Google search engine
Home ගොසිප් පුවත් අනධ්‍යයන වර්ජනයෙන් සරසවි ඇණ හිටී

අනධ්‍යයන වර්ජනයෙන් සරසවි ඇණ හිටී

0
15

university-stops-due-to-strike

රට පුරා සියලුම විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයන් සහ විධායක ශ්‍රේණියේ නිලධාරීන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් සතියක පමණ කාලයක් තිස්සේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු ඇනහිට ඇතැයි වාර්තා වේ.අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම ඔවුන්ට හිමි විය යුතු වැටුප් වර්ධනය ලබා ගැනීම සහ විශ්වවිද්‍යාලවල සේවය කරන විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ නිදහස් වාහන බලපත්‍ර ලබාදීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල්කර ගනිමින් එම දෙපාර්ශ්වය අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතව සිටී.අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සහ විභාග කටයුතු කරගෙන යෑමේ මහත් ගැටලු රැසක් ඉස්මතු වී ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි.

මේ නිසා දේශන පැවැත්වීමේ කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සලසා ගැනීමට නොහැකි වී ඇතැයි ද ඇතැම් විභාග කටයුතු කල් දැමීමට සිදුව ඇතැයි ද එම ආචාර්ය සමිති සම්මේලය සඳහන් කරයි. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ආචාර්ය අතුල සිරි සමර කෝන් මහතාගෙන් මේ අඛණ්ඩ වැඩ පිළිබඳව ලංකාදීපය කළ විමසුමක දී ඔහු පැවසුවේ විශ්වවිද්‍යාල රැසක ආචාර්යවරුන් මාර්ග ගත ක්‍රමය ඔස්සේ සිසුන්ට දේශන පැවැත්වීමට උත්සුක වන බවය. එහෙත් සිසුන් භෞතිකව සම්බන්ධ වී දේශන පැවැත්වීම තරම් එය සාර්ථක නොවන අවස්ථා තිබෙන බව ද ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා පැවසුවේය. විශ්වවිද්‍යාලවල පරිපාලන කටයුතු සිදු කිරීම, දේශන ශාලා විවෘත කිරීම, දේශන ශාලා සහ විශ්ව විද්‍යාල පරිශ්‍ර පිරිසුදු කිරීම ඇතුළු කාර්ය භාරයන් රැසක් මේ වන විට ඇනහිට ඇතැයි ද ඔහු සඳහන් කළේය.

විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයන්ගේ සහ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ වැටුප් ඇතුළු අනෙකුත් ගැටලුවලට කඩිනම් විසඳුම් දිය යුතු යැයි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අදහස් කරන බව ද ආචාර්ය අතුලසිරි සමර කෝන් මහතා පැවැසුවේය.මෙම වැඩ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල විභාග කටයුතු පවා සැලසුම් කිරීමට නොහැකි වී ඇතැයි ද තවදුරටත් එය දිග්ගැස්සෙන්නේ නම් විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කාල සීමාව දීර්ඝ විය හැකි බව ද ආචාර්ය අතුල සමරකෝන් මහතා සඳහන් කළේය.

රංජන් කස්තුරි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here