කන්‍යා සොයුරියකගේ නාමයෙන් මීනිමැරූ දාම ඝාතක ස්ත්‍රිය .. – Saru News Media

0
32

බුදුරජාණන් වහන්සේ, ජේසුස් වහන්සේ, මුහම්මද් තුමා සහ ශිව දෙවියන් යන මේ සියළුම ආගමික ශාස්තුවරයන් වහන්සේලා ලොව කොතැනින් කොයි විදිහට බිහිවුනත් ඔවුන්ගේ දේශනා තුළ ආදරය, අවිහිංසාව, කරුණාව සහ මෛත්‍රිය කැටිව තිබෙනවා.

සිය ජීවිතයේ බොහෝ දේ කැපකරමින් ඔවුන් ලඟා කරගත් ඒ සුන්දර ධර්මයන් ශතක ගණනාවක් පුරා මෙලොව මිනිසුන්ගේ දුක් සෝ සුසුම් සංකාවන් නිවමින් මිනිසුන්ට පමණක් නොව සතා සිව්පාවන්ට පවා අදටත් සැනසුම ගෙනෙමින් ලොව පුරා පැතිර ගොස් තිබෙනවා. 

නමුත්, මේ සියළු දේශනා වලට පටහැනිව ඒ ඒ ශාස්තුවරයන් වහන්සේලා දෙසු වටිනා දහම් කරුණු විකෘති කරමින් ආගම් වල නාමයෙන් මිනිසුන් මුලා කරන, සතුට සැනසීම මෙන්ම මිල මුදල් අහිමි කර මිනිසුන් විනාශයෙන් විනාශයට පත් කරන විවිධ මිත්‍යා විශ්වාස මේ ඕනෑම ආගමික විශ්වාසයන් නාමයෙන් ගොඩ නැඟෙන බව අපි කවුරුත් දන්නා සත්‍යයක්. 

අද අපි ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වන්නෙත් එවැනිම කතාවක්.

උතුම් කන්‍යා සොයුරියක ලෙස තමාව හඳුන්වාගනිමින් සිය බලය, සතුට සහ සැපත වෙනුවෙන්  අතිශය කෲර ලෙස මිනිසුන් ඝාතනය කර ඔවුන් සතු සියළු වස්තූන් බලහත්කාරයෙන් තමා සතු කරගත් මිනිමරු දාම ඝාතක ස්ත්‍රියකගේ කතාව මෙලෙස ඔබ හමුවට අපි අද ගෙන එන්නේ ධර්මයේ නාමයෙන් ඔබ හමුවට එන බැටළු සම් පොරවාගත් වෘකයන් විශ්වාස කිරීමට පෙර ඔබ එක්වරක් නොව සිය දහස් වතාවක් කල්පනා කල යුතු බව ඔබට මතක් කරමිනුයි. 

මේරියම් සොලකියුටස්

1883 වර්ෂයේදී ග්‍රීසියේ එක් දිළිඳු පවුලක උපත ලැබූ මේරියම්ට කුඩා කළ සිටම සිය පවුලේ අනෙක් සාමාජිකයන් මෙන්ම ධනවතුන්ගේ කර්මාන්තශාලා සහ ගොවිපලවල් වල කම්කරුවෙක් ලෙස සේවය කරන්න සිදුවුණා. 

එසේ නොමැති නම් එදිනෙදා ජීවත් වීමට අවශ්‍ය ආහාර වේලක් සපයා ගැනීම පවා අපහසු තත්වයකයි ඔවුන් ජීවත් වුනේ. 

මේ විදිහට ඉතාම දුක්ඛිත තත්වයෙන් දිවි ගෙව්වත් නව යොවුන් වියේ පසුවූ මේරියම්ට කුඩා කල සිටම දිනක සතුට, බලය සහ සැප සම්පත් පිරුණු ජීවිතයක් ගත කිරීමේ දැඩි උවමනාවක් තිබූ බවටයි සඳහන් වෙන්නෙ. 

