කඩාවැටුණු ආර්ථිකයට යළි පණ දුන්නේ එජාපයයි | Saru News Media

0
9

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම සාර්ථක කර ගනිමින් රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුව සමඟ ගිවිසුමකට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා.

සාම්ප්‍රදායික දේශපාලනයේ කටයුතු කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන විරුද්ධ වී එය කඩාකප්පල් නොකරන ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා 2022 වසරේ රට පැවති තත්ත්වයට නැවත ඇද වැටීමට ඉඩ නොතැබිය යුතු බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ මාළිගාවත්ත පොලීසිය ඉදිරිපිට ඊයේ (01) පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අමතමිනි.

‘යළි නොවැටෙන අභිමානවත් රටක් සැම කලට’ යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම මැයි දින රැළියට එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සංවිධානවල සාමාජිකයන් ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පාක්ෂිකයන් අති විශාල පිරිසක් එක්ව සිටියහ.

ඇතැමුන් සිතුවා එක්සත් ජාතික පක්ෂය අවසන් කියලා. පක්ෂය වළදමන්න ඕන කිව්වා. නමුත් වැළලෙන්න ගිය රටේ ආර්ථිකයට නව පණක් ලබාදීමට අපට සිදු වුණා. 1956 වසරේදී කිව්වා එක්සත් ජාතික පක්ෂයේ මිනි පෙට්ටියේ අන්තිම ඇණේ ගැහුවා කියලා. නමුත් එක්සත් ජාතික පක්ෂය නැවත ශක්තිමත් වුණා. 1970 වසරේ කිව්වා එක්සත් ජාතික පක්ෂය මෙතනින් අවසන් කියලා. නමුත් ඉන්පසුව අපි වසර 17ක් ආණ්ඩුව ගෙන ගියා. අද එක්සත් ජාතික පක්ෂය අවසන් බව පැවසූවත් එක්සත් ජාතික පක්ෂය රට ගොඩගැනීමට ඉදිරියට පැමිණියා. ඩී.එස්. සේනානායක අගමැතිතුමා හොදම නැකත හෙව්වා එක්සත් ජාතික පක්ෂය හදන්න. එම රැස්වීම උදේ වරුවේ පැවැත්වුයේ නැහැ සන්ධ්‍යාවේ පැවැත්වුවා. ඒ වගේම හොඳ නැකතක් ගත්තා ලංකාවට නිදහස ලබා දෙන්න. හොදම නැකත තිබෙන්නේ රටට සහ එක්සත් ජාතික පක්ෂයටයි කියලා මතක තබා ගන්න. ඒ නිසයි වැටුණු රට ඔසවා තැබීමට අපට හැකි වුණේ.

මම අද දැක්කා සෑම පක්ෂයකින්ම කටවුට් ප්‍රදර්ශනය කර තිබෙනවා. මෙයින් පෙනෙන්නේ රටේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයයි. අද කොළඹ නගරය වටේම මැයි දින පෙළපාළි පැවැත්වෙනවා. කැම්බල් පිටියේ පොදුජන පෙරමුණ, චැතැම් වීදියේ සමගි ජන බලවේගය, තලවකැලේ දිගම්බරන්, කොටගල ලංකා කම්කරු කොංග්‍රසය, යාපනයේ ජනතා විමුක්ති පෙරමුණ මේ සියලුදෙනා අද මැයි දින රැළි පවත්වනවා. මෙයයි ප්‍රජාතන්ත්‍රවාදය. ඇතැම් අය කියනවා මම ඒකාධිපතියෙක් කියලා. නමුත් අද මහ පාරේ රැස්වීම් පැවැත්විය හැකියි. ඕනෑම අයෙකුට මාව විවේචනය කරන්න පුළුවන්. මේ වාතාවරණය මීට වසර දෙකකට පෙර මේ රටේ තිබුණේ නැහැ.

