අපේ ලංකාවෙ දේශපාලනය දිහා බැලුවොත් එහෙම දකින්න ලැබෙන සුවිශේෂී තත්ත්වයක් තමයි ලංකාවේ හැම දේශපාලන පෙරළියක් පිටිපස්සෙම ජනතා මැදිහත්වීමකට වඩා දේශපාලන ගැටුමක් මුල් වෙලා තියෙනවා කියන එක. සමහර වෙලාවට එකම පක්ෂය තුළ හෝ සන්ධානයක් ඇතුළේ මේ ගැටුම් සිද්ධ වෙලා තියෙන්නේ. අපි මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ දේශපාලනය වෙනස් කරන්න බලපෑ දේශපාලන ගැටුම් කීපයක් පිළිබඳව.
1. රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස
මේ දේශපාලන ගැටුමේ ප්‍රතිඵල අපිට හරියටම බලාගන්න පුළුවන් ඊළඟ මහා මැතිවරණයෙන්. පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පරාජය වීමත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතුයි කියන උද්ඝෝෂණය දැඩිව පැන නැගුණා. අවසානයේදී එහි ප්‍රතිඵලයක් විදිහට සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් සමඟ සමගි ජාතික බලවේගය යටතේ නාම යෝජනා ලබා දෙද්දී රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂය යටතේ නාම යෝජනා ලබා දුන්නා. මේ දෙපාර්ශ්වය ම එකිනෙකාට දැඩිව චෝදනා එල්ල කර ගන්නවා. කොහොම වෙතත් බිම් මට්ටමේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් මේ මොන කණ්ඩායමට සහයෝගය දක්වයි ද කියන එක අපිට බලාගන්න වෙන්නේ ඊළඟ මහ මැතිවරණයෙන්.
2. මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වෙන්නේ තවත් අදහසක් හිතේ තියාගෙන. ඒ තමයි රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත් කරන්න. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරද්දී පවා ඔහු ප්‍රකාශ කරන්නේ දින්නත් මහින්ද රාජපක්ෂට අගමැතිකම දෙන්නේ නැහැ කියලා. ඉන් ඔහු වක්‍රාකාරයෙන් අදහස් කරන්නේ රනිල් වික්‍රමසිංහටම තමන් අගමැති ධුරය දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. නමුත් කෙමෙන් කෙමෙන් මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ අතර තිබ්බ වෙනස්කම් වර්ධනය වෙලා අවසානයේදී මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහුව අගමැති ධූරයෙන් පහ කරලා මහින්ද රාජපක්ෂව අගමැති ධූරයට පත්කරනවා. නමුත් පසුව පාර්ලිමේන්තුවේ බහුතරය හිමි නොවුණු පසුබිමක් තුළ නැවතත් ඔහුව අගමැති ධූරයට පත් කරන්න සිද්ධ වෙනවා. අවසානයේ දී මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ පූර්ණ සහයෝගය ලබාදෙන්නේ මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා වුණු ගෝඨාභය රාජපක්ෂටයි.
3. මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ
මේ දෙදෙනා අතර ගැටුමට මූලික ම හේතුව වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබිය යුතු අගමැති ධුරය ඔහුට නොලැබීමයි. ඒ වගේම තමන්ට අවශ්‍ය ආකාරයට පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ සංවර්ධන කටයුතු කිරීමට අවස්ථාව නොලැබීම නිසාත් මෛත්‍රීපාල සිරිසේන සිත් තැවුලට පත් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ජනාධිපති ධූර අපේක්ෂකයා විදිහට මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ලබමින් තරග වදිනවා. එතුමා ලබන්නේ නොසිතූ විරූ ජයග්‍රහණයක්. මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහුගේ සමීපතමයන් කිසිම කෙනෙක් මේ ජයග්‍රහණය අපේක්ෂා කරන්නේ නැහැ.
4. චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ මහින්ද රාජපක්ෂ
චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ මහින්ද රාජපක්ෂ අතර තිබුණ ගැටුම දශක කීපයක් පුරා දිව යනවා. චන්ද්‍රිකා සහ ඇගේ සැමියා වන විජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී මහජන පක්ෂය පිහිටවන අවස්ථාවේ දී පටන් ඇයට සහ එම පක්ෂයට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහි නායිකාව වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ආරක්ෂා කර ගැනීමට මහින්ද රාජපක්ෂ ක්‍රියා කළා. මේ නිසා වතාවක් මහින්ද රාජපක්ෂ දකුණු පළාත් සභාවේ මහ ඇමතිවරයා බවට පත් කර ජාතික දේශපාලනයෙන් ඉවත් කිරීමට උත්සාහ කළ බවටත් චන්ද්‍රිකාට චෝදනාවක් එල්ල වුණා. අගමැතිධුරය වගේම ජනාධිපති අපේක්ෂක ධුරයත් ලබා ගැනීම මහින්ද රාජපක්ෂටත් පහසු වුණේ නැහැ. නමුත් ජයග්‍රහණය කිරීමෙන් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායකට විවිධ මදිපුංචිකම් රාජපක්ෂ පවුලෙන් සිදු කළ බවට චෝදනා එල්ල වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට මහින්ද රාජපක්ෂගේ ප්‍රබල ප්‍රතිවාදියෙක් බවට ඇය පත්වුණා. මහින්ද රාජපක්ෂව පරාජය කිරීමට මෛත්‍රීපාල සිරිසේනව යොදා ගැනීම පිටුපස සිටියේද ඇයයි.
5. විමල් වීරවංශ සහ ජනතා විමුක්ති පෙරමුණ
එතෙක් මෙතෙක් ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය තුළ ජනතා විමුක්ති පෙරමුණට සිදුවූ වැඩිම බලපෑම සිදු වුණේ විමල් වීරවංශ ඇතුළු පිරිසකගේ කැඩී යාම නිසා. මේ හරහා ජනතා විමුක්ති පෙරමුණ වෙත එතෙක් ආකර්ෂණය වෙමින් තිබූ ජාතික බලවේග එම පක්ෂය අතහැර ගියා. එහිම ප්‍රතිඵලයක් විදිහට මෙතෙක් තම ආසන ගණන වැඩි කරගනිමින් සිටි ජනතා විමුක්ති පෙරමුණට ආසන පහක උපරිමයකට සීමා වන්නට සිදු වුණා. පසුව විමල් වීරවංශ හෙළි කර තිබූ පරිදි ඔහුව ජනතා විමුක්ති පෙරමුණෙන් නෙරපා හැරීමට සියළු කටයුතු සූදානම් කර තිබූ පසුබිමක ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වීම හැර ඔහුට වෙනත් විකල්පයක් තිබී නැහැ.
6. එක්සත් ජනතා නිදහස් සන්ධානය බිඳ වැටීම
අද දක්වාම එක්සත් ජනතා නිදහස් සන්ධානය ලියාපදිංචි දේශපාලන පක්ෂයක් විදිහට තිබුණත් එම සන්ධානයේ ප්‍රධාන දේශපාලන හවුල්කරුවන් වූයේ ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඔවුන් එම සන්ධානය පිහිටුවා ගනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම සඳහායි. එයින් වැඩිම වාසිය ලැබුණේ ජනතා විමුක්ති පෙරමුණට වන අතර සෑම දිස්ත්‍රික්කයකින්ම අවම වශයෙන් මන්ත්‍රීවරුන් තුන් දෙනෙකු පාර්ලිමේන්තුව වෙත යැවීමට ඔවුන් සමත් වුණා. කෙසේ වෙතත් ආරම්භයේ පටන් ම එම පක්ෂ දෙක අතර විවිධ විරෝධතා ඇති වුණා. එම විරෝධතාවය උපරිම අවස්ථාව සනිටුහන් වුණේ ජනතා විමුක්ති පෙරමුණේ විරෝධය නොතකමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය සුනාමි සහන මණ්ඩල යෝජනාව පාර්ලිමේන්තුව ඉදිරියේ තැබීමෙනුයි. ඒ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ ඊට විරෝධය පළ කරමින් විපක්ෂයේ වාඩි වුණා.
7. පොදුජන එක්සත් පෙරමුණු රජය බිඳ වැටීම
පොදුජන එක්සත් පෙරමුණ රජය බිඳවැටීමට ප්‍රධානම හේතුව වූයේ අභ්‍යන්තරික දේශපාලන ගැටුමක්. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය සහ එම රජයේ ප්‍රබල අමාත්‍යවරුන් වන එස්. බී දිසානායක, මහින්ද විජේසේකර සහ ජී.ඇල් පීරිස් යන අමාත්‍යවරුන් අතර ඇතිවුණු ගැටුමක ප්‍රතිඵලයක් විදිහට එම අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එකතු වුණා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් එතෙක් ජනතා විමුක්ති පෙරමුණේ සහය යටතේ පවත්වාගෙන ගිය පරිවාස ආණ්ඩුව පවත්වාගෙන යෑමට ජනාධිපතිනියට අසීරු තත්ත්වයක් ඇති වුණා. ඉන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇය තීරණය කළා. මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණ පරාජයට පත්වී එක්සත් ජාතික පක්ෂය රටේ බලය ලබා ගත්තා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස පළ කරන්නත් අමතක කරන්න එපා.
Saru News