Google Assistant ට කරන්න පුළුවන් අරුම පුදුම දේවල් මොනවද කියලා දන්නවද? – 2 කොටස – Saru News Media

0
6

දැන් ඔය ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් ෆෝන්ස් සහ වෙනත් ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් උපාංග පාවිච්චි කරන උදවියට Google Assistant කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. එයා තමයි ඇන්ඩ්‍රොයිඩ් ලෝකෙට ඉන්න ස්මාට් තත්‍යාසන්න සහකරු. ආයෙ කෘත්‍රිම බුද්ධියක් සහිත ඩිජිටල් සහකරු කිව්වත් ගැටළුවක් නෑ. සම්පූර්ණයෙන්ම පරිපූර්ණ කෘත්‍රිම බුද්ධියක් නොවුණට, ස්මාට්ෆෝන් එකේ ඉඳන් අපි කියන දේවල් වලට ඇහුම්කන් දීලා, අපේ එදිනෙදා වැඩ ටිප් ටොප් එකට කරගන්න සහාය ලබාදෙන, අපේ කටහඬ විධාන වලට අනුව වැඩ කරන ස්මාට් ඇසිස්ටන්ට් කෙනෙක් විදියට Google Assistant හඳුන්වන එක නිවැරදියි. හැබැයි දැන් කාලේ හැම ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් උපාංගයකම වගේ Google Assistant හිටියට, ගොඩක් අය එයාගෙන් ගන්න පුලුවන් වැඩ ගැන, එයාට කරන්න පුලුවන් වැඩ ගැන ඒ තරම් දන්නෙ නෑ. ඒ නිසා අපි එක පාරකුත් Google Assistant ට කරන්න පුලුවන් අරුම පුදුම වැඩ සෙට් එකක් ගැන කිව්වා. ඒ වගේම, කම්මැලි වෙලාවකට Google Assistant එක්ක සෙට් වෙලා ගන්න පුලුවන් ආතල් කීපයක් ගැනත් ලිව්වා. හැබැයි එතනින් ඉවර නෑ. විශේෂයෙන්ම ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය වගේම යාවත්කාලීන වෙන Google Assistant ට කරන්න පුලුවන් තවත් ඇඩ්වාන්ස් වැඩ තියෙනවා. කියවලා බලන්න, Google Assistant ට කරන්න පුලුවන් මේ කියන අරුම පුදුම වැඩ කිඩ ඔයාලටත් කොයි තරම් ප්‍රයෝජනවත් වෙයිද කියලා!

 

01. මේං මේ සිංදුව හොයල දෙන්ඩකෝ!

දැන් සමහර වෙලාවට අපිට කොහේදි හරි සිංදුවක් ඇහෙනවා, හැබැයි සිංදුව මොකක්ද කියලා දන්නෙ නෑ කියමු. විශේෂයෙන්ම ඔය වෙනත් බාසා වල සිංදු එහෙම රේඩියෝ එකේදී, මගතොටදී ඇහෙනකොට, සිංදුව හොයාගන්න පුදුම වුවමනාවක් එනවනේ. ඒකට ගොඩක් අය Shazam වගේ ඇප්ස් පාවිච්චි කරනවා. හැබැයි ගොඩක් අය නොදන්න දේ තමයි, ඊටත් වඩා ඇඩ්වාන්ස් විදියට Google Assistant ට සිංදු හොයල දෙන්න පුලුවන් කියලා. Google Assistant ඔන් කරලා What’s this song කියලා අහලා සිංදුව අහන් ඉන්න දුන්නා නං වැඩේ ගොඩ.

 

හැබැයි Google Assistant ගේ සිංදු හෙවිල්ලේ හැකියාව එතනින් ඉවර නෑ. අපි කියමු සිංදුවක මියුසික් එක නැතිනම් මෙලඩි එකක් අපේ ඔළුවේ කරකැවෙනවා, හැබැයි සිංදුව මොකක්ද කියලා මතක නෑ කියලා. Google Assistant ඔන් කරලා,  What’s this song කියලා අහලා, අපේ ඔළුවේ තියෙන විදියට සිංදුවේ තාලය මුමුණන්න (අර නා නා නා, ලා ලාලා කියලා සිංදුවක ටියුන් එකක් හම් කරන්නේ, අන්න ඒක) තියෙන්නේ. එතකොට ඒක තාලෙට කරගන්න පුලුවන් වුණොත්, Google Assistant ට ඒ තාලේ තියෙන සිංදුව හොයාගන්න ට්‍රයි එකක් දෙන්නත් පුලුවන්!

