ශ්‍රී ලාංකිකයන් විදියට අනික් මිනිස්සුන්ගෙන් අපිට අහන්න හිතෙන හිත රිදවන විදියේ ප්‍රශ්න 7ක් – Painful Questions Sri Lankans Ask – Saru News Media

0
6

හිතක් රිද්දන එක ලේ පෙරෙන්න ගහනවාට වඩා රිදෙනවා. එහෙම ගහලා තුවාල සනීප වුණාම රිදිල්ල අහවරයි. ඒත් හිතේ තුවාලවල හැම වෙලේම ලේ ගලනවා. සමහර ඈයෝ හිතලාම තව එකෙක්ව රිද්දනවා. ඒත් සමහර වෙලාවල ඒක නොදැනුවත්වම සිද්ධ වෙනවා. ලංකාවේ ජීවත් වෙන්නේ හෙන ආදරණීය මනුස්ස කොට්ඨාසයක්. ඒ නිසා එයාලා අතින් තවකෙකුගේ හිතක් රිදෙන්නේ නොදැනුවත්කමට අහන ගොබ්බ ප්‍රශ්න නිසා. අන්න ඒක හිතනවාට වඩා රිදෙනවා.

 

කාලෙකට පස්සේ හම්බ වුණ එකෙකුට ඔන්න නයා මෙන්න පොල්ල සයිස් එකෙන් අහන අප්‍රසන්න ප්‍රශ්නයක් මේක. අධික තරබාරුව සෞඛ්‍යයට අන්තිම අප්සට් දෙයක් තමයි. ඒක මිනිස්සු නොදන්නා දෙයක් නෙවෙයි. ප්‍රශ්න අහන එකා නොදන්නවා වුණාට මේ වෙනකොට මහතයි කියලා දැකපු හාදයා ජිම් පහළොවකට විතර යන, කෑම පාලනය කරන කෙට්ටු වෙන්න පුළුවන් හැම දහංගැටයක්ම දාන එකෙක් වෙන්න ඇති. අර මන්දපෝෂණකාරයෙක් විදියට දකින කෙනා පෝෂණවේදියෙක් ළඟට යන මහත් වෙන්න තියෙන හැම කිරිපිටි වර්ගයක්ම බොන අහිංසකයෙක් වෙන්න ඇති. මේවා අහන්නම ඕනි ප්‍රශ්න ද?

 

කිසිම මනුස්සයෙක් සර්ව සම්පූර්ණ නෑ. ඒක එයාලත් දන්නවා ඒ නිසා පුළුවන් තරම් එයාලා බලන්නේ අඩුම ගාණේ තමන්ටවත් තමා සම්පූර්ණ මනුස්සයෙක් වෙන්න. එතනදී තමන්ගේ ජීවිතය ගැන තීරණ ගැනීමේ අයිතිය සම්පූර්ණයෙන් ඒ මනුස්සයාට ලැබෙනවා. ඇඟේ තියෙන මයිලක් සම්බන්ධයෙන් වුණත් තත්ත්වය එහෙමයි. කොල්ලෙක්ට කොණ්ඩේ වවන්නත් කෙල්ලෙක්ට කොණ්ඩේ කපන්නත් ආසාවක් ඇති වෙන්න පුළුවන්. තියෙන රාමුවකින් එළියට ආපු ගමන් ඒ යකාට වෙඩි කාලා මැරෙනවා මීට වඩා හොඳයි කියලා හිතෙන තැනට වැඩ නොකර මිනිස්සුන්ව උන් කවුද කියන තැනට පිළිගන්න පුළුවන් වුණා නම් අපි කොච්චර නිදහස් චින්තනයක් තියෙන මිනිස්සු ද?

 

රටට ම රබන් ගහලා ලව් කරන අය ඉන්නවා වගේම එක එක සීමා බන්ධන නිසා එහෙම නොකර රහසක් විදියට ජීවත් වෙන්න සිද්ධ වෙලා ඉන්න අයත් ඉන්නවා. ඒ තත්ත්වය උදා කරලා තියෙන්නෙත් මනුස්ස අපිම තමයි. ඒකත් කමක් නෑ කියලා පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ ඉන්න මනුස්සයෙක්ට තුවාලෙකට ඇඟිල්ලෙන් අනිනවා වගේ ප්‍රශ්නයක් මේක. නැත්තම් තත්ත්වය ඔහොම නෙවේ කොල්ලෙක් කෙල්ලෙක් ඇත්තටම නැති කෙනෙක්ගෙන් ඔය ප්‍රශ්නය ඇහුවා කියමු. ඉතින් ඒකෙන් මොකද්ද මේක අහන පුද්ගලයා බලාපොරොත්තු වෙන්නේ? කපුකමක් කරලා දෙන්නද? නැත්තම් ආදරයක්වත් ලබා ගන්න බැරි කාලකණ්ණියෙක් කියලා අනික් පුද්ගලයාට මතක් කරලා දෙන එක ද?

