Google search engine
Home ගොසිප් පුවත් එන අවුරුදු එකහමාරේම බැංකු පොලී වැඩිවීමක් නෑ – මහ බැංකු අධිපති

එන අවුරුදු එකහමාරේම බැංකු පොලී වැඩිවීමක් නෑ – මහ බැංකු අධිපති

0
15

nandalal-weerasinghe-speaks

මහබැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවන බවත්, මහ බැංකුව, නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් බවත්, මහ බැංකු අධිපති, ආචාරිය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකුවේ පෙරේදා (7) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ලාබ පාඩු ලැබිය හැකි බවත්, වැදගත් වන්නේ ලාබ ලැබුවා ද පාඩු ලැබුවා ද යන්න නොව, ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකි වූවා ද යන්න බවත්, මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය. මහ බැංකුව පාඩු ලැබූ වර්ෂ මෙන්ම ලාබ ලැබූ වර්ෂ ද තිබූ බවත්, පසුගිය වසරේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී දිනකදී රුපියල් බිලියන 600ක පමණ පාඩුවක් මහ බැංකුවට සිදු වූ නමුත් ඉන් ජනතාවට යහපතක් වූ බවත්, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

මහ බැංකුව පාඩු ලබන අසාර්ථක ආයතනයක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධව අදහස් දක්වමින් ඔහු ඉහත අදහස් පළ කළේය. මේ වන විට රජය සහ බැංකු ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති හේතුවෙන් රටේ යම් කිසි ආකාරයක ආර්ථික ස්ථාවරත්වයක් ඇති වී තිබෙන බවත්, කෙටි කාලීනව ළඟා කරගත් එම ස්ථාවරත්වය දීර්ඝ කාලීනව පවත්වාගෙන යා යුතු බවත්, මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.

කුමන රජයක් පැමිණිය ද මෙම ප්‍රතිපත්ති ඉදිරියට රැගෙන යා යුතු බවත්, එසේ නොවුවහොත් නැවත ආර්ථිකය කඩා වැටීමේ අවදානමක් මතු වනු ඇති බවත්, මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතය තීරණය වන්නේ ඉල්ලුම හා සැපැයුම මෙන්ම විදේශ විනිමය ආදායම සහ වියදම මත බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දුන් ණය මුදලේ තුන් වැනි වාරිකය ලැබීම නොලැබීම එයට බල නොපාන බවත්, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය.

මෙරට උද්ධමනය සියයට 5ක මට්ටමේ ඉදිරි අවුරුදු 1.5ක කාලය තුළදී පවතිනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කර තිබෙන බවත්, උද්ධමනය වැඩි නොවුණහොත් ප්‍රතිපත්ති පොලී අනුපාතය වැඩි කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බවත්, ඔහු ප්‍රකාශ කළේය. පුරෝකථනය කළ මට්ටමට වඩා උද්ධමනය අඩු වුවහොත් ප්‍රතිපත්ති පොලී අනුපාතය ද අඩු වනු ඇති බවත්, උද්ධමනය වැඩි වුවහොත් ප්‍රතිපත්ති පොලී අනුපාතය ද වැඩි වනු ඇති බවත්, මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය. පාලනය කිරීමට අවශ්‍ය වුවහොත් නිල සංචිත වුව ද භාවිතයට ගත හැකි බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9 ක් වූ විදේශීය ණය,

ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව සියයට 4.2 දක්වා පහත වැටෙනු ඇති බවත්, එවිට රජයට පහසුවෙන් ණය ගෙවාගෙන යා හැකි බවත්, මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය. එවිට ශ්‍රී ලංකාවට ණය තිරසරභාවය පිළිබඳ සහතිකය ලැබෙනු ඇතැයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ කරන්සි නීත්‍යනුකූල මුදල් ඒකකයක් නොවන බවත්, මුදල් විශුද්ධිකරණය   සඳහා  ක්‍රිප්ටෝ කරන්සි බහුලව භාවිත කරන බවත්, ඔහු පැවැසුවේය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති පී. ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළේ, තැන්පතු නොගෙන අන්තර්ජාලය තුළ ණය ලබා දෙන සමාගම් නියාමනය කිරීමට මහ බැංකුවට නොහැකි බවයි. ණය ගෙවීමට නොහැකි පුද්ගලයන් ලබා ගැනීමෙන් වැළකී සිටිය යුතු බවත්, ගෙවීමට නොහැකිව ණය ලබා ගත් විට ණය ග්‍රහණයට හසු වන බවත් ඇය පැවැසුවාය.නීති විරෝධීව තැන්පතු ලබා ගන්නා ආයතන 15ක් පිළිබඳ මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවත්, තැන්පතු ලබා ගත් බවට ප්‍රමාණවත් සාක්ෂි ලැබුණු වහාම එම සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ඇය ප්‍රකාශ කළාය.

විමුක්ති එස්. රුද්‍රිගු

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here