වෙනත් රටක ප්‍රධානියා බවට පත් වුණු විදේශිකයෝ – Saru News Media

0
1

දේශපාලනයේදී වගේම ඉතිහාසයේ දී අපිට හිතාගන්න බැරි අමුතුම අමුතුම ආකාරයේ සිදුවීම් සිද්ධ වෙනවා. අපි අද කථා කරන්න යන්නේ ඒ වගේ අමුතුම ඒත් සමානකමක් තියෙන සිදුවීම් කීපයකට සම්බන්ධ වුණු පුද්ගලයන් පිරිසක් ගැන. රටක් පාලනය කරනවා කියන්නේ ලේසි පාසු කර්තව්‍යයක් නෙමෙයි. ඒ වගේම රටක් පාලනය කරන්න විදේශිකයෙකුට අවස්ථාව ලැබුණොත් මොන වගේ තත්ත්වයකට මුහුණ දෙන්න වෙයිද? එහෙම තවත් රටක පාලකයන් බවට පත්වුණු විදේශිකයන් කීපදෙනෙක් ගැනයි මේ සටහන. විශේෂත්වය වන්නේ මේ විදේශිකයන් සියල්ලම පාහේ මේ රටවල ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වෙලා තියෙන එක.

 

නැපෝලියන් බොනපාට් සැලකෙන්නේ ප්‍රංශයේ පමණක් නොව සමස්ත යුරෝපයේම ඉතිහාසය වෙනස් කරපු පුද්ගලයෙක් විදියට. ප්‍රංශ විප්ලවයත් එක්ක රජෙක් නැති වෙලා ගිය රටකට රජෙක් විතරක් නෙමෙයි අධිරාජ්‍යයෙක් බවටත් පත් වෙච්ච පුද්ගලයෙක් තමයි නැපෝලියන් කියන්නේ. නැපෝලියන් ඉපදෙන්නේ කෝසිකානුවෙක් විදිහට. කෝසිකාව ඒ වෙනකොට ඉතාලියට අයිති දූපතක්. නැපෝලියන් ඉපදෙන්න ටික කාලයකට කලින් ඒ දූපත ප්‍රංශය විසින් මිලට ගනු ලබනවා. ඒ නිසා නැපෝලියන් ප්‍රංශයේ පුරවැසියෙක් බවට පත් වෙනවා.

 

දෙවැනි ලෝක යුද්ධයෙන් සමස්ත ලෝකයම අර්බුදයට අරගෙන ගිය හිට්ලර්ව, අපි අද වෙනකොට නම් හොඳ පාලකයෙක් විදියට සලකන්නේ නෑ. හැබැයි හිට්ලර් කියන්නේ පළවෙනි ලෝක යුද්ධය නිසා නැත්තටම නැති වෙලා තිබ්බ ජර්මනිය ගොඩ ගත්ත පුද්ගලයා කියන එක ගැන නම් විවාදයක් නෑ (හැබැයි ඉතින් දෙවැනි ලෝක යුද්ධයෙන් වුණු විනාසය නිසා ඒ දියුණුව ගැන කතා කරල තේරුමක් නෑ) හැබැයි ඔයා දන්නවද හිට්ලර් ඉපදුනේ ජර්මනියේ නෙමෙයි කියලා? හිට්ලර් ඉපදුණේ ඔස්ට්‍රියානුවෙක් විදිහට. නමුත් ඔස්ට්‍රියාවෙත් ප්‍රධාන භාෂාව වෙන්නේ ජර්මන්. මේ නිසා හිට්ලර්ට ජර්මනියේ පාලකයා වෙන්න විදේශික මූලයක් තිබ්බ එක  ලොකු බාධාවක් වුණේ නෑ.

 

හිට්ලර්ව නැති කරන්න විතරක් නෙමේ සමස්ත දෙවැනි ලෝක යුද්ධයෙම හැරවුම් ලක්ෂ්‍යය වුණේ සෝවියට් රුසියාව. සෝවියට් රුසියාවට මේ කාලෙදි නායකත්වය ලබාදුන්නේ ජෝසප් ස්ටාලින්. ස්ටාලිනුත් හිට්ලර් වගේම කෙනෙක්. දෙවැනි ලෝක යුද්ධයට නායකත්වය දුන්නා වගේම රුසියාවේ දියුණුව වෙනුවෙන් වැඩි වැඩ කොටසක් කළා වුණත් ස්ටාලින් දරුණු ඒකාධිපති‍යෙක්. මිනිසුන් දස ලක්ෂ ගණනක් ඔහුගේ නියෝගය යටතේ මැරුම් කෑවා. පුදුමයකට වගේ ස්ටාලිනුත් හිට්ලර් වගේම විදේශිකයෙක්. ඔහු උපතින් ජෝජියානුවෙක්. රුසියානු විප්ලවයට සම්බන්ධ වෙලා ලෙනින්ගෙන් පස්සේ නායකත්වය ලැබෙන්න තිබ්බ ට්‍රොට්ස්කිගෙන් බලය උදුරාගෙන ස්ටාලින් රුසියාවේ බලයට පත් වෙනවා. ස්ටාලින්ගෙ පස් අවුරුදු සැලසුම් යටතේ රුසියාව ලෝක බලවතෙක් බවට පත්වීමේ මූලික අඩිතාලම දැමෙනවා.

