ගම්මිරිස් රසට බිම්මල් හදමු.. – Saru News Media

0
46

බිම්මල් කියන්නේ පවුලේ ආර්ථිකය එක්කම පෝෂණය මනාව ගළපන අරපිරිමැස්මෙන් යුතු ගෘහණියන්ගේ හොඳ තෝරා ගැනීමක්නෙ.

වැඩි වියදමක් නැතුව බොහොම පහසුවෙන් මිලදී ගන්න වගේම වගා කරගන්න වුනත් පුළුවන් බිම්මල් විටමින් සහ ඛණිජ වර්ග ගණනාවකින් සංතෘප්ත ඉතාම රසවත් වගේම ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරන්න, රුධිරගත සීනි මට්ටම සහ රුධිර පීඩනය නියමිත ලෙස පවත්වා ගෙන යන්න ඉතාම හොඳ සහයෝගයක් ලබාදෙන ආහාරයක්. 

අද වෙද්දි වෙළඳපොලේ දකින්න ලැබෙන විවිධ වර්ග වල බිම්මල් අතරින් ඔබ කැමති ඕනෑම බිම්මල් වර්ගයක් යොදාගෙන පිළියෙල කරගන්න පුළුවන් රසම රස ගම්මිරිස් රසැති බිම්මල් ව්‍යාංජනයක් පිළියෙල කරගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි ඔන්න smart lady අපි අද සූදානම් වෙන්නෙ.

එහෙනම් මුලින්ම බලමු අපිට අවශ්‍ය වෙන්නෙ මොනවද කියල?

අවශ්‍ය ද්‍රව්‍ය

බිම්මල් පැකට් 01 ක් 

සිහින්ව ලියාගත් ලොකු ලූණු ගෙඩියක්

අඹරාගත් ඉඟුරු සුදුලූණු තේ හැඳි 01 ක් 

මිරිස් කුඩු තේ හැඳි 01 ක්

බැඳපු තුනපහ කුඩු තේ හැඳි 01 ක් 

කහ තේ හැඳි ¼ ක් 

රස අනුව ලුණු කුඩු

වේලිච්ච මිරිස් කරල් 02 ක් 

කරපිංචා ඉත්තක කොළ

සූදුරු තේ හැඳි ¼ ක් 

තරමක් කැබලි සිටින සේ කොටාගත් ගම්මිරිස් මේස හැඳි 01 ක් 02 ක් 

තෙල්

වතුර

සාදාගන්නා ආකාරය

මුලින්ම බිම්මල් හොඳින් සෝදා පිරිසිදු කරගෙන තරමක් විශාල කැබලි වලට කපාගන්න. 

ඊළඟට, තාච්චියක් ලිප තබා එයට තෙල් මේස හැඳි 02 ක් පමණ එක්කර ගන්න.

තෙල් රත්වූ විට එයට සූදුරු එකතු කර රන්වන් පාට වනතුරු තබා ඉන්පසු කපාගත් ලූණු, කරපිංචා සහ වියළි මිරිස් කරල් එකතු කර හොඳින් කලවම් කරගන්න. 

ලූණු රන්වන් පාටට හැරෙන තෙක් බැඳගෙන එයට අඹරාගත් ඉඟුරු සුදුලූණු, කහ කුඩු, බැඳපු තුනපහ කුඩු, මිරිස් කුඩු සහ රස අනුව ලුණු කුඩු එකතු කරගන්න.

සියල්ල හොඳින් කලවම් කර විනාඩි 02 ක් පමණ තබා එයට වතුර යෝගට් කෝප්පයක් පමණ එක්කර හොඳින් කලවම් කරගන්න. 

අඩු ගින්දරේ මෙසේ ටික වේලාවක් පිසගත් පසු තෙල් සහ ලූණු මිශ්‍රණය වෙන්වී ඇති අයුරු ඔබට දැකගන්න පුළුවන්. 

එවිට පිරිසිදු කරගෙන කපාගත් බිම්මල් ටික එයට එකතු කර හොඳින් කලවම් කර නැවත වතුර ස්වල්පයක් දමා කලවම් කරගන්න. 

පියන වසා විනාඩි 03 ක් 04 ක් පමණ තබා විවෘත කරගත් පසු බිම්මල් හොඳින් පිසී ඇතිබව ඔබට දැකගන්න ලැබේවි. 

දැන් එයට ගම්මිරිස් කැබලි සහ කරපිංචා කොළ කීපයක් එක්කර නැවත හොඳින් කලවම් කර ලිපෙන් ඉවත්කර ගන්න ඔබට පුළුවන්. 

බත්, පාන්, රොටී එහෙමත් නැත්නම් පරාට එක්ක වුනත් හරි හරියට රස විඳින්න පුළුවන් ගම්මිරිස් රස බිම්මල් ව්‍යාංජනය මේ විදිහට හදල බලමුද එහෙනම්?

මේ වගේම රසවත් කෑමක් අරන් අපි නැවත ඉක්මණින් ඔබව හමුවෙන්නම්.

රසට කන්න – සුවෙන් ඉන්න !

සටහන – දුලානි නවෝද්‍යා 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here