16 වසරක අමානුෂික ගෘහස්ත හිංසනයෙන් මිදී ලොවක් දන්නා ගායන තරුවක් වූ ගැහණියක් – Saru News Media

0
1

බිරිඳක් ගෘහස්ථ හිංසනයට ලක් වීම ලංකාව ඇතුළෙත් අලුත් මාතෘකාවක් නෙවෙයි. ගෘහස්ථ හිංසනය දරා ගත නොහැකිව ජීවිතයෙන් පලා ගිය අයත් ලැබුණු ජීවිතය ගත කරමින් හිඳින අයත් අපේ රටේ ඕනෑ තරම් සිටිනවා. ජීවිතයට එල්ල විය හැකි අභියෝග දරා ගනිමින් ඉන් මිදෙන කාන්තාවන් ඉතා අල්ප ප්‍රමාණයක් සිටිනවා.

මේ කතාව බහුතරයක් වෙනුවෙන්. 

ඔබ විඳවන ජීවිතයෙන් මිදුණු දිරිය ගැහැනියකගේ කතාව ඔබ සිටින අපායෙන් පිටතට එන්නට ඔබට උදව් කරන බව අපට විශ්වාසයි. ඇය ටීනා ටර්නර් නම් ප්‍රසිද්ධ ගායිකාවයි.

ද නිව් යෝර්ක් ටයිම්ස් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී, ටීනා ටර්නර් ඇයගේ තරුණ කාලය ගැන කතා කළා. ඇගේ සැමියා වූ ඔහු Ike Turner නම් සංගීතඥයෙක්. 

 “මම හිතන්නේ මට ලැජ්ජයි. මට දැනෙනවා මම කිව්වා ඒ ගැන ඇති කියලා.”

ඒ අතීතය ගැන ටීනා එසේ ප්‍රකාශ කරන්නේ  ජීවිතයේ සැඳෑ සමය ගෙවන අතරේදී. ඇයට ඒ අතීතය ගැන සිහි කිරීම පවා වේදනාවක් ලැජ්ජාවක් උපදවන සුළු වුණා.

කෙසේ වෙතත්, ඇය තවදුරටත් තමාට අයිති නැති පිරිමියා ගැන ඇගේ අවසන් සිතුවිලි ඉදිරිපත් කරේ මේ ආකාරයෙන්.

 “ඔහු මට කරපු හැමදේටම මට සමාව දෙන්න පුලුවන්ද කියලා මම දන්නේ නෑ.නමුත් ඔහු මැරිලා. ඒ නිසා අපි ඔහු ගැන කරදර විය යුතු නැහැ,”

සැබෑවටම සෑහෙන තරමේ දුක් වේදනා විඳින ලද සම්බන්ධයක් ගැන මරණයෙන් පසුව හෝ සමාව දිය හැකිනම් එය විශාල සැනසීමක්. ටීනා ඒ ගැන අවබෝධ කරගෙන සිටියා.

ඇය ඇගේ සැමියාගෙන් වසර දහසයක් පුරා පහර කෑම්වලට ලක් වුණා. නමුත් එක්තරා රාත්‍රියක එහෙම පහර දීම් ඉවසා දරා ගැනීම ඇය අත් හැර දැමුවා. ඇය ලේ පිසදා ගත්තා. ලේ තැවරුණු ඇඳුම්වලට උඩින් කේප් එකක් ඇඳගත්තා. ඉදිමුනු දෑස අව් කණ්නාඩියකින් වසා ගත්තා. නැවතී සිටි හෝටලෙන් එලියට දුව ගිය ඇය කුණු කසල දමන ස්ථානයක සැඟවෙන්නට තීරණය කළා.

ඉන්පසු වෙනත් තැනකට ගොස් කාමරයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියා. ඇය සතුව තිබුණේ ඉතා ස්වල්ප මුදලක් සහ ක්‍රෙඩිට් කාඩ් එකක් පමණයි.ඇය ගැලවීමේ මාර්ගය තෝරා ගත්තා. ඇය වැනි ජනප්‍රිය කෙනෙකුට ආහාර මුද්දර වලින් ජීවත් වන්නට සිදු වුණා. නිවසේ සිටීමට හිලව්වට ගෙදරදොර වැඩ කර දී ඇය මිතුරන් ළඟ ජීවත් වුණා. මොන තරම් දුෂ්කර වුණත් ඇය සටන අතහැරියේ නැහැ. ඇයට වෘත්තීය ජීවිතය ද තමන්ගේ පෞද්ගලික ජීවිතය ද බිංදුවේ සිට ගොඩ නගන්නට සිදුවුණා. නමුත් ඇය එය අතැර දැමුවේ නෑ.

