අලුතින්ම පාරට බහින 150-200cc සීමාවේ හැඩකාර බයික් – Saru News Media

0
13

“අජානේය ස්කූටර තුරඟා පිට වඩිනා

කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතනා”

යැයි කරුණාරත්න දිවුල්ගනේ මහතා ගායනා කරන මියුරු ගීයකි. එහෙත් තරුණයෙකු ස්කූටරයක නැංග කළ එහි එතරම් පිරිමි කමක් නොපෙනේ. කුඩා තරුණයෙකු වුවද සුවිශාල මෝටර් සයිකලයක නැගී පිඹගෙන එනවිට පාරේ පදික වේදිකාවේ සිටින යුවතියෝද ඒ දෙස හැරී බලති.

20 වන සියවසේ ලංකාවේ ගැමි තරුණයින් අති බහුතරයකගේ සිහිනයක් වූයේ පාපැදියක් මිලට ගැනීමය. ඉන් පසු හැකියාව තිබේනම් අමාරුවෙන් කාලයක් මුදල් ඉතිරි කොට ගෙන ජපානයෙන් එන එම්ඩී 90ක් (තැපැල් නයින්ටියක්), හොන්ඩා බෙන්ලියක් මිලදී ගැනීම එකල ගම්බද තරුණයින්ගේ බලාපොරොත්තුව විය. එහෙත් කාලය වෙනස් විය. ඉන්දියාවෙන් පැමිණි බයික් අපේ මාර්ග වසා ගන්නට විය. දැන් ඉන්දියාවෙන් එන, ඉන්ධන ටැංකිය විසල් කාන්තා උකුලක් මෙන් පුළුල් වූ 150 සී සී කාණ්ඩයේ බයික් එකක් මිලදී ගැනීම සාමාන්‍ය මට්ටමේ රැකියාවක් කරන තරුණයකුගේ මූලික අවශ්‍යතාවයක් වේ.

 

අමුතුම මාදිලියේ රුවකින් දිස්වෙන සුසුකි ඉන්ටෲඩර්, සුසුකි බයික් ලොවට පැමිණි අලුත්ම හැඩකාරයාය. දුර ධාවනයට වඩාත් පහසුකම් සහිතව තැනූ සුසුකි ඉන්ටෲඩර් 154ක සිලින්ඩර ධාරිතාවක් ඇති එන්ජිමකින් සමන්විත වේ. එන්ජිමේ සහ පද්ධතිවල ඇති පහසුකම් අතින් සුසුකි ඉන්ටෲඩර් සුසුකි සමාගමේම වඩාත් ප්‍රකට ගික්සර් මාදිලිය හා සමාන වේ. මෙම බයික් එක ඉන්ධන ලීටරයකට කිලෝමීටර 44ක් හොඳ තත්ත්වයන් යටතේ ධාවනය කළ හැකිය.

 

හොන්ඩා හොනට් යනු ජපානයේ පවා ප්‍රකට වූ මාදිලියකි. ඉන්දියාවේ නිපදවන මේ 160R ඉන්දියානු බයික් ලෝලීන්ගේ අවශ්‍යතාවයන්ට වඩාත් ගැලපෙන ලෙස නිපදවා තිබේ. විශාල ඉන්ධන ටැංකිය, විශේෂිත ඉදිරිපස ලයිට්ස් හොන්ඩා160R වල පෙනුම ඉහළ නංවන්නට සමත් වී තිබේ. ඩිස්ක් බ්‍රේක් සහ සාම්ප්‍රදායික ඩ්‍රම් බ්රේක් වල සංකළනයකින් හොන්ඩා හොනට් ඉන්දියානු මාදිලිය සමන්විත වේ.

 

150 කාණ්ඩයේ ලාංකික වෙළඳපොළ තුළ ආකර්ශනීයම මාදිලිය ලෙස යමහා එෆ් සෙඩ් දැක්විය හැකිය. එහි ඇති ඉන්ධන පිරිමැසුම් තාක්ෂණය අනුව ලීටරයකින් කිලෝමීටර 45ක් සම්මත තත්ත්ව යටතේදී ධාවනය කළ හැකි ලෙස සඳහන් වේ. වේග 5 ගියර් පද්ධතියකින් හෙබි යමහා එෆ් සෙඩ්ට ලීටර 12ක ඉන්ධන ටැංකියක් ද ඇතුළත්ය. යමහා වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට නව එෆ් සෙඩ් අලුත්ම මාදිලියේදී බයික් රථයේ බර අඩු කොට අඩුම කාලයකින් උපරිම වේගයක් ගත හැකි ආකාරයට නිපදවා තිබේ.

 

150 ධාරිතා මාදිලි සැලකූ විට වඩාත්ම අඩු මිලකට මිලදී ගත හැකි ප්‍රකට මාදිලිය වන්නේ බජාජ් පල්සර් වේ. පල්සර් මාදිලි ලංකාවේද මාර්ග වල හරි හරියට ජනප්‍රිය වී තිබේ. තෙල් සුවඳින් පවා කිලෝමීටරයක් දෙකක් දිවිය හැකි බවට ප්‍රසිද්ධ බජාජ් සමාගමේ වෙනත් බයික් මාදිලි සේම පල්සර් ද ලීටරයකට කිලෝමීටර 65ක් සම්මත තත්ත්වයන් යටතේ ධාවනය කළ හැකිය. නවතම බජාජ් පල්සර් මාදිලියේදී සස්පෙන්ෂන් පද්ධති වඩාත් නවීකරණය වී ඇති අතර ඒ තුළින් බයික් රථයේ යන අයට වඩාත් සුවපහසු අත්දැකීමක් ලැබෙන බව සඳහන් වේ.

 

සාමාන්‍ය මැද මට්ටමේ ඉන්දියානු බයික් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවල මුල්ම ස්ථානයක් ලබාගැනීමට සුසුකි ගික්සර් සමත් වී තිබේ. ගික්සර් හි පෙනුම වඩාත් ස්ථායී ස්වරූපයක් ගනී. පැයට කිලෝමීටර 115ක සාමාන්‍ය උපරිම වේගයකින් ගමන් කළ හැකි ගික්සර් තෙල් ලීටරයකට කිලෝමීටර 47ක් සම්මත තත්ත්ව යටතේ ධාවනයට සමත් වේ. ටැංකියේ ඇති ඉන්ධන ප්‍රමාණය, ගියර් තත්ත්වය ආදී දත්ත රැසක් දක්වන ගික්සර් හි ඩිජිටල් ඩිස්ප්ලේ එක එහි ඇති සුවිශේෂී පහසුකමකි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here