 

යාළුවොන්ටයි නෑදෑයන්ටයි තමයි මේ ප්‍රශ්නේ එන්නේ. දෙමව්පියෝ මෙතෙන්ට වැටෙන්නේ බාහිර සමාජයෙන් එන පීඩනය නිසා. දැන් මොකද්ද ඔය බඳින වයස කියන එකෙන් අදහස් කරන්නේ? බඳින්න මොකද්ද ඔය ඕනි කරනවා කියන අදහස? ප්‍රශ්නේ තියෙන මනුස්සයා නොදන්නවා වුණාට කාටත් වඩා බඳින්න වුවමනාවක් අහවල් මනුස්සයාට ඇති. හැබැයි ඒක එහෙම නොවෙන්නත් ඔහු/ඇය ගාව සාධාරණ හේතුවක් ඇති. අනික් මිනිස්සුන්ගේ ජීවිත කතාව ගැන අපිට හාංකවිසියකවත් අවබෝධයක් නෑ. ඒත් අපි එයාලාගේ කතාවලට මාතෘකා හදලා දෙන්න යනවා. ඉතින් ඒක කොයිතරම් දුරට සාධාරණ ද?

 

ඕනෑවට වඩා සමීපයි කියලා පෙන්නන්න දඟලන දැඟලිල්ලේ ප්‍රතිඵලයක්ද කියන්න දන්නේ නෑ හැබැයි බැන්දට පස්සේ ජෝඩුවකට ඉන්දියන් සාගරයේ අමුතු ඇටය පිරිනමන ප්‍රශ්නය තමයි ඔය. ළමයි හදන එක නො හදන එක ඒ මිනිස්සුන්ගේ කැමැත්ත. අනික එහෙම වුවමනාවක් තිබුණ පළියටම ළමයි හදන්න මිනිස්සු කියන්නේ ලොරි බොඩි වගේ ගලවලා හයි කරලා වැඩ දාන්න පුළුවන් අභබ්බයෝ නෙවෙයි.

 

විභාගයක ප්‍රතිඵල එළියට ආවා කියන්නේ කඩිගුලක් ඇවිස්සුනා වගේ තමයි. ජීවිතේට කතා නොකරපු අය පවා ඇවිත් අහනවා නල්ලමලේ ප්‍රතිඵලයක් ගැන. දැන් ඕක මෙලෝ යකෙක්ට කියාගන්න බැරි ලෙල්ලටම කෙළ වෙලා ගියපු ප්‍රතිඵලයක් නම් ඒකට හරියන උත්තරේ ලැබුණාම ප්‍රශ්නේ අහපු හාදයාට අමුතු තෘප්තියක් ලැබෙනවා ද? නැත්තම් ඒකට මොකක් හරි “විභාග නෙවේ ජීවිතේ කියන්නේ” වගේ පණ්ඩිත කතාවක් කියවලා ආතල් එකක් ගන්න බලාපොරොත්තු වෙනවද කියන්න දන්නේ නෑ. ගම් හතකට ලැබුණ හොඳම ප්‍රතිඵලය ලැබුණ මනුස්සයාගෙන් ඒක අහලා ආලවට්ටම් වචනවලින් සතුට පෙන්නලාත් අමුතු සතුටක් ලබන අය ඉන්නවා.

 

අපි අනාගතය කියලා දකින්නේ ජොබ් එක ගැන. අපි කිව්වේ අපි. කෝටි දෙකේ ජනකාය. මොකක් හරි උපාධියක් කරනවැයි කියලා හිතන්නකෝ. ඉතින් දැන් ඕක කරලා මොන වගේ ජොබ් ද කරන්න පුළුවන්? ජොබ් මාකැට් එකක් තියනවද? වගේ ප්‍රශ්න අහනවනේ. කැම්පස් (පෞද්ගලික/රජයේ) ගිහින් එළියට එන්න ඕනි ඩොකාලා, ඉන්ජොලා, ගුරුවරු කියලා සීමාවකින් හිතන අයට තමයි ඔය ප්‍රශ්නේ. මොකක් හරි ජොබක් කරන කෙනෙක්ගෙන් අහනවා සැලරි කොහොමද? කියලා. මේ ඊයේ පෙරේදා ජොබට ගිය මනුස්සයාගෙන් අප්‍රිකාවේ රන් ආකරයක අයිතිකාරයෙක් ගන්න ගතමනාව ගැන හිතලා පිළිතුරු බලාපොරොත්තු වෙන එක නම් ලෙඩක්. සමහරවිට මේ ඕනි නැති ප්‍රශ්න නිසා ජොබ දමලා ගහලා අහවලා ගෙදර නවතීවි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here