ෆාහියන් තෙරණුවන්ගේ වීර චාරිකාව – Saru News Media

0
1

කාන්තාර තරණය, දැඩි ශීතල සහිත හිමාල කඳු තරණය සහ කුණාටු සොර සතුරු බිය සමග මුහුදු තරණය යන ත්‍රාසජනක අත්දැකීම් රැසක් සපිරි ෆාහියන් දේශාටනය සැබැවින්ම රසවත් විස්තරයක්. උන් වහන්සේ භික්ෂුවක් වුවත් ඒ ගමනේදී මුහුණ පෑ අත්දැකීම් නම් කිසිසේත්ම සුන්දර ඒවා වුණේ නැහැ. බුදුදහම ආසියාවේ විශාල වපසරියක තිබූ කාලයක ඒ ඒ දේශවල රජවරුන් සහ අධිපතීන්ගේද දායකත්වයෙන් ගිය ඒ මහා ඓතිහාසික ගමන පසුකාලීනව ඉතිහාසයේ අහුමුළු සොයා පාදා ගන්නටද වැදගත් වූ වාර්තාවක් වුණා.

 

ෆාහියන් තෙරගේ උපන් ගම චීනයේ ශාන්සි පළාතේ පියාං පෙදෙසේ යාං නුවරය. උන් වහන්සේ පැවිදි වන්නට පෙර කුං යන නමින් හැඳින්වුණා. තුන් අවුරුදු වියේදී පැවිදි වුණ ෆාහියන් තෙරණුවන්ට බුදුදහම ගැඹුරින් හැදෑරීමටත් එවකට චීනයේ තිබුණ ධර්ම විනය හිඟ කොටස් අධ්‍යයනය කිරීමටත් අවශ්‍ය වුණා. මුලින්ම උන් වහන්සේ ගමන් ආරම්භ කළේ ක්‍රිස්තු වර්ෂ 399 දීයි. උන් වහන්සේ ගිරි දුර්ග මතින් ඉන්දියාවට පැමිණ, එතැනින් ලංකාවට විත් නැවත මුහුදින් ගොස් චීනයට යනවිට ක්‍රිස්තු වර්ෂ 413 තරම් කල් ගතවී තිබුණි. වසර 14ක් තිස්සේ මුන්වහන්සේගේ දේශ ගවේෂණය සිදු විය. මුලදී චීනයෙන් පිටත් වෙද්දී ෆාහියන් හිමි වටා බොහෝ පිරිසක වූහ. එහෙත් විටින් විට ජනයා අඩු වී අවසන විටෙක උන් වහන්සේ පමණක් තනිව ගමන් කළ අවස්ථාද විය.

 

ෆාහියන් තෙර ඉන්දියාවට පැමිණියේ හිමාල කඳුකරය වටා එන දුෂ්කර මගක් ඔස්සේය. මේ මග දැනට චීනයේ සින්ජියාන් උයිගර් සීමාව වේ. මේ කලාපයෙන් පැමිණ දැනට පාකිස්ථානය හරහා වැටෙන මාර්ගයේ දැනටත් ගමනාගමන කටයුතු සිදුවන්නේ අඩුවෙනි. මේ දුෂ්කර හිමාලයානු මග ඔස්සේ පැමිණි උන්වහන්සේට එවකට ඒ ඒ දේශ දේශාන්තර වල යම් යම් මාදිලිවල බෞද්ධ ඇදහීම්, හීනයාන, මහායාන ධර්මය අදහන පිරිස් හමු විය. ඒ ඒ දේශවල රජවරුන්, හිමිවරුන් මගින් සහ ආරාම වලින් ෆාහියන් හිමිට නවාතැන් පහසුව සහ ගමන් පහසුව සැලසුනි.

 

චීනයේ සිට ඉන්දියාවට ටක්ලමකන් කාන්තාර බිම හරහා පැමිණි ප්‍රථම බෞද්ධ හිමි නම ලෙස ෆාහියන් තෙරණුවන් වාර්තා අතරට එකතු වේ. උන් වහන්සේ ගියේ අමුතුම මගකිනි. ලංකාව තෙක් බොහෝ දුරට පාගමනින් වැඩි ෆාහියන් තෙරණුවන් ඉන් පසුව ලංකාවේ සිට සුමාත්‍රාවට ඇති කිලෝමීටර දහස් ගණන මුහුදින් ගමන් කළේය. කාන්තාර හරහා ඉන්දියාවට පැමිණීමේදී හිමාල සීමාවේදි දැනටත් හිම සහිත දැඩි ශීතල පරිසරයක් පසු කළ යුතුය. ඒ ඒ පළාත් වල බෞද්ධ සිරිත් විරිත් අධ්‍යයනය කරමින් මේ ශීතල පසුබිමද අපහසුවෙන් දරාගෙන උන් වහන්සේ ගමන් ගත් බව වාර්තාවල සඳහන් වේ. 

 

චීනය සහ ඉන්දියාව මුහුදින් ගනුදෙනු කළ බවට ෆාහියන් තෙරගේ දේශාටන වාර්තා තුළින් හෙළි වේ. ලංකාවට එන ගමනේදී උන් වහන්සේ පැමිණියේ නැගෙනහිර ඉන්දියාවේ ටම්රලිප්ටි වරායේ සිටය. එතැනින් පසු ෆාහියන් තෙර ඉන්දුනීසියාවේ සුමාත්‍රා කරා යන්නේද වෙළඳ නාවුකයින් සමඟය. එවකට බෞද්ධයින් අඩුවෙන් සිටි මේ සුමාත්‍රා පළාතට ධර්මය බෙදාදුන් බවද දේශාටන වාර්තාවේ සඳහන් ය. මේ යාත්‍රා ගමන නිම වී චීනයට පැමිණෙන විට ෆාහියන් තෙර වයස 77ක් වන මහල්ලෙක් වී සිටියේය. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here