එදා විපක්ෂ නායකතුමාට පහර දී ගෝල් ෆේස් පිටියෙන් පන්නා දැමුවා. නමුත් අද එතුමාට තම මැයි දින රැළිය චැතැම් වීදියේ පැවැත්වීමට අප ඉඩ ලබා දී තිබෙනවා. මෙය තමයි ප්‍රජාතන්ත්‍රවාදය. මම අග්‍රාමාත්‍ය ධූරයට සහ ජනාධිපති ධූරයට පත් වුණේ මේ රටේ දේශපාලන ක්‍රමය කඩා වැටුණ නිසයි. සාමාන්‍යයෙන් සෑම රටකම අගමැතිවරයා ඉවත් වූ විට විපක්ෂනායකවරයා ඒ සඳහා පත් වෙනවා. නමුත් අපේ රටේ විපක්ෂනායකවරයා විතරක් නෙවෙයි අනෙක් හැම පක්ෂයක්ම පැනලා ගියා. පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබුණ පොදු ජන පෙරමුණ ප්‍රකාශ කළා තමන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පිළිගන්නා ඕනෑම අයෙකුට සහාය ලබා දෙනවා කියලා. පළමුවෙන්ම ඇහුවේ විපක්ෂනායකතුමාගෙන්. නමුත් ඔහු සොයා ගන්නවත් හිටියේ නැහැ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වුණෙත් නැහැ.

අවසානයේ තනි මන්ත්‍රීවරයෙක් සිටින පක්ෂයක නායකයා වූ මට රට භාර ගැනීමට සිදු වුණා. කිසිදවසක එක්සත් ජාතික පක්ෂය අභියෝගවලින් පැනලා ගියේ නැහැ. ඇතැම් අය කිව්වා මේක භාර ගන්න එපා කියලා. නමුත් අප සියලුදෙනා එකතුවෙලා ඉදිරියට ගියා. එදා ජනාධිපතිවරයා ඉවත්වූ පසුව පාර්ලිමේන්තුවත් අල්ලගන්න ආවා. එවිට පාර්ලිමේන්තුවේ සිටි සියලුදෙනා පැනලා ගියා. හමුදාපතිවරයා මගෙන් ඇහුවා මොකක්ද කරන්නේ කියලා. මම ඇහුවා පක්ෂ නායක රැස්වීමට මොකද වුණේ කියලා. සර් ඔක්කොම ගියා කියලා කිව්වා. මම කිව්වා එහෙනම් ඔයා ගිහින් පාර්ලිමේන්තුව ආරක්ෂා කරගන්න ඒක ඔයාගේ වගකීම කියලා. එදා පැනලා ගිය අය අද කොහොමද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථා කරන්නේ. ඔය කණ්ඩායම සිටියා නම් අද රට තිබෙන තත්ත්වය හිතන්න පුළුවන්ද.

අද සෑම තැනකම මැයි දින රැළි පැවැත්වෙනවා. බස්වලින් සෙනඟ එනවා. මීට වසර දෙකකට පෙර බස් ධාවනය කිරීමට ඉන්ධන තිබුණේ නැහැ. දැන් බස් අරගෙන ඕන තැනකට එනවා. තවමත් රට පුරා සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව පැවැත්වෙනවා. අපි කොච්චර හොදට අවුරුදු සැමරුවද, දැන් මැයි දිනය සමරනවා. තවත් සති තුනකින් වෙසක් සැමරුමට සැරසෙනවා. එවිට නැවත කොළඹ ජනතාවගෙන් පිරී යනවා.
ඉන් පසුව නුවර පෙරහර නැරඹීමට යනවා. ඒ වගේම නල්ලූර් පෙරහර නැරඹීමට සහ දෙවිනුවර පෙරහර නැරඹීමට යනවා. මේ පසුබිම නිර්මාණය වුණේ අපි නිර්භීතව මේ ආණ්ඩුව ඉදිරියට ගෙන ආ නිසයි. මේ සඳහා අපට උපකාර කළ සියලු පක්ෂවලට මම ස්තූත්වන්ත වෙනවා. පොහොට්ටුවෙන් කොටසක් පැමිණියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොටසක් පැමිණියා. ඩග්ලස් දේවානන්ද මහතා පැමිණියා. ලංකා කම්කරු කොංග්‍රසය පැමිණියා. මෙලෙස කණ්ඩයම් ගණනාවක් අපත් සමඟ එකතු වුණා. පක්ෂ ලේබලයක් නැහැ කොටස් වශයෙන් තිබුණා. පොහොට්ටුවෙන් කොටසක් අපත් සමඟ එක්වන විට තවත් කොටසක් සට්ටම්බිරාළ සමග සමගි ජන බලවේගයට ගියා.

