සුභග දරුවෙකු (Gifted Child) හඳුනා ගන්නේ කෙසේද? – Saru News Media

0
2

ඕනම අම්මා කෙනෙකුට, තාත්තා කෙනෙකුට තමන්ගේ දරුවෙක් කියල කියන්නෙ මහා ලොකු සම්පතක්. අර කතාවටත් කියන්නෙ “උනහපුළුවට උගේ පැටිය මැණිකක්” කියලා. අන්න ඒ වගේ හැම අම්මෙක් තාත්තෙක්ම හිතන්නෙ තමන්ගේ දරුවන් දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක් විදිහටයි. හැබැයි වෛද්‍ය විද්‍යාවේ ත්‍යාගලාභී, ඒ කියන්නෙ Gifted, එහෙමත් නැත්තම් සිංහල භාෂාවෙන් නිවැරදිවම කිව්වොත් සුභග දරුවන් කියල හඳුන්වන සුවිශේෂී දරුවන් කොට්ඨාසයකුත් ඉන්නවා. සරලවම කිව්වොත් මේ කියන්නෙ අපි ඔය නිතර අන්තර්ජාලය හරහා දකින තමන්ගේ වයසට වඩා ඉතා ඉහළ හැකියාවන් දක්වන දරුවන්. මේ දරුවන්ගේ IQ මට්ටම සාමාන්‍ය වැඩිහිටියෙකුටත් වඩා ඉතා ඉහළයි. හැබැයි බැලූ බැල්මට පේන මේ කාරණා වලට අමතරව ඉතා කුඩා වයසේදීම මේ සුවිශේෂී දරුවන්ව හඳුනාගන්න පුළුවන් ලක්ෂණ තියෙනවා. ඉතින් මේ කතා කරන්න යන්නෙ ඒ ලක්ෂණ ගැනයි.

සුභග දරුවන් ඉතාම කුඩාම කාලයේදී හඳුනාගන්න පුළුවන් මුල්ම ඉඟිය තමයි මේ වර්ධන අවධි එහෙමත් නැත්තම් Development Milestones කියල කියන්නෙ. වර්ධන අවධි කියල කියන්නෙ කුඩා දරුවෙකු උපතේ ඉඳලා ක්‍රම ක්‍රමයෙන් වයසෙන් වැඩෙද්දී පහුකරන විවිධ වර්ධන අවස්ථාවන්. ඒ කියන්නෙ මුණින් පෙරලීම, දණ ගෑම, ඇවිදීම, බහ තේරීම වගේ ක්‍රියාකාරකම්. අපි මේ කතා කරන විශේෂ සුභග දරුවන් එම වයසේම අනිත් දරුවන්ට සාපේක්ෂව මේ වර්ධන අවධි ඉක්මනින් පසුකරන තත්ත්වයක් දකින්න පුළුවන්. හැබැයි ඉක්මනින් වර්ධන අවධි පසුකරන හැම දරුවෙක්මත් සුභග දරුවෙක්ම නෙමෙයි.

මේකත් සුභග දරුවන් සතුව පවතින විශේෂම ලක්ෂණයක්. එම වයසේ අනික් දරුවන්ට සාපේක්ෂව මේ දරුවන් සතුව ඉතා විශාල ශබ්ද කෝෂයක් තියෙනවා. ඒ කියන්නෙ ඔවුන් විශාල වචන සංඛ්‍යාවක් දන්නවා, භාවිතා කරනවා. ඒ වගේම ඔවුන් වැඩිහිටි අයෙකු මෙන්ම ඉතාම පහසුවෙන් භාෂා භාවිතයේ යෙදෙනවා. ඒ කිව්වේ ඉතා හොඳින් කතා කරමින් අනිත් අය සමඟ සන්නිවේදනය කරන්න මේ දරුවන්ට ඉතා කුඩා වයසේදීම පුළුවන් වෙනවා.

අනික් දරුවන්ට සාපේක්ෂව මේ දරුවන් එයාලගේ අවට ලෝකය, අවට ඉන්න මිනිස්සු ගැන එහෙම අධික කුතුහලයකින් පෙළෙනවා. දකින හැමදේම සිදුවෙන්නේ කොහොමද? එහෙම සිදුවෙන්නේ ඇයි කියන ගැටළු ඔවුන්ට නිරන්තරයෙන් ඇතිවෙනවා. ඒ නිසාම ඔවුන් වැඩි වැඩියෙන් ඒ දේවල් ගැන ප්‍රශ්න කරන්නත් සොයා බලන්නත් පෙළඹෙනවා. පුංචි ළමයි නිරන්තරයෙන් ප්‍රශ්න අහන එක සමහර වෙලාවකට හරිම කරදරයක් විදිහට අපි හිතුවට ඔන්න ඒක ඔබේ දරුවා ගැන සතුටු වෙන්න කාරණයක් වෙන්නත් පුළුවන්.

