අමාරුවෙ නොවැටී හොඳ ඉඩමක් ගන්න නම් මේ කරුණු ගැන දැනුවත් වෙලා ඉන්න – Saru News Media

0
6

තමන්ගෙම කියල ගෙයක් දොරක් හදාගන්න, එහෙමත් නැත්නම් මොකක් හරි ආයෝජනයක් අරඹන්න කියලා අපි ඉඩමක් මිලදී ගන්න අවස්ථා තියනවා. අපි ඉඩමක් ගන්නේ ඉහත කාරණා දෙකෙන් මොන කාරණාව වෙනුවෙන් වුණත් අපි ඉඩම මිලදී ගනිද්දී හරිහැටි සොයා නොබැලුවොත් අපි රැවටීමට ලක්වෙලා කරදරේ වැටෙන්නත් ඉඩ තියනවා. අන්න ඒ නිසා අපි හිතුවා ඉඩමක් මිලදීගන්න කලින් ඔබ සොයා බැලිය යුතු දේවල් කීපයක් ගැන ඔබට කියන්න.

 

සමහර වෙලාවට අපිට අපි හිතනවටත් වඩා වාසි මුදලකට හොඳයි කියලා හිතෙන ඉඩමක් හම්බවෙන්න පුළුවන්. නමුත් ඒ වගේ වෙලාවට හදිස්සි නොවී සොයා බැලිය යුතු ප්‍රධානම කාරණයක් තමයි ඉඩම පිහිටා ඇති පරිසරයේ තත්ත්වය. ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන, ඔබට විවේකයෙන් සහ ගෞරවයෙන් ජීවත්විය හැකි පරිසරයක් ඉඩම අව​ට තියනවාද? අධික ශබ්දය පිට කරන යන්ත්‍ර, ශබ්ද විකාශන යන්ත්‍ර ආදිය භාවිතා කළ හැකි ව්‍යාපාර සහ ආගමික ස්ථා​න ආදි​ය අවට පිහිටලා තියෙනවාද කියලා සොයා බලන එක වැදගත්.

 

නවසීලන්තයේ තණ පිටි වගේ වෙළඳ දැන්වීම්වල පෙන්නුවට සමහර ඉඩම්වලට ගිහින් බැලුවමයි නියම තත්ත්වෙ තේරෙන්නේ. ඒ වගේම තවත් සමහර ඉඩම් බැලූ බැල්මට කදිමට තියනවා. හැබැයි ඒවායේ අවුල් තේරෙන්න හොඳ වැස්සක් එන්න ඕනෙ. පොඩි වැස්සටත් යටවෙන ඉඩම්වලට, ගොඩ කරපු ඉඩම්වලට අහුවෙලා සල්ලි නාස්ති කරගන්න වුණු උදවිය ඔයාලටත් ඕන තරම් හමුවෙලා ඇති. අන්න ඒ නිසා ඉඩම ගනිද්දී ඒ ව​ගේ කාරණා ගැනත් හොයලා බලන්න මතක තියාගන්න.

 

බොහොම වෙලාවට කෙනෙක් ඉඩමක් විකුණන්නේ තමනුත් යම් ලාභයක් තියාගෙනනේ. ඒ නිසා බො​හෝ වෙලාවට ඉඩමේ වටිනාකමට වඩා මිලක් ඉඩම වෙනුවෙන් නියම කරල තියන එක සාමාන්‍යයයි. නමුත් මිලදී ගන්නෙක් හැටියට අපි අවාසි සහගත මිලකට ඉඩම මිලට ගන්න නරකයි. ඒ නිසා ඉඩමේ ස්වභාවය සහ අදාළ ප්‍රදේශයට අනුකූලව ඉඩමට හිමිවිය යුතු සාධාරණ වටිනාකම් මොකක්ද කියන එක ගැන හොඳ තීරණයකට එන්න ඕන. අවට ඉඩම්වල වටිනාකම, ඒ අවට දේපළ වෙන්දේසි සමාගම්වල ඉඩම් විකිණෙන මිල වගේ දේවල් හොයලා බලන්න වගේම ඒ සම්බන්ධයෙන් දැනුමක් තියන තක්සේරුකරුවෙක්ගේ සේවය ලබාගන්නත් ඔබට පුළුවන්.

 

ඊළඟට අවධානය යොමු කරන්න ඕනෙ ප්‍රධාන කාරණයක් තමයි ඉඩමේ සැලසුම, එහෙම නැත්නම් ප්ලෑන් එක කියන්නේ. ඉඩම ගැන තමන් උනන්දුයි නම් ඔබට පුළුවන් ඒ ඉඩමේ සැලසුමේ පිටපතක් විකුණන පාරශ්වයෙන් ඉල්ලගන්න. එහෙම ඉල්ලගෙන, ඉඩමේ සැලසුම ප්‍රාදේශීය සභාවේ සම්මත වූ එකක්ද කියලා ඔබ සොයා බැලිය යුතුයි. ඒ වගේ​ම සැලසුමේ සටහන් වෙලා තියන ආකාරයටද ඉඩම පිහිටලා තියෙන්නේ සහ සැලසුමේ සඳහන් වන පර්චස් හෝ අක්කර ප්‍රමාණය ඉඩම තුළ නිවැරදිව පවතිනවා​ද කියන එකත් මිනින්දෝරු මහතෙක් මාර්ගයෙන් මැන බලා තීරණය කරගත යුතුයි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here