අපි මෙම තත්ත්වයට පැමිණ තිබෙන්නේ ඉතා අසීරුවෙන්. එදා කිසිවෙක් සිතුවේ නැහැ මේ තීරණ සාර්ථක වෙයි කියලා. ඒ වගේම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට එරෙහිව දැඩි තීරණ ගැනීමට සිදු වුණා. අසීරුවෙන් වුවත් එම තීරණ ගනු ලැබුවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී අපට දැනුම් දුන්නා අලුතින් මුදල් මුද්‍රණය කළ නොහැකි බව. ඒ වගේම රාජ්‍ය බැංකුවලින් ණය ගත නොහැකි බවත් රජය විසින් අදායම් උපයා ගත යුතු බවත් ඔවුන් දැනුම් දී සිටියා. රුපියල ශක්තිමත් කිරීම සඳහා අපට බදු වැඩි කිරීමට සිදු වුණා. අසීරුවෙන් වුවත් අපි එම තීරණය ගත්තා. එම තීරණ ගන්නා විට ජනතා විමුක්ති පෙරමුණ, සමගි ජන බලවේගය මොනතරම් දේවල් කිව්වද? නමුත් අද රටේ තිබෙන තත්ත්වය කුමක්ද? අද රුපියල ශක්තිමත් වෙලා තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල 280ට පමණ පත්වෙමින් තිබෙනවා. රුපියල ශක්තිමත්වීම සමඟ ජනතාවගේ අතේ තිබෙන මුදල්වල වටිනාකම වැඩි වෙනවා.

මේ වන විට විවිධ රටවලින් අපේ රටට සංචාරකයන් පැමිණෙමින් සිටිනවා. ඒ වගේම පසුගිය යල මහ කන්න වලදී අපට හොද අස්වැන්නක් ලැබුණා. ඒ වගේම කර්මාන්ත නැවත නැගී එමින් තිබෙනවා. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ආරක්ෂා කිරීමට පාරටේ නීතිය වසරකට නතර කිරීමට මා පියවර ගත්තා. ඒ වගේම එම කර්මාන්තවල ආරක්ෂාව සඳහා වෙනම අංශයක් ආරම්භ කිරීමට ද නියමිතයි. එසේනම් අද අප සිටින තත්ත්වයට පැමිණියේ ඉතා අසීරුවෙන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුමෙන් එය ආරක්ෂා කර තිබෙනවා. එසේනම් අප මෙම තත්ත්වය ආරක්ෂා කරගෙන ඉදිරියට යනවද, නැත්නම් 2022 වසරේ තිබු තත්ත්වයට නැවත රට පත් කරනවද යන්න තීන්දු කළ යුතුයි. මම සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අනෙක් පක්ෂවලට කියනවා මේ වැඩපිළිවෙළට විරුද්ධව කටයුතු කරන්න එපා කියලා. ඒ වගේම මෙය කඩාකප්පල් කරන්න එපා කියලා. ජනතාව ගැන සිතා මේ තත්ත්වය ආරක්ෂා කිරීමට ආණ්ඩුව සමඟ ගිවිසුමකට පැමිණෙන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.

