මයික්‍රොසොෆ්ට් ඔෆිස් හොඳයි. ඒත් මිල එක්ක බැලුවාම මයික්‍රොසොෆ්ට් ඔෆිස් ඔරිජිනල් දාගන්න ටිකක් අමාරුයි. ඇරත් වර්ඩ් පැකේජ් එක ඉඳලා හිටලා ලියුමක් ගහගන්න, පොඩි ෂීට් එකක් හදාගන්න, ප්‍රසන්ටේශන් එකක් හදාගන්න පාවිච්චි කරන අය ඉන්නවා. එයාලට රුපියල් විසිදාහකටත් එහා ගාණක් දීලා ඔෆිස් දාගන්න එක එච්චරම වාසියක් නැහැ. ඉතින් මේ මයික්‍රොසොෆ්ට් ඔෆිස් වලට මිල අඩු විකල්ප තියෙනවා. ඒවා මොනවද කියලා අපි ටිකක් සොයා බලමු.
ක්‍රැක් කරපු කොපියක් දාගන්න පුළුවන් නේ?

Image Source – softseries.net/appdigg.com
අනුමත නොවූ, හොරෙන් වෙනස් කළ කොපියක් පාවිච්චි කිරීම වරදක්. දැනට වැඩිය හාවක් හූවක් නැතුව ඔය හොර කොපි සොෆ්ට්වෙයාර් කට්ටිය පාවිච්චි කරනවා. ඒත් කම්පැනි වල හෙම ඒම පාවිච්චි කළොත් සමහර වෙලාවට නීතිය හරස් වෙන්න පුළුවන්. පෞද්ගලිකව පාවිච්චි කළා වුනත් නීතියට අනුව මෘදුකාංගයක හොර කොපි පාවිච්චි කිරීම වැරැද්දක්. ඒ වගේම මෘදුකාංග වෙනස් කරන අය නිකම්ම ඒවා කරන්නේ නැහැ. ඇතැම් මේ විදියේ ක්‍රැක් කරපු සොෆ්ට්වෙයා එක්ක වෛරස් එන්නත් අවදානමක් තියෙනවා.
1. ගූගල් ඩොක්ස්


Image Source – innov8tiv.com
ෆේස්බුක් එකේ, ට්විටර් එකේ සහ වෙනත් සෝෂල් මීඩියා වලදි අපිට අකුරු ටයිප් කරලා පෝස්ට් දාන්න පුළුවන්. ඒ විදියට ඔන්ලයින් තියෙන ඔෆිස් පැක් එකක් තමයි ගූගල් ඩොක්ස් කියන්නේ. ගූගල් ඩොක්ස් වලින් වැඩ කරද්දි එක්කෙනෙක්ට විතරක් නෙමෙයි, කීප දෙනෙක්ට වුනත් ලෝකේ අන්තර්ජාලය තියෙන ඕනිම කෙලවරකින් ඩොක් එකට එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. ගූගල් ඩොක්ස් වලට අන්තර්ජාලයේ වේගය තියෙන එක වැදගත්. ස්ප්‍රෙඩ්ෂීට් හෙවත් එක්සෙල්, ලිපි ටයිප් කරන්න වර්ඩ්, පවර් පොයින්ට් සහ ෆෝම්ස් ආදී බේසික් ඇප්ලිකේශන් කීපයක්ම ගූගල් ඩොක්ස් වලදි නොමිලේම ලබා දෙනවා. සාමාන්‍ය වර්ඩ් වල තරම්ම ෆීචර්ස් සහ කැටයම් නැති වුනත් සාමාන්‍ය වැඩකට බ්‍රව්සරෙන්, ෆෝන් එකෙන්, ටැබ් එකෙන් වුනත් යූස් කරන්න පුළුවන් ගූගල් ඩොක්ස් බොහොම වටින ඇප්ලිකේෂන් එකක්.
2. LibreOffice


Image Source – itsfoss.com
ඕපන් ඔෆිස් කියලා තිබුන එක පස්සේ කාලෙක දෙකට කැඩෙනවා. ඒකෙ දැන් තියෙන වඩාත්ම දියුණු කොටස තමයි ලිබ්‍රෙ ඔෆිස් කියන්නේ. පෙනුමෙන් නම් ටිකක් පරණයි. ඔෆිස් පැකේජ් එකේ මීට වසර 10කට විතර කලින් තිබුන පරණ ලුක් එකක් තමයි ලිබ්‍රෙ වල ලාවට තියෙන්නේ. ඒත් වැඩක් කරගන්න තියෙන, නොමිලේ ලැබෙන වර්ඩ් ප්‍රොසෙසර් වලින් හොඳම එකක් විදියට ලිබ්‍රෙ හඳුන්වාදෙන්න පුළුවන්. ලිබ්‍රෙ නොමිලේම බාගන්න පුළුවන්. ඒත් මේ මෘදුකාංගය නිර්මාණය කරපු අයට සහයෝගයක් විදියට ඩොලර් කීපෙකින් හරි ආධාරයක් කරන්න පුළුවන් නම් වටිනවා.
3. Office 365


Image Source – blog.ericksonsolutions.com
මේක ලාබ නැහැ. යම් මිලක් ගෙවන්න ඕනි. ගණන් මිනුම් කිව්වොත් මේ ඔෆිස් පැක් එකට අවුරුද්දකට ඩොලර් 60ක මිලක් ගෙවන්න ඕනි වෙනවා. මේකත් ගූගල් ඩොක්ස් වගේම ඔන්ලයින් තියෙන ඇප්ලිකේශන් එකක්. ඒත් ගූගල් ඩොක්ස් වලට වඩා සාමාන්‍ය වර්ඩ් වගේ කළ හැකි වැඩ කිඩ ගොඩක් ඔෆිස් 365 එක්ක ලැබෙනවා. මේ ඔෆිස් පැක් එක පාවිච්චි කරද්දිත් හොඳ අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙන්නට ඕනා. දැන් කාලේ ඔෆිස් වල වැඩ එහෙම කිහිප දෙනෙක් තමයි කරන්නේ. ඒ කියන්නේ එකම එක්සෙල් ෂීට් එකට කිහිප දෙනෙක්ට කරුණු එකතු කරන්න පුළුවන් නම් එතනදි අපිට යම් තොරතුරු ටිකක් ඉක්මනින්, කාර්යක්ෂමව එකතු කරගන්න පුළුවන්. ඒ වගේ වටපිටාවකදි මේ ඔෆිස් 365 වගේ ඔන්ලයින් ප්‍රඩක්ට් එකක් හොඳට ගැලපෙනවා.
4. iWork
අපි කලින් ලිපියකින් නොමිලේ ගන්න පුළුවන් වීඩියෝ එඩිටින් මෘදුකාංග ගැන කතා කළා. එතනදි ඇපල් මැක් යූසර්ලාට අයි මුවි කියලා සිම්පල් ඒත් ස්ටේබල් වීඩියෝ එඩිටර් එකක් තියෙනවා කියලා කිව්වා. ඇපල් ඩිවයිස් හරි ගණන්. ඒත් තියෙන එක වාසියක් තමයි අයි ඕ එස් එක්ක මූලික වැඩ ටික කරගන්න මෘදුකාංග ටිකකුත් නොමිලේම එන එක. අයි වර්ක් ඒ වගේ වර්ඩ් ප්‍රොසෙසර් එකක්. ටූල්ස් අතින් එම් එස් ඔෆිස් තරම් ගොඩක් නැහැ. ඒත් සාමාන්‍ය වැඩක් අයි වර්ක් වලින් ගොඩදාගන්න පුළුවන්කම තියෙනවා. අයි ෆෝන්, අයි පෑඩ්, අයි මැක් වගේ ඇපල් ඩිවයිස් එකක් තියෙනවා නම් අයි වර්ක් වලින් වැඩ ගන්න නොමිලේම හැකියාව ලැබෙනවා.
5. WPS Office
ඩබ්ලිව් පී එස් ඔෆිස් මුලින්ම ආවේ ඇන්ඩ්‍රොයිඩ් වලට. ඒත් පස්සේ කාලේක, 2016දි විතර ඩබ් පී එස් ඔෆිස් වින්ඩෝස් වලටත් ආවා. ඩබ් පී එස් ඔෆිස් පරිගණකයට ඉන්ස්ටෝල් කරලා එම් එස් ඔෆිස් වගේම වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ඩබ් පී එස් ඔෆිස් පෙනුමෙන් වගේම තියෙන වැඩ කිඩ අතිනුත් බොහෝ දුරට එම් එස් ඔෆිස් වලට සමානයි. ඩබ් පී එස් ඔෆිස් වල ෆ්‍රී වර්ශන් එකක් වගේම මුදල් දී ගන්න වර්ශන් එකකුත් තියෙනවා.
6. FreeOffice
එම් එස් ඔෆිස් එක්ක ළඟින්ම යන ඔෆිස් පැක් එකක් තමයි ෆ්රී ඔෆිස් කියන්නේ. ෆ්රී ඔෆිස් ටච් ස්ක්‍රීන් වලටත් සහයෝගය දක්වනවා. ඒ වගේම එම් එස් ඔෆිස් වලින් හදාපු ඩොකියුමන්ට්, එක්සෙල් ෂීට්, ප්‍රසන්ටේශන් කිසිම අවුලක් නැතුව ගාණට නූලට ෆ්රී ඔෆිස් වලදි ඕපන් කරගන්නත් පුළුවන්කම ලැබෙනවා. මයික්‍රොසොෆ්ට් ඔෆිස් වලට කාලයක් තිස්සේ හුරු වෙච්චි අයෙක්ට තමුන්ගේ පරණ ඩොකියුමන්ට් ටික එක්ක වැඩ කරන්න ඒ පෙනුමම වගේ තියෙන ෆ්රී ඔෆිස් හොඳ විකල්පයක් වෙනවා.
එක එක ඔෆිස් පැක් එක්ක මාරුවෙද්දි වෙන අවුල්
ඔෆිස් පැකේජ් ගත්තාම ලිබ්‍රෙ ඔෆිස් සහ එම් එස් අතර තියෙන ලොකු අවුලක් තමයි ඒ දෙකෙන් හදන ඩොකියුමන්ට් අනිකට සපෝට් කරනවා අඩු වීම. ඒ කියන්නේ ලිබ්‍රෙ වලින් හදපු ෂීට්ස්, ඩොක්ස් වර්ඩ් වලින් ඕපන් වෙද්දි සමහර ෆීචර්ස් එන්නේ නැහැ. පෙනුමම අවුල් වෙනවා. ඒ වගේම මයික්‍රොසොෆ්ට් වලින් හදපු ඩොකියුමන්ට් ආදිය ලිබ්‍රෙ වලින් ඕපන් කළත් ඒ අවුලම සිද්දවෙන වෙලාවල් වැඩියි. ගූගල් ඩොක්ස් වල සහ ඔන්ලයින් ඔෆිස් පැක් වල ඔය අවුල නැහැ. ටීම් වැඩකදි, ඔෆිස් වැඩකදි ඒ වගේම ප්‍රොජෙක්ට් එකකදි වගේ ඔක්කොමල්ල එකම ඔෆිස් පැකේජ් එකක් පාවිච්චි කරන එක හැමෝටම වටිනවා. නැතිනම් එක එක ෆෝමැට් වල ඩොකියුමන්ට් එකතු කරගන්න ගියාම ලොකු කට්ටක් කන්න වෙනවා.
ඔෆිස් පැක් සහ වියදම
ඉගෙනගන්න අයෙක්ට නම් විසිදාහක් දීල ඔෆිස් දාගන්න එක තේරුමක් නැහැ. ඒත් වෘත්තියක් විදියට ඔෆිස් වලින් හරි හරියට වැඩ ගන්න ඔෆිස් එකක මැෂින් ටිකට නම් ඔෆිස් පැකේජ් එක දාල දෙන එක ලොකු පිරිවැයක් නෙමෙයි. ඒ වගේම ගූගල් ඩොක්ස්, ඔෆිස් 365 එක්ක කීප දෙනෙක්ට එකම ඩොකියුමන්ට් එක එකම වෙලාවේ හසුරුවන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේ වාසි අවාසි සහ අපිට ඕනි දේ සලකා බලලා අපිට ඕනි ඔෆිස් පැක් එක තෝරාගන්නට පුළුවන්. ජනප්‍රිය ඔෆිස් සූට් එකක් දෙකක් නෙමෙයි කීපයක්ම අන්තර්ජාලයේ තියෙනවා. එයින් අපිට අපේ වැඩේට ඕනි එක තෝරලා දාගන්න එක අපේ වැඩක්.
Saru News