කටුක පරිසරයේ කාගෙන ඉන්න සත්තු 9ක් – Most survival animals in the world – Saru News Media

0
15

තද ශීතල ඇති ඇන්ටාක්ටිකා ආක්ටික් ප්‍රදේශ වල, වසර ගණනකින් වැහි බිංදු නොවැටෙන මහා කාන්තාර වල, අධිකතර ගැඹුරු මුහුදේ දැඩි පීඩන තත්ව වල, අහස සිඹින ගිරි ශිඛරයන්හි මීටර දහස් ගණන් උස් මුදුන් වල මිනිසාට ජීවත් වන්නට අපහසුය. මිනිසාට ජීවත් වන්නට අවශ්‍ය කරන අවම මට්ටමේ පසුබිම් පරිසරයක් තිබේ. එහෙත් ඒ කටුක පරිසරයන්ට ම හුරුවූ අපූර්ව සත්ව කොට්ඨාශයන් සිටී.  එවැනි අමාරු තත්ව වල කාගෙන ඉන්න සතුන් 8ක් සහ ඔවුන්ගේ විශේෂතා කිහිපයක් අපි සොයා දැනගනිමු.

කාන්තාරයේ නැව ලෙස හඳුන්වන ඔටුවාගේ මොල්ලියේ විශාල ජලය ප්‍රමාණයක් ඇතැයි අපි සාමාන්‍යයෙන් සිතා සිටිනවා. එහෙත් සැබැවින්ම ඔටු මොල්ලියේ ඇත්තේ ජලය නෙමෙයි. ඔටුවා එම මොල්ලිය සහ ඒ ආසන්නව මේද තැන්පතු තබාගෙන සිටිනවා. එම මේද මගින් ආහාර සහ ජලය හිඟ කාලවලදී ඔටුවා දිවිය සරිකරගන්නවා.

අංශක 32ක් තරමට උෂ්ණත්වය ඇති දිනක අපිට එළියට පහලියට බහින්නට සිදුවීම අප මනුෂ්‍ය  සිරුරට හිරිහැරයක්. ඔටුවා කාන්තාරයේදී  සෙල්සියස් අංශක 49ක් තරම් ඉහල උෂ්ණත්ව පරිසරයේදී පවා ජීවත්වන්නට සමත්. ඔටුවාගේ අසාමාන්‍ය ලෙස ඕවලාකාර වූ රුධිර සෛල  ඔවුනට ජලය අඩුවෙන් ජීවත් වීමට තවත් පිටුවහලක් වේ. ජලය හිඟපාඩුව සිටින නිසාදෝ හෝ වැඩුණු ඔටුවෙකුට මිනිත්තු තුනකදී ලීටර 200ක වතුර ප්‍රමාණයක් එකවර පානය කරන්නට හැකියි. මෙසේ කාන්තාර පරිසරයටම මැවූ සත්ත්වයෙකු වැනිවූ ඔටුවා කාන්තාර ආසන්නයේ වාසය කරන මිනිසුන්ට ප්‍රයෝජන රැසක් ඇති සත්ත්වයෙකි.

 

ලංකාවේ වුවද ඕනාම නගරයක රාත්‍රී කාලයේ ඇවිදයන විට මාර්ගය අයිනෙන් එහෙ මෙහෙ දුවන මීයන් දුලබ දසුනක් නම්  නොවෙයි. අපිරිසිදු කුණු ගොඩවල් වල, වැසිකිලි වල මෙන්ම සුපිරි මන්දිර වල කුස්සි ආසන්නයේද මීයාට දිවි ගෙවීමට හැකියි. පරමාණුක බෝම්බ පතිත වී මිනිසුන් දේපල විනාශ ගිය බිම්වල පවා මීයන්ට  කිසිදු කරදරයකින් තොරව දිවි ගෙවිය හැකිය. මන්ද එවැනි විකිරණශිලි වටපිටාවකදීද මීයන්ට සිදුවන බලපෑම අඩුයි.

අපිරිසිදු හෝ පිරිසිදු ජල තලාවල පීනා යෑම, කෙලින්ම ඇති බිත්ති දිගේ බඩගාගෙන යෑම, ඕනෑම අස්සක මුල්ලක කුඩා ඉඩකින් වුව රිංගා යෑමට හැකි වීම, තද ලීයකින් වසා ඇති දෙයක් වුව දතින් සිදුරුකර ගත හැකි වීම ආදී කටුක ජීවිතයකට අවශ්‍ය ටූල්ස් රැසක් මීයාට සහජයෙන්ම උරුම වේ.

