80, 90 දශක වලදී නවීන ටෙක්නොලොජි නැතුව අපි වැඩ කරගත්තේ මෙහෙමයි! – Saru News Media

0
8

ඔය දෙදාහෙන් පස්සෙ උපන්න නංගියෙක්ට මල්ලියෙක්ට (පුතෙක්ද දුවෙක්ද මන්දා) හිතාගන්න පුළුවන්ද ස්මාට්ෆෝන් නැති ලෝකයක් ගැන? එතකොට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් නැති ලෝකයක් ගැන? ඇත්තටම එහෙම හිතන එක ටිකක් අමාරුයි තමයි. මොකද ඒ තරමටම ස්මාට්ෆෝන් එක අපේ ඇඟේ කෑල්ලක් වෙලා. ෆේස්බුක් හරි අනෙක් සමාජ ජාල හරි අපේ දෛනික වැඩ වල කොටසක් වෙලා. හැබැයි අනූව දශකයේ නැතිනම් අසූව දශකයේ ජීවත් වුණු අයට අද තියෙන වැඩ පහසුකරවන තාක්ෂණයන් තිබුණෙ නැහැනේ. උන්දැලා එහෙම තාක්ෂණයන් නැතුව කාපු කටු අනන්තයි. හැබැයි හොඳම දේ මේකයි. ඒ කාලේ හිටපු උන්දැලා වුණු අපිට ඒ කාලේ ඒවා කටු කියලා දැනුනෙ නෑ, ඒවා එදා අපේ එදිනෙදා ජීවිතේ විතරයි!

 

දැන් තියෙන ෆ්ලැට් ස්ක්‍රීන් ටීවී ඒ කාලේ තිබුණෙ නැහැනේ. ඒ කාලේ තිබුණේ CRT නැතිනම් කැතෝඩ නළ රූපවාහිනී කියලා හඳුන්වපු අර තඩි පස්සක් තිබුණු ටීවී යන්ත්‍ර තමයි. හැබැයි අනූව දශකයේ මැද වෙනකොට ආපු එහෙම ටීවී වලත් රිමෝට් කන්ට්‍රෝල් තිබුණා. හැබැයි ඊටත් කලින්, ඒ කියන්නේ ලංකාවට ටීවී ආපු අසූව දශකයේ තිබුණු ටීවී වල රිමෝට් කන්ට්‍රෝල් කියලා දෙයක් තිබුණෙ නෑ. අපිට චැනල් එකක් මාරු කරන්න ඕන නම් අපි ටීවී එක ගාවට ගිහින් ඒකේ පැත්තක තියෙන රවුම් නොබ් එක කරකවන්න ඕන. හැබැයි ඉතින් වාසනාවට ඒ කාලේ තිබුණේ එක චැනල් එකයි, නැතිනම් උපරිම දෙකයි. ඒ නිසා විනාඩි පහෙන් පහට ටීවී එක ගාවට ගිහින් ඕක කරකවන්න සිද්ධ වුනේ නෑ!

 

අද අපිට ඔෆිස් එන්න වෙන්නෙ නැති නම් අපි මොකද කරන්නේ? ෆෝන් එකෙන් හරි ලැප්ටොප් එකෙන් හරි සුටුස් ගාලා ඊමේල් එකක් ටයිප් කරනවා HR එකට. එහෙම නැතිනම් වෙනත් ඕනම පණිවිඩයක් වුනත් දෙන්න ඊමේල්, මැසෙන්ජර් සේවා අනං මනං තත්පරේකට දුරින් තියෙන්නේ. හැබැයි ඉස්සර ස්මාට්ෆෝන් කියලා දෙයක් හීනෙන් වත් දැකලා තිබුණේ නැති කාලේ ඔව්වා තිබ්බෙ නෑ. ඒ කාලේ හදිසි පණිවිඩයක් යවන්න ඉතින් අපි දුවන්න ඕන තැපැල් කන්තෝරුවට. ඉන් පස්සේ ගහන්න ඕන ටැලිගැරැං එකක්. ඒක තමයි ඒ කාලේ ඉක්මන්ම ක්‍රමේ. දවසෙන් ලංකාවේ ඕනම තැනකට යනවා!

 

ඒ කාලෙත් අපි ඔය ෆොටෝග්‍රැෆි සීන් එකට හෙනම ආසයි පුතාලා දුවලා. දැන් ට්‍රිප් එකක් ගියහම ෆොටෝ එකක් ගන්න ඕන නම් මොකද කරන්නේ? ස්මාට්ෆෝන් එක ගත්තා, ෆොටෝ එක ඇල්ලුවා, කෙලින්ම ෆේස්බුක් ෂෙයාර් කළා. එතකොට අපේ කාලේ? ඒ කාලේ අපි ට්‍රිප් එකක් යන්න කලින් ස්ටුඩියෝ එකට ගිහින් බැටරි කෑලි දෙකකුයි ෆිල්ම් රීල් එකකුයි ගත්තා (ගන්නේ කොඩැක්ද ෆූජිද කියන එක තීරණය කරන්නත් සෑහෙන වෙලාවක් ගියා), ට්‍රිප් එක ගියා, පරිස්සමට ෆොටෝ 24 නැතිනම් 36 පරිස්සම් කරලා ඕනම ෆොටෝස් විතරක් ගැහුවා, ට්‍රිප් එක ගිහින් ආවට පස්සේ ආයෙමත් රීල් එක ඔතාගෙන ස්ටුඩියෝ එකට ගියා, සුද්ධ කරන්න දුන්නා, දවස් කීපෙකට පස්සේ ආයෙ ස්ටුඩියෝ එකට ගිහින් ෆොටෝ ටික අරගෙන ආවා. හෙනම සරලයි නෙහ්?

 

දැන් කාලේ වගේම ඉස්සරත් අපි හෙනම සංගීතෙන් ජීවත් වුණු මියුසික් ලවර්ස්ලනේ බ්‍රෝ. ඒ කාලේ ඔය ගිටාර් පිස්සු එහෙමත් අපිට තිබුණා. ගිටාර් එක ගහ ගහා කියන්න ඉංග්‍රීසි සිංදු එහෙමත් අපිට ඕන වුනා. හැබැයි ඔය ඉංග්‍රීසි සිංදු වල පදවැල් පටස් ගාලා ඩවුන්ලෝඩ් කරගන්න ඒ කාලේ ඉන්ටර්නෙට් තිබුණෙ නැහැනේ. ඉන්ටර්නෙට් තියා කම්පියුටර් තිබුණෙත් නෑ. ඉතින් අපි සිංදුව කැසට් එකට දාලා කෑල්ලෙන් කෑල්ල පෝස් කර කර, රිවයින්ඩ් කර කර අහනවා. අහන ගමන් අපේ සිංදු පොතේ ලියාගන්නවා. හැබැයි ඉතින් ඔහොම කණට ඇහෙන විදියට සිංදු පදවැල් ලියලා ගොඩක් වෙලාවට අපි කියලා තියෙන්නේ ඉංග්‍රීසියෙ තියා ප්‍රංස බාසාවෙවත් නැති කුණුහරුප තමයි!

හැබැයි සිංහල සිංදු වලට ඒ තරම් දුකක් විඳින්න වුනේ නෑ. මොකද ඒ කාලේ තිබුණා ජනප්‍රිය සිංහල සිංදු වල පදමාලා තියෙන සිංදු පොත්!

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here