අප සියලුදෙනා රට ගැන සිතා කටයුතු කළ යුතුයි. 2003 දී මම ටෝකියෝ සම්මේලනයට ගිහින් ඩොලර් බිලියන 03ක් ලංකාවට ගෙනාවා. ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා ඩොලර් බිලියනයක් ලබා දුන්නා. ඒ ආකාරයට ඩොලර් බිලියන 04ක් ලැබුණා. නමුත් 2004 දී මේ සියල්ල වෙනස් වුණා. ඒ නිසා ඔවුන් ආපසු යන්න ගියා. එම ඩොලර් බිලියන 04 අපට තිබුණා නම් අද එය ඩොලර් බිලියන 10ක් තරම් වටිනවා. 2018 – 2019 වන විට අපට ප්‍රාථමික අය වැයේ අතිරික්තයක් තිබුණා. ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියා නම් මෙම ප්‍රශ්නය මතු වන්නේ නැහැ. දැන් නැවත මෙම වැඩපිළිවෙළ වෙනස් කළහොත් යළි අවධානමක් ඇති වෙනවා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන කොන්දේසි සහ රටේ සීග්‍ර සංවර්ධනයට අවශ්‍ය කොන්දේසි ඇතුළත් කළ නීතියක් මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ සඳහා සහයෝගය ලබාදෙන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. කරුණාකර ඊට එකඟ වන ලෙස මම සමගි ජන බලවේගයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටිනවා.

රටේ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරභාවය ආරක්ෂා කිරීම පමණක් නොවෙයි, අපි අපනයනය පදනම් කරගත් ආර්ථිකයක් බවට ද පත්විය යුතුයි. මේ රටේ ප්‍රශ්න තවම විසඳී නැහැ. මේ රටේ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් තවමත් අසීරුවෙන් ජීවත්වෙනවා. අනිත් ජනතාවටත් ගැටලු තිබෙනවා. වසර 03කින් තරුණ තරුණියන්ට රැකියා ලැබී නැහැ. ඒ වගේම 2019 පාස්කු ප්‍රහාරයෙන් පසුව රටේ ආර්ථිකය තරමක් කඩා වැටුණා. අපි මේ තරුණ තරුණියන්ට අනාගතයක් ගොඩනඟා දිය යුතුයි. මෙය පැරණි ආර්ථිකයෙන් කරන්න බැහැ. මේ සඳහා ආර්ථිකය විවෘත කර නව ආයෝජන ගෙන ආ යුතුයි. පසුගිය වසර දෙක තුනේදී සමාගම්වල ලාභ අඩු වුණා. මේ රටේ තරුණ තරුණියන්ට රැකියා ලබාදීම වෙනුවෙන් අපට ඩොලර් බිලියන 04ක්, 05ක් නැවත ලබා ගැනීමට සිදු වෙනවා. අපි ඔවුන්ගේ අනාගතය ආරක්ෂා කර දිය යුතුයි. දිළිදුකම නැති කිරීමට නම් ගමේ ආර්ථිකය නවීකරණය කළයුතුයි. අපි එම වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. අපි ජනතාවට ලබාදිය හැකි සහන ලබාදී තිබෙනවා. අස්වැසුම ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කර තිබෙනවා. එහි ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 24ක් බවට පත් කර තිබෙනවා. රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කර තිබෙනවා. ඒ සමගම පුද්ගලික අංශයේ වැටුප් වැඩිවීම් සිදු වී තිබෙනවා. ඒ වගේම වතුකරයේ වැටුප් ද වැඩිකර තිබෙනවා.

ඒ වගේම මීට වඩා ශක්තිමත් අපනයනය ආර්ථිකයක් රට තුළ ඇති කර තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් ලබා දෙන සැලැස්මක් මම ඉදිරිපත් කරනවා. ඒ නිසා සාම්ප්‍රදායික දේශපාලනයේ නොසිට අපත් සමඟ එකතුවන ලෙස මම ජනතා විමුක්ති පෙරමුණෙන් සහ සමගි ජන බලවේගයෙන් ඉල්ලා සිටිනවා.. තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් ගොඩනඟා දී මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මම මුළු රටේම සහයෝගය ඉල්ලා සිටිනවා. රටේ තිබෙන ආර්ථික ස්ථාවරභාවය ආරක්ෂා කර ගනිමින් නව ආර්ථික පරිවර්තනයක් සිදු කර රට ඉදිරියට ගෙන යාමට ඔබ සියලුදෙනාගේ සහයෝගය ඉල්ලා සිටිනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here