මීයාට මෙසේ සහජයෙන්ම උරුම වූ දිවි රැකීමේ දේහ සැකැස්මක් මෙන්ම කල්පනාකාරීව උපද්‍රවවලින් ගැලවීමට අවශ්‍ය බුද්ධියක්ද දායාද වී තිබේ. මිනිසා මීයන් ඇල්වීමට අටවන උගුල් කොතරම් තිබුණත් ටික කලකින් යළිත් මී උවදුර පැමිණෙන්නේ කෙසේ හෝ උපාය ඥානය මතින් පැන ගොස් ඉතිරි වන මීයන් නිසාම විය හැකිය.

 

දිගැටි බෙල්ලෙන් ඔටුවා මෙන් ඈතට දිස් වුවද ඔටුවාට වඩා ප්‍රමාණයෙන් කුඩා මොල්ලියෙක් නොමැති ලාමා නැමැති සතෙක් මීටර 5000කටත් වඩා උස බිම් වල වාසය කරති. මෙම ලාමා සතුන් හිමාලයේ ටිබෙට් සීමාවේ මෙන්ම දකුණු ඇමරිකාවේ උස් බිම්වලද වාසය කරති. එතරම් උස පරිසර තත්වයකදී වාතයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය අඩුය. ඒ අඩු ඔක්සිජන් වටපිටාවට අනුකූලව ජිවත් විය හැකි ලෙස ලාමාවන්ගේ රුධිර සංයුතිය සකස් වී තිබේ. මිනිසාට තිබෙන රතු රුධිරාණු ප්‍රමාණය මෙන් සිව් ගුණයක රතු රුධිරාණු ලාමාවෙකුගේ රුධිරයේ අඩංගු වේ.

දිගැති කුර සහ සිරුරේ ඇති හැඩය මගින් ගල් කුළු සහිත කදුකර පළාතේද කඳු නැග ආහාර සොයා යෑමට ලාමාට හැකිය. එම කදුකර ශීතලට ඔරොත්තු දෙන පරිදි තද කෝට් එකක් මෙන් ඝන සමක්ද ලාමාට හිමිය. කාන්තාර වාසිනට ඔටුවා පිහිට වන්නේ යම්සේද හිමාල ටිබෙට් සීමාවෙහි සහ දකුණු ඇමරිකාවේ ඇතැම් කඳුකර සීමාවන් හිදී ලාමාවෝ මිනිසාට වැදගත් සතෙකි.

 

බෝල බෝල මැටි ගෙනැවිත් දියකර.. ඒ පවසන්නේ නම් ගොම කුරුමිණියා නොව උළුවස්සේ පොඩි ගෙවල් තනන කුඹලා ගැනය. ගොම කුරුමිණියා අමාරුවෙන් රෝල් කරගෙන ගුලි කරගෙන ගොම හෝ අශූචි ගුලි පෙරලාගෙන යන්නේ මහා විශාල ගලක් පෙරලන මිනිසුන් දෙතුන් දෙනෙකු මෙනි.

සිව්පා සතුන් වසන පළාතක් වෙයි නම් එහි අනිවාර්යෙන්ම අශූචි තිබෙන තැනක් තිබේ. එම අශූචි මතින් බෝල තනාගෙන ගෙනයන ගොමි කුරුමිණියෝ ඇතැම් විටක එම කුරුමිණි සතාගේ බර මෙන් දහස් ගුණයක් තම් විශාලතර බරක් එහෙ මෙහෙ රැගෙන යන බැව් සොයාගෙන ඇත.

 

කැරපොත්තෙකු දෙස බලාසිටීම එතරම් ප්‍රිය දසුනක් නොවුනත් කැරපොත්තන්ට බිය යුවතියක හදිසියේම කැරපොත්තකු දුටුවිට දක්වන ප්‍රතිචාර නම් බලා සිටීමට වටින දසුනකි. කෘමි ලෝකය ගත් කල කැරපොත්තා ගලේ ගසා හෝ මරන්නට අමාරු තදබල ජීවියෙකි. යම් ලෙසකින් න්‍යෂ්ඨික යුද්ධයකින් පෘථිවි කොටසක මනුෂ්‍ය වාසය ශුන්‍ය වුවද කැරපොත්තෝ නම් කිසිදු කලබලයක් නැතිව දිවි ගෙවනු ඇත.  කැරපොත්තා මිනිසාට වාසය කළ නොහැකි විකිරණශීලි වටපිටාවන්ට ද හොදින් ඔරොත්තු දේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here