අනිත් විශේෂම ලක්ෂණය තමයි මේ දරුවන් තුළ පවතින ඉතා ඉහළ මතක ශක්තිය. ඔවුන් අවට ලෝකයේ දකින දේ, ඇහෙන දේ කියන හැම දෙයක්ම මොවුන් ඉතා ඉක්මනින් තදින්ම ග්‍රහණය කරගන්නවා වගේම ඒවා ඔවුන්ට මතක තියෙන ප්‍රමාණයත් ඒ අයගේ වයසේ අනිත් දරුවන් එක්ක බලද්දී ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. කාලයකට කලින් වුණත් හිතේ රැඳුන අත්දැකීමක් හොඳින් මතක් කරන්න මේ දරුවන්ට පහසුවෙන්ම පුළුවන්.

මේ වයසේ අනිත් දරුවන්ට කලින් අකුරු ලිවීමේ සහ කියවීමේ හැකියාව සුභග දරුවන් අතරේ දකින්න පුළුවන්. ඒ කියන්නෙ ඔවුන් විසින්ම වටපිටාවේ දකින දේවල් අනුව කියවීම දියුණු කරගන්න උත්සාහ කරන බව ඉතාම කුඩා කාලයේදීම අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ වගේම නිසි මාර්ගෝපදේශනයන් සැපයුවාට පස්සේ, ඒ කියන්නෙ අපේ විදිහටනම් අකුරු කියවලා කියවන්න හුරු කරන්න ගත්තට පස්සේ ඒ හැකියාව ඉතාම ඉක්මනින් ග්‍රහණය කරගන්න මේ දරුවන්ට පුළුවන්. ඒ වගේම තමයි ලිවීමේ හැකියාවත්. අනිත් දරුවන්ට සාපේක්ෂව මොවුන්ට අකුරු ලියන්න පුළුවන් වගේම කලාත්මකව ලිවීම, ඒ කිව්වේ ඉතා කුඩාකාලයේම දක්වන ඉහළ රචනාමය හැකියාවනුත් මේ සුභග දරුවන් අතරේ සුලභ ලක්ෂණයක්.

ගණිත හැකියාවන් තියෙන හැම දරුවෙක්ම සුභග දරුවෙක් නොවුණට හැම සුභග දරුවෙක් තුළම ඉතා ඉහළ මට්ටමේ ගණිතමය හැකියාවන් දකින්න පුළුවන්. කලින් කියපු ලක්ෂණ එකක් හෝ කිහිපයක් සමඟ ගණිත හැකියාවන් ඉතා ඉහළ මට්ටමකින් පෙන්නුම් කරනවා කියල කියන්නෙ ඒ දරුවා විශේෂ දරුවෙක් කියන එකයි.

හුඟක් පොඩි ළමයි නිතර උත්සාහ කරන්නෙ තව ළමයින් පිරිසක් එක්ක එකතුවෙලා සිරුර වෙහෙසවන ක්‍රියාකාරකම් ඒ කිව්වේ සෙල්ලම් වල නිරත වෙන්නනේ. හැබැයි මේ සුභග දරුවන් සාපේක්ෂව වෙනස්. ඒ කියන්නෙ ඔවුන් අනිත් දරුවන් එක්ක එකතුවෙලා සෙල්ලම් කරන්නේ නැහැ කියන එක නෙමෙයි. ඔවුන් සෙල්ලම් කරනවා. හැබැයි කවුරුත් නැතිව තනිව ගතකරන කාලය ගැනත් ඔවුන් අනෙක් දරුවන් තරම් කණස්සල්ලට පත්වෙන්නේ නැහැ. ඒ තනිව ගතකරන කාලයත් ඔවුන් උපරිමයෙන් විඳිනවා කිව්වොත් වැරදි නැහැ. ඔවුන්ගේ කුතුහලය, කියවීමේ හැකියාවන් එක්ක ඔවුන් ඒ කාලය අලුත් දේ සොයන්න, කියවන්න ගතකරනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here