාව ඇය තවම තිස් හැවිරිදි කාන්තාවක්. ඒ නිසා වාසනාට ඕනෑතරමට හැඟීම් තිබුණා. ටික කාලයකට පෙර ඉතා උවමනාවෙන් ලිංගික සබඳතාවලට යොමු වුණු චමින්ද දැන් ඇයව තරයේ ප්‍රතික්ෂේප කරනවා.

“ආයේ ළමයි ඕන් නෑ.”

ඔහුගේ මුල්ම තර්කය ඒ ආකාරයි.නමුත් දරුවෙකු හැදුවත් නැතත් ලිංගික ජීවිතය අහිමි කරගන්නට ඕනෑ නැති බවට වාසනා තර්ක කළා. එවැනි මොහොතක අකමැත්තෙන් ඇය වෙත පැමිණෙන චමින්දට ගුද සංසර්ගය හෝ මුඛ සංසර්ගය පමණක් සෑහුණා. ඔහුගේ ලිංගික අවශ්‍යතා දැඩිව වෙනස් වී ඇති බව වාසනා දැනගන්නේ ඉන්පසු.

චමින්ද නිවසේ රැඳෙන කාලය එන්න එන්නම අඩු වී ගියා. ඔහු නිතරම දුරකථනයේ සිටීම සහ වීඩියෝ බැලීම නිසා ඇගේ සැකය වර්ධනය වුණා.

“පුතේ තාත්තගෙන් ෆෝන් එක ඉල්ලාගන්නකො ගේම් එකක් ගහන්න.”

දිනක් වාසනා එහෙම සැලසුමක් ක්‍රියාත්මක කළා. පුතුට මොබයිල් ගේම් එකක් ලබා දී චමින්ද නාන්නට ගියා. වාසනා කළේ වහාම චමින්දගේ දුරකථනය පරීක්ෂා කිරීමයි. ඇයට ඔහුගේ අනියම් පෙම්වතිය ගැන දැනගන්නට ඕනෑ වුණා.

නමුත් ඇය හිරි වැටී ගියේ එය එසේ නොවන බව දැනගත් පසුවයි. චමින්දට කිසිම ගැහැනියක් සමඟ සම්බන්ධතා තිබුණේ නෑ. ඒ වෙනුවට ඔහු Dating app හරහා සමලිංගික පිරිමි හඳුනා ගනිමින් සිටියා. මේ වෙද්දී ඔහු පෙම්වතුන් කිහිප දෙනෙකු සහ මුදලට ලිංගික සේවා සපයන අය ආශ්‍රය කරන්නට පටන් අරන්

“මං දැන් මොකද කරන්නේ?”

වාසනා අප වෙත ආවේ එය ගැන දැන ගන්නටයි. ඇය සූක්ෂම ලෙස ඔහු හඹා ගොස් තිබූ අතර ඔහුත් පෙම්වතෙක් ද ලැගුම්හලකට යන දර්ශන ඇය පටිගත කරගෙන තිබුණා.

විවාහ ජීවිතය තුළ ලිංගික සම්බන්ධතා පැවැත්වීම ද අනිකාට ලබා දෙන අයිතියක්.  ඔහු මේ වෙද්දී එය අ‍ත් හැර දමා තිබෙනවා. වෛවාහක යුතුකම් ඉටු නොකිරීම සම්බන්ධයෙන් ඒ හරහා ඔහුට චෝදනා ගොනු කරන්නට හැකියාව තිබුණා.

එක් නිවසක දෙපැත්තට වී ජීවත් වීම මේ වෙද්දී වාසනා තෝරාගෙන තිබුණා.

“ගෑනියෙක් එක්ක යාළු උනානම් සමාව දෙනවා. මේ මොන විකාරයක්ද? අනිත් එක එහෙම ආසාවල් මිනිස්සුන්‍ට ඇති වෙන්න පුලුවන් කියලා මං පිළි ගන්නවා. ඒත් මාව බැඳලා දැන් අවුරුදු දහයක්. මේ අවුරුදු දහයම මාත් එක්ක එකට හිටියා. දරුවෝ දෙන්නෙක් හැදුවා. මේක හදිසියේ ආපු ඇබ්බැහියක්. මට සමාව දෙන්නවත් සමාදාන වෙන්නත් බෑ.”

වාසනා දිගටම එසේ පැවසුවා. බිරිඳට තමන්ව හෙළිදරව් වීමෙන් පසු චමින්ද නිවසින් පිට වී ගියා. ඔහු කඩ කාමරයේම නවාතැන් ගත්තා. එහි ඔහුගේ පෙම්වතෙකු ද ඔහු සමඟ ජීවත් වෙනවා. ද්වේෂ සහගතව අතැර යාම සහ වෛවාහක වගකීම පැහැර හැරීම යටතේ නඩු පවරා සැමියාගෙන් දික්කසාද වන්නට වාසනා වග බලා ගත්තා. දරුවන් වෙනුවෙන් නඩත්තු නඩුවක් තවම ක්‍රියාත්මක වෙනවා.

වාසනා ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් දරුවන් රැක බලාගන්නේ ඉතා ධෛර්යමත් ලෙසටයි. ඇය කෙනෙකුගේ ලිංගික දිශානතියට නිගරු කරන්නියක නොවේ. ඇයට දරාගත නොහැකි වුණේ චමින්දගේ හදිසි වෙනස් වීමයි.

සාමාන්‍යයෙන් සම ලිංගිකත්වයට ඇබ්බැහි වූ පුද්ගලයන් නිවසෙන් ලැබෙන දැඩි පීඩනය හමුවේ විවාහ වෙනවා. එවැන්නන් වහා හඳුනා ගන්නට සහකරුට හෝ සහකාරියට හැකියි. නමුත් විරුද්ධ ලිංගිකයෙකුට ආදරය කර විවාහ වී දරුවන් ද සෑදීමෙන් පසු සමලිංගිකත්වය වැළඳ ගන්නා අය අල්පයි. නමුත් එවැනි දේ වන්නට පුළුවන්. එවැනි මොහොතක වාසනා මෙන් කල්පනාකාරීව කටයුතු කිරීම ඉතා වැදගත්. කෝප ගැනීම, ජීවිතයට හානි කර ගැනීම හෝ මඩ ගසා ගනිමින් ජීවත් වීම කළ යුතු නැහැ. ඔබට ඒ හැසිරීම දරා ගන්නට නොහැකිනම් ඉවත්ව යන්නට ඔබට පූර්ණ අයිතිය තිබෙනවා.

(නීතිඥ තක්ෂිලා ජයසේන මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. නම් ගම් මනඃකල්පිත වේ)

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here