සැමියාගෙන් පළි ගැනීමට අනියම් ඇසුරකින් දරුවෙක් හදා ගත් බිරිඳක් – Saru News Media

0
1

නීතිඥ බුද්ධිකා දයාරත්න මෙනෙවියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකසා ඇත.වෘත්තීය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ.

පාසල් ප්‍රේමය ඕනෑම කෙනෙකුගේ ජීවිතයට ඇති සුන්දරම අත්දැකීමක්.සමල් සහ හිරුණි එකම පාසලක එකට ඉගෙන ගත් යුවලක්.එකම සරසවියක අධ්‍යාපනය හදාරන්නටත් වාසනාව ලබන මේ යුවල ප්‍රථම ප්‍රේමය කිසිලෙසක අතනොහැර ගන්නට සමත් වුණා.සමල්,ප්‍රදේශයේ ගෞරවයක් හිමි පවුලක එකම පුතු වුණත් හිරුණිගේ කතාව ඊට වඩා ඉතාම වෙනස් එකක්.හිරුණිට සිටියේ අම්මා පමණයි.ඇගේ අම්මාට යොවුන් වියේදී ඇතිවන ප්‍රේමයකින්  උපන් හිරුණිට කිසිම දවසක තාත්තාගේ සෙනෙහස ලැබෙන්නේ නැහැ.එපමණක් නෙමෙයි ලෝකයට අනුව ඇය සහජාත දරුවෙකු වන්නේ ද නැහැ.පියා උප්පැන්නයට නම නොදුන් නිසා සහජාත දරුවෙකු වීමේ අයිතිය හිරුණි ට හිමි වන්නේ නැහැ.නමුත් ඇය ඉතා හොඳින් ඉගෙන ගන්නා රූමත් සහ යහපත් යුවතියක්.සරසවි අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු සමල්ට විවාහයක් කර ගන්නට දෙමව්පියන් මතක් කරනවා.මේ වෙද්දී වසර දහයක ප්‍රේමයක් තමන්ට ඇති බව සමල් දෙමාපියන්ට කියන්නේ ඒ අවස්ථාවේදී.නමුත් ඒ කවුදැයි දැන ගන්නා දෙමාපියන් ඉතා කෝපයට පත් වනවා.හිරුණිගේ පවුල් පසුබිම ගැන කියමින් දැඩි ලෙස අපහාස කරන ඔවුන් සම්බන්ධය වහාම නවත්වන්නට ඔහුට බල කරනවා.ඉන් නොනැවතී ඔවුන් වහාම ගැළපෙන පවුලකින් සමල්ට යෝජිත විවාහයක්ද සැලසුම් කරනවා.

“අපේ මූණේ දැලි ගාල ඔය කසාදෙ කරගන්න දෙන්න බෑ.ඒක කරොත් මම බෙහෙත් නොබී මැරෙනවා.”

සමල්ගේ පියා ඔහුගේ හෘද රෝගී තත්ත්වය ඇපයට තබමින් සමල්ව බියට පත් කරන්නට කටයුතු කරනවා.සමල් ඉන් මඳක් සසැලෙනවා.

ඔහු යෝජිත යුවතිය වූ අයේෂා සමඟ තමන්ගේ දසවසරක ප්‍රේම සම්බන්ධය ගැන කියන්නේ ඒ නිසා.නමුත් චිත්‍රපට කතාවක මෙන් සමල් සහ හිරුණි එක්කරන්නට අයේෂා ක්‍රියාකරන්නේ නැහැ.

“අවුරුදු දහයක් නෙමේ අවුරුදු කීයක් ආදරය කරත් එයාව අයිති වෙන්නේ මට.ඕනෙම පිරිමියෙක්ට ඔය ආදර කතා කසාදෙන් පස්සේ අමතක වෙනවා.දරුවො එහෙම ඉන්න කාලෙකට සමල්ට ඕවා ගැන හිත හිත ඉන්න වෙලාවක් නෑ”

කිසිම ආකාරයකින් මේ විවාහය අත නොහරින අයේෂා තීරණය කරනවා.දෙමව්පියන්ට පෙනෙන්නට විවාහ වූ නිසා සමල්ට විවාහ ජීවිතයක් රැගෙන යාමේ හැකියාවක් නැහැ.හදවතින් හිරුණි ලඟ ජීවත්වෙන ඔහුට අයේෂා සමඟ කායික සම්බන්ධයක් ඇතිකරගන්නට කිසිසේත්ම නොහැකි වී තිබෙනවා.තමන්ගේ කතාව පැහැදිලිව ප්‍රකාශ කරද්දී ද විවාහයකට පෙළඹුණු නිසා මේ තත්ත්වය දරා ගන්නා ලෙස ඔහු අයේශාට පවසා තිබුණා.

මේ අතර හිරුණි විශාද රෝගයට ලක්වන්නේ තමන් දස වසරක් තිස්සේ ආදරය කළ ප්‍රේමවන්තයා වෙනත් තරුණියකට  හිමි වූ වේදනාවෙන්.ඇගේ මව ගර්භාෂ පිළිකාවක මූලික අවධියේදී සිටීමත් හිරුණිට ජීවිතය දරා ගැනීම අපහසු කර තිබෙනවා.ඒ නිසා ඇය දෙවතාවක්ම සියදිවි නසා ගැනීමේ උත්සාහයක් ගෙන තිබෙන්නේ ඒ අතර.