දික්කසාද නඩුවේ දී ටීනා ටර්නර් සැමියා වූ ඉකේට ඔවුන්ගේ සියළු මුදල්වල අයිතියත් ඇගේ නිර්මාණවල ප්‍රකාශන කතෲ භාගයත් ලබා දුන්නා. ඇයට අවශ්‍ය වූයේ එකම දෙයක් පමණයි!

ඒ නිදහස!

වසර දාසයක් අහිමි වූ නිදහස ඇය සටන් කිරීමෙන් අනතුරුව ලබා ගත්තා.

“ඔබ මේ සියලුම දේ ගන්න.මට අනාගතය පමණක් ඉතුරු කරන්න. මට අවශ්‍ය මගේ අනාගතය පමණයි”

ටීනා, ඉකේගෙන් ඉල්ලා සිටියේ එපමණයි.

2018 දී, ඇය ටර්නර් ඔප්රා වින්ෆ්‍රී සමඟ සාකච්ඡාවකට සහභාගී වුණා.

 “ඔව්, ඒ සමහර වෙලාවල් මතක් වෙන එක හොඳ නැති නිසා. ඒවා මතක් කිරීම නරක හීන දකින්නට හේතුවක්  බව දන්න නිසා මම ඒවා ගැන කතා කරන්න හිතුවේ නැහැ. ඒත් මට හිතුණා මේ කතාව කියන්න කවුරුත් නෑ කියලා. දැන් මම ඒ ගැන ආඩම්බර වෙනවා,” 

ඇය දැන් එසේ පවසනවා.

“මට ඒ කාලයේ වෙන කරන්න දෙයක් නෑ. මට අයිකේ හම්බුනාට පස්සේ මට යන්න තැනක් තිබුණේ නැහැ. මම එයාව දාලා ගියාට පස්සේ දික්කසාදයේදී මට කිසිම දෙයක් නොලැබුණු නිසා මටත් මගේ පවුලේ අයටත් අවශ්‍ය ආරක්ෂාව සහ මුදල් සපයා ගන්නට මට සිදු වුණා.”

වසර ගණනාවකට පසු ඇය වඩාත් කෘතඥ වන්නේ කුමක් වෙනුවෙන්දැයි ඇය ඔප්රාට හෙළි කළා.

 “මම කිසිවෙකුට වෛර නොකර හෝ දොස් නොකියා දිවි ගලවා ගැනීම ගැනත් මට උදව් කිරීමට අවංක, හොඳ, අව්‍යාජ මිනිසුන් සිටීම ගැන මම ඉතා කෘතඥ වෙනවා”

Queen of Rock ‘n’ Roll ලෙස හැඳින්වූ ඇය ඇමරිකානු ගායිකාවක්. ඉකේගෙන් වෙන් වන්නට පෙර ඇය ඔහු සමඟ එක්ව ගායනයෙහි යෙදුණා.  1939, නොවැම්බර් 26 වැනිදා උපන් ඇය ඉකේ සමඟ 1962 විවාහ වී 1978 දී දික්කසාද වුණා. 2013 දී ඇය නැවත විවාහ වුණා.

ටීනා පසුගිය මැයි 24 දා ජීවිතයෙන් සමුගත්තා. ඇය ඉතිහාසයට එක් වන්නේ දක්ෂ ගායිකාවක ලෙස පමණක් නොවේ.හිංසනයට විරුද්ධව සටන් කරමින් ජයග්‍රහණය අත් පත් කරගත් ගැහැනියක ලෙසත්, අනතුරුව මුල සිට ගොඩ නැගුණු ගැහැනියක ලෙසත් ඇය ඉතිහාසයට එක් වෙනවා.

වඩා වටින්නේ නිදහස මිස කිසිවක්ම නෙවෙයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here