උදෑසන ආහාර වේල පවා නොමැතිව කර්මාන්තශාලා වල සේවය සඳහා පිටත්ව ගොස් දෛනික වැටුපට සේවය කරන ජීවිතයෙන් හෙම්බත්ව සිටි ඇය ඉතා ඉක්මණින් ඒ ජීවිතයෙන් ඉවත් වීමේ මඟක් සොයමිනුයි සිටියේ. 

දුක නිවන මඟ

සිය සුඛෝපබෝගී ජීවිතය වෙනුවෙන් සිහින දකිමින් සිටි මේරියම්ට ඒ සඳහා ගැළපෙනම සහ පහසුම මාර්ගය හමුවුනේ ඇයට වසර අවුරුදු 23 වෙද්දියි. 

ඒ ඇයට මැතිව් කාර්පේතාකස් පියතුමා මුණගැසීමත් සමඟයි. 

සාමාන්‍ය කතෝලික පල්ලියේ ඉගැන්වීම් වලින් වෙනස්ව සහ ඒවාට පටහැනිව ජේසුස් වහන්සේ පැවසූවා යැයි කියමින් අලුත් ධර්මයක් දේශනා කරමින් සිට මැතිව් කාර්පේතාකස් පියතුමා තම අදහස් පිළිඟන්නා අනුගාමිකයන් සහ පූජ්‍ය පක්ෂය සමඟ කතෝලික පල්ලියෙන් ඉවත් වී අලුත් ආගමික විශ්වාසයක් සහ අලුත් පල්ලියක් නිර්මාණය කරා.

මැතිව් කාර්පේතාකස් පියතුමාගේ ආශිර්වාදයෙන් කන්‍යා සොයුරියක් ලෙස ඔහුට එක්වුනු පිරිස අතරට ගිය මේරියම් ටික කාලයකින්ම මැතිව් කාර්පේතාකස්ගේ සිත දිනා ගැනීමට සමත් වුණා.

“කන්‍යාවන්ගේ කන්‍යාරාමය” ලෙස ඔවුන් හැඳින්වූ අලුතින්ම නිර්මාණය කර කන්‍යාරාමයක පාලනය ඇයට භාර දෙන්නත් මැතිව් කාර්පේතාකස් පියතුමා කටයුතු කලේ ඒ විශ්වාසය නිසාමයි. 

සුව කිරීමේ මධ්‍යස්ථානය

ඒ වෙද්දි ග්‍රීසියේ ඉතාම මාරන්තික ස්වසන රෝගයක් පැතිර යමින් තිබූ අතර ඒ සඳහා සාර්ථක ප්‍රතිකාරයක් සොයා ගැනීමට වෛද්‍යවරුන් සමත් වෙලා තිබ්බෙ නෑ.

ප්‍රතිකාර වාර කීපයකට පසුවත් ඒ රෝගියා සුවපත් නොවුනොත් අන්‍යන්ගේ යහපත පතා එම රෝගියාට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට එරට පාලකයන් තීරණය කර තිබුණේ නිරෝගී මිනිසුන්ගේ ආරක්ෂාව සහ රෝගය වළක්වා ගැනීම සඳහා එකම පිළියම එය බවට පත්වීමත් සමඟයි. 

කඳු ගැටයක් උඩ මිනිසුන් නිතර ගැවසෙන පරිසරයෙන් බැහැරව සාදා තිබූ මේරියම්ගේ කන්‍යාවන්ගේ කන්‍යාරාමය ආරම්භයේ සිටම ලෙඩ සුව කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස හඳුන්වනු ලැබුවා.

කෙසේ වෙතත් බටහිර වෛද්‍ය ක්‍රම වලින් සුවකල නොහැකි මේ මාරන්තික රෝගය ඔවුන් සුවකරන බවට කන්‍යාරාමය විසින් නිකුත් කල නිවේදනයන් නිසා වැළ නොකැඩී රෝගීන් මේ කන්‍යාරාමය වෙත ඇඳී එන්න පටන් අරන් තිබුණා. 

එක්වරම ලැබුණු නිධානය

පිටතින් මේ සියල්ල දෙස සූක්ෂමව බලා සිටින පිරිසට යම් යම් සැක සංකා මතුකරමින