“මේ කතාව ඔයාට කියන එක හරිම වැරදියි.ඒත් නොකියා ඉන්න බෑ.එක වතාවක් හරි ඔයා හිරුණිට කතා කළොත් හොඳ නැද්ද?”

සමල් සහ හිරුණිගේ ආදර කතාවට මුල සිටම සම්බන්ධ වූ මිතුරියකගෙන් සමල්ට එවැනි පණිවුඩයක් ලැබෙන්නේ ඒ අතර.සමල් හිරුණි දකින්නට පැමිණ පවතින තත්ත්වය දරා ගන්නට ඇයට උදව් දීමට පටන් ගන්නවා.සාමාන්‍ය පෙළ පන්තිය දක්වා ම හොඳ මිතුරන් වූ ඔවුන්ට නැවත මිත්‍රත්වයෙන් ජීවත් වීම අපහසු නැහැ.ඒ නිසා කිසිම කායික බැඳීමකින් තොරව මානසික බැඳීමක් පවත්වාගෙන යමින් අම්මගෙ අසනීප තත්ත්වය දරාගන්නටත් හිරුණිගේ රෝගී තත්වයෙන් සුව වන්නටත් සමල් උදව් කරන්නට පටන් ගන්නවා.මේ සම්බන්ධය අයේශාට ආරංචි වන්නේ ඒ අතර.අයේෂා හිරුණිට දුරකථන ඇමතුම් ලබාදෙමින් ඇයට පහත් ලෙස බැණ වදින්නට පටන් ගන්නවා.මේ අනියම් සම්බන්ධය නැවැත්වීමට ඕනෑම දෙයක් කරන්නට තමන් පෙළඹෙන බව ඇය පවසන්නේ ඒ අතර.

දෙපාර්ශ්වයේ ඥාතීන් ප්‍රීතියට පත් කරමින් අයේෂා ගැබ් ගන්නවා.නමුත් දෙදෙනා අතර කිසිම කායික බැඳීමක් නොවූ බව දන්නෙ සමල් පමණයි.මේ සම්බන්ධයෙන් දැඩි ව්‍යාකූලත්වයට පත් වෙන ඔහු දික්කසාද නඩුවක් වෙනුවෙන් අප වෙත පැමිණෙනවා.

“මට අයේෂා එක්ක කවදාවත් කායික බැඳීමක් හදාගන්න පුළුවන් වුණේ නැහැ.ඒ නිසා මේ මගේ දරුවෙක් නෙමෙයි.මම මත්පැන් පාවිච්චි කරන කෙනෙක් නොවෙන නිසා අහම්බයකින් වත් මෙහෙම දෙයක් වෙන්න බැරි බව මට විස්වාසයි “

ඔහු අපෙන් උදවු පතන්නේ එසේ කියමින්.ඔහු පවසන කාරණා අනුව දික්කසාද නඩුව ගොනු කරන්නට අපි කටයුතු කළා. විත්තිකාරිය වූ අයේශා සිතාසි බාර ගෙන තිබුණා.නමුත් ඇය දරුවා වෙනුවෙන් නඩත්තු නඩුවක් ගොනු කරනවා.දරුවා සමල්ගේ වෙන නිසා දරුවා වෙනුවෙන් නඩත්තු ගෙවිය යුතු බවයි ඇය පවසන්නේ.
එසේම සමල්ට අනියම් සම්බන්ධයක් ඇති බවත් ඇය කරුණු ගොනු කර තිබුණා.

දරුවකු වෙනුවෙන් නඩත්තු නඩුවකදී නඩත්තු ඉල්ලා සිටීමේදී පීතෘත්වය ඔප්පු කළ යුතුයි.මේ නඩුව DNA මත පදනම් වූ නඩුවක් වන්නේ ඉන්පසු.අප විසින් දරුවාගේ පීතෘත්වය සනාථ කරගන්නට DNA පරීක්ෂණයක් වෙනුවෙන් අධිකරණ නියෝගයක් ඉල්ලා සිටින්නට කටයුතු කළා.අපට එයට අවසර ලැබුණා.දික්කසාද නඩුව ඒ අතරේ විභාග වුණා.පරීක්ෂණයේ ප්‍රතිඵල පැමිණි අතර දරුවා සමල්ගේ දරුවෙකු නොවන බව ඉන් සනාථ වුණා.ඒ ප්‍රතිඵල අනුව දික්කසාදය ලබා දෙන්නට අයේෂා කැමති වී තිබුණා.

මේ දරුවාගේ තාත්තා කවුද කියන කාරණාව ද ඔබට හෙළි නොකර බැරි වන්නේ මේ කතාව කාන්තා වෙබ් අඩවියක ඔබ වෙනුවෙන් සැකසෙන ලිපියක් වන නිසා.ජීවිතයේ සමහර කාරණා වලදී කාන්තාවන් ක්‍රියා කරන ආකාරය සියතින්ම තමන්ගේ ජීවිතය විනාශ කරගැනීමක් වනවා.අයේෂා ද එවැන්නියක්.