 

02. වෙබ් පේජ් එක හයියෙන් කියවන්ඩ බලන්න!

දැන් අපිට මොකක් හරි සම්බන්ධයෙන් දෙයක් හොයාගන්න ඕන කියමු. “වට් ඊස් ද ලේටස්ට් සිටුවේෂන් ඔෆ් රෂියා ඇන්ඩ් යුක්‍රේන් වෝ” කියලා උදාහරණෙකට ගමු. දැන් ඕක අපි ගූග්ල් ඇසිස්ටන්ට් ට කිව්වහම, එයා පට් පට් ගාලා ඔය ගැන තියෙන වෙබ් පිටු සෙට් එකක්, ගූගල් සර්ච් එන්ජිම උදව් කරගෙන හොයලා දෙනවා. ඔන්න අපි යනවා ඒ ගැන තියෙන පළවෙනි වෙබ් පිටුවට. හැබැයි දැන් අපි ඕක කියවන්නත් එපැයි. ඒකත් ඇසිස්ටන්ට් ට කියලම කරවගන්න බැරි වෙයිද? බැරි නෑ, පුලුවන්. ආයෙමත් ගූගල් ඇසිස්ටන්ට් ට කියන්න “රීඩ් ඉට්” හරි, “රීඩ් ද වෙබ්” හරි ඒ වගේ මොකක් හරි. අන්න එතකොට, ගූගල් ඇසිස්ටන්ට් වෙබ් සයිට් එකේ තියෙන ඔක්කොම කටහඬින් කියවන්න පටන් ගන්නවා. අපිට තියෙන්නේ අහගෙන ඉන්න විතරයි.

 

03. ළඟම තියෙන කඩේ හොයන්ඩ!

දැන් ඔය ගොඩක් රෙස්ටුරන්ට්, කොෆී ෂොප්ස් විතරක් නෙවෙයි, සුපිරි වෙළඳසැල්, ඒටීඑම්, විවිධාකාරයේ කඩවල් එහෙම වුණත් ගූග්ල් මැප්ස් වලට ඇතුළත් කරලනේ තියෙන්නේ. ආන්න ඒ නිසා, අපිට පුලුවන් බොහොම පහසුවෙන් අපිට අවශ්‍ය දෙයක් ගුග්ල් මැප්ස් ඔස්සේ හොයාගන්න. හැබැයි ඔය වැඩේ ගූග්ල් ඇසිස්ටන්ට් එක්ක තව පහසුවෙන් කරගන්න බැරිද? උදහරණයක් විදියට අපිට ඌරු මස් කෑම තියෙන කඩයක් හොයාගන්න ඕනැයි කියලා. අපි අහනවා “පෝර්ක් රෙස්ටුරන්ට්ස් නියර් මී” කියලා හරි නිකම්ම “පෝර්ක් රෙස්ටුරන්ට්ස්” කියලා හරි. අන්න එතකොට ගුග්ල් ඇසිස්ටන්ට් පට ගාලා අපිට පෝර්ක් කෑම තියෙනවා කියලා කියන රෙස්ටුරන්ට් සෙට් එකක් පෙන්නනවා. ඔව්වා විතරක් නෙවෙයි, වෙන වෙන ෂොප්ස් වුණත් ඔය විදියට අපිට හොයාගන්න පුලුවන්. උදාහරණයක් විදියට, අපිට අත්කම් බඩු අනං මනං තියෙන ෂොප් එකක් හොයාගන්න ඕන නම්, අපිට ගූග්ල් ඇසිස්ටන්ට් ට කියන්න තියෙන්නේ “හැන්ඩික්‍රාෆ්ට් ෂොප්ස් නියර් මී” කියලා විතරයි. අන්න එතකොට ගූග්ල් ඇසිස්ටන්ට් මැප් එකෙන් බලලා, අපිට ළඟම තියෙන අත්කම් බඩු තියෙන කඩ ලැයිස්තුවක් ලබාදෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here