 

ස්ටාලින්ට කලින් රුසියාව යුරෝපයේ බලවත් රටක් බවට පත් කරන්න තීරණාත්මක කාර්යභාරයක් ඉෂ්ට කරපු රැජිනක් හිටියා. ඇය රුසියානු ඉතිහාසය තුළ හැඳින්වෙන්නේ මහා කැතරින් කියන නමින්. රුසියානු රාජාවලියට අනුව ඇය කැතරින් නමින් රුසියාවේ රජකමට පත්වන දෙවැනි කාන්තාව වුණත් ඇයගේ විශිෂ්ටත්වය නිසා ඇයව මහා කැතරින් ලෙස හඳුන්වනු ලබනවා. නමුත් ඇය ඉපදෙන්නෙත් ජර්මනියේ. එවකට රුසියාව පාලනය කිරීමට නියමිතව තිබූ ඔටුන්න හිමි කුමාරයාගේ බිරිඳ ලෙස ඇය රුසියාවට පැමිණෙනවා. නමුත් මානසිකව සහ ශාරීරිකව දුර්වල වුණු තමන්ගේ සැමියාව බලයෙන් පහකරමින් රුසියානු රදලයන්ගේ උදව්වෙන් ඇය රජකමට පත් වෙනවා. එතැන් සිට රුසියාවේ දියුණුව වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා. නව නගර නිර්මාණය කරමින් කාර්මික විප්ලවය අපට සමීප කිරීමට ඇය වෙහෙස මහන්සි වෙනවා. ඒ වාගෙම අසල්වැසි රටවල් සමග යුද්ධවලට පැටලෙමින් රුසියාවේ භූමි ප්‍රමාණය  වැඩි කර ගැනීමට ඇය කටයුතු කරනවා.

 

කුබ්ලායි ඛාන් සැලකෙන්නේ චීනයේ සිටි විශිෂ්ට අධිරාජයෙක් විදිහට. කුබ්ලයි ඛාන් ගේ කීර්තිය මාකෝපෝලෝ හරහා යුරෝපය දක්වාම පැතිර ගියා. නමුත් කුබ්ලායි ඛාන් චීන ජාතිකයෙක් නම් නෙමෙයි, මොංගෝලියානු ජාතිකයෙක්. චීනය ආක්‍රමණය කරපු මොංගෝලියානු රණශූරයෙකු වුණු ජෙන්ගිස් ඛාන්, කුබ්ලායි ඛාන් ගේ සීයා. කුබ්ලායි ඛාන් මොංගෝලියාව සහ චීනය ඒකාබද්ධ කරමින් චීනයේ අධිරාජයා බවට පත්වෙනවා. චීනය සමෘද්ධිමත් රටක් බවට පත් කරනවා. චීනයේ දේශ සීමා පුළුල් වෙනවා. කුබ්ලයි ඛාන් දෙවරක් ජපානය ආක්‍රමණය කිරීමට උත්සහ කළා. ඒ ආක්‍රමණ පමණක් ව්‍යර්ථ වෙනවා.

 

ක්ලියෝපැට්‍රා කියන නම නොදන්න කෙනෙක් නැතුව ඇති. ඇය ඊජිප්තුවේ අවසන් රැජන. නමුත් ඇයගේ රාජවංශය ඊජිප්තුවට ආගන්තුක රාජ වංශයක්. ඒ රාජවංශය හැඳින් වුණේ ටොලමි යන නමින්. ඔවුන් ඊජිප්තුවට පැමිණෙන්නේ මහා ඇලෙක්සැන්ඩර්ගේ ඊජිප්තු ආක්‍රමණයත් එක්ක. ඇලෙක්සැන්ඩර්ගෙන් පස්සේ ඇලෙක්සැන්ඩර්ගේ සේනාවෙ හිටපු සේනාධිපතියෙක් වුණු ටොලමි ඊජිප්තුවේ පාරාවෝ බවට පත්වෙනවා. ඔහුගෙන් තමයි ටොලමි රාජ වංශය ඇරඹෙන්නේ. මේ රාජවංශය සම්පූර්ණයෙන්ම දේශීයකරණය බවට පත්වනවා. කොටින්ම ඊජිප්තු චාරිත්‍රයක් අනුව යමින් සහෝදර සහෝදරියන් අතර විවාහ සම්බන්ධතා පවත්වාගෙන යනවා. ක්ලියෝපැට්‍රාත් පළමු වරට විවාහ වන්නේ තමන්ගේ සහෝදරයා එක්ක. ක්ලියෝපැට්රාගේ මරණයත් එක්ක ටොලමි රාජවංශය අහෝසි වෙලා යනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here