යෝජිත විවාහය සිදු වූ පසුද සමල් හිරුණි ට බැඳී සිටීම අයේශාට දරා ගන්නට අපහසු වී තිබුණා.නමුත් හිරුණි ගෙන් මිදී තිබුණේ නැහැ.ඒ නිසා අයේශා ද දැඩි මානසික පීඩනයකට ලක් වී තිබුණා.සමල් තමන්ට නතු කර ගත හැකි බව සිතමින් විවාහ වූවාට එය එසේ නොවන වග වැටෙද්දී ඇය ඉතා ප්‍රමාදයි.”හදාගන්නට හිතමින් කිසිවෙකුත් විවාහ කරගත යුතු නැති බව”ඔබ මේ කතාව  නිසා හෝ තේරුම් ගත යුතුමයි.අයේෂා තමන්ගෙ දුක කියන්නට තෝරා ගෙන තිබුණේ සමල්ගේ වැඩිමහල් සහෝදරයා වන අමල්වයි.දරුවාගේ පියා සමල්ගේ සහෝදරයා වූ අමල් බව ඇය හෙළි කර සිටියා.එය සමල් ද දැන ගත්තේ නඩුව අතරේ දී.අමල් ද ඒ වන විට දෙදරු පියෙක් වූවා.දරුවා ලැබෙද්දී සමල් සහ අයේෂා දික්කසාද නොවූ නිසා උප්පැන්නයට දරුවාගේ පියා ලෙස සමල්ගේ නම යොදා තිබුණා.

“ඒක වෙනස් වෙන්න ඕනේ නැහැ.මම උප්පැන්නෙට දරුවාට මගේ නම දෙන්නම්.අයියා ගැන කවුරුත් දැනගන්න ඕන නැහැ.මට අවශ්‍ය ඩිවෝස් එක විතරයි.”

සමල් උසාවියේදී එසේ පවසා සිටියා.නඩත්තු ගෙවීමකින් තොරව නඩුව අවසන් වුණා.

නමුත් අදටත් අමල්ගේ බිරිඳ අයේෂා සම්බන්ධ මේ සිදුවීම ගැන කිසිවක් ම දන්නේ නැහැ.මේ කතාව තුළ ඇය ද අසාධාරණයකට ලක් වූ බව මම සිතනවා.මේ කාන්තාවන් තිදෙනෙකුගේ කතාවක්.මේ කාන්තාවන් තිදෙනාම අසාධාරණයට ලක් වූ බවයි මගේ හැඟීම.මේ තිදෙනාම ලංකාවේ විවාහ ක්‍රමය නිසා අසරණ වූ බව නොකියාම බෑ.ඔබ පීඩාවට පත් වූ කිසිම අවස්ථාවක ඔබව පාවිච්චි කරන වර්ගයේ පිරිමියෙකුට ඔබේ වේදනාව හෙළි කළ යුතු වන්නේ නැහැ.එසේම හදාගන්නට බලාගෙන කිසිවකු සමඟ විවාහ වී පලක් ඇත්තේ ද නැහැ.නියමිත වයස ගෙවීමට පෙර විවාහ වීමට සහ කෙසේ හෝ විවාහයක් කරගැනීම වෙනුවෙන් භෞතික කාරණා පමණක් විවාහයට ගලපා ගන්න එපා.ඔබට ආදරය කරන්නේ නැති ඔබ ප්‍රතික්ෂේප කරන පිරිමියකු ජීවිතයට අලවා ගැනීමෙන් ඔබට අයේෂාට මෙන්ම වේදනා විඳින්නට සිදු වෙනවා.එවැනි පිරිමියෙකු සමඟ විවාහ වන්නට සිදුවී ඔබ රැවටීමට ලක් වන බව හෙළි වනවා නම් කළ යුතු වන්නේ අයේෂා මෙන් අනතුරුදායක පියවර තැබීම නොවේ.සැමියාගේ අනියම් සම්බන්දතාවය නිවැරදිව ඔප්පු කර දික්කසාදය ලබා ගැනීමයි.

ඒ වගේම ආදරය වසර ගණනාවක් පැරණි වුවත් ඔබව අතැර වෙනත් කෙනෙකු සමග නීතියෙන් බැඳෙන පිරිමියෙකු නැවත ඔබේ ජීවිතයට ළංකර ගත යුතු වන්නේ ද නැහැ.ඉන් ඔබට ලැබෙන්නේ මානසික පීඩාව සහ කසාද නඩුවක සම විත්තිකාරිය වීමේ අවදානම පමණයි.

නීතිය සෑම විටම පවතින්නේ සාධාරණ පාර්ශවයේ.ඒ නිසා ඔබටත් අකටයුත්තක් සිදුවන්නේ නම් ඔබේ ක්‍රමයට ඒ ගැටළු විසඳන්නට නොයා නීතියේ පිළිසරණ පතන්නට අමතක කරන්නට එපා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here