UPI හරහා ගණුදෙනු කිරීමේ අවස්ථාව අද සිට ශ්‍රී ලංකාවේ – Biz | Saru News

0
6



මුදල් භාවිතයෙන් තොර ඩිජිටල් ආර්ථිකයන් ප්‍රවර්ධනය කිරීම උදෙසා නිර්මාණය කළ UPI හෙවත් ඉන්දීය ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය අද (12) සිට ශ්‍රී ලංකාවේ දියත් කිරීමට නියමිතයි.

ඒ අනුව UPI ඉන්දීය ගෙවීම් ක්‍රියාවලිය , මෙරට ලංකා QR ගෙවීම් පද්ධතිය හා සම්බන්ධ කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් වීඩීයෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වන උත්සවයකදී අද (12) පස්වරුවේ සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.

ඉන්දියාවේ ජාතික ගෙවීම් සංස්ථාව මගින් සංවර්ධනය කර ඇති UPI ගෙවීම් පද්ධතිය හරහා ස්මාර්ට් ජංගම දුරකථනය ඔස්සේ අන්තර් බැංකු හුවමාරු ඇතුළු ක්ෂණික ගෙවීම් සිදුකළ හැකියි.

ස්මාර්ට් ජංගම දුරකථනය ඩෙබිට් කාඩ්පතක් ලෙස ක්‍රියාකරන UPI ගෙවීම් ක්‍රියාවලිය මගින් මුදල් යැවීමට මෙන්ම මුදල් ලබාගැනීමටද හැකිවන අතර භෞතිකව මුදල් භාවිතයෙන් තොරව වෙළෙඳසැල්වලට පවා ගෙවීම් සිදුකළ හැකි වීම විශේෂත්වයකි.

UPI ගෙවීම් ක්‍රියාවලිය හරහා බැංකු ගිණුම් කිහිපයක් සම්බන්ධ කරගත හැකි අතර , එම ගිණුම් අංක හුවමාරු කරගැනීමකින් තොරව ගනුදෙනු සිදුකළ හැකියි.

ඩිජිටල් ගෙවීම් සිදුකිරීමේදී බදු මඟහැරිමේ දුර්වලතාවයද මෙහිදී ඉවත් වන අතර විවිධ බැංකු ගිණුම් ඔස්සේ පුද්ගලයෙකු වෙත ලැබෙන මුළු ආදායම සඳහා බදු අයකිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉඩ සැලසෙනු ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දියානුවන්ට UPI ගෙවීම් පද්ධතිය හරහා මුදල් භාවිතයෙන් තොරව ගෙවීම් සිදුකිරීමටත් මේ ඔස්සේ හැකියාව උදාවෙයි.

මෙම UPI ගෙවීම් පද්ධතිය දැනටමත් ඕමානය , එක්සත් අරාබි එමීර් රාජ්‍යය , නේපාලය සහ ප්‍රංශය යන රටවල ක්‍රියාත්මක වනු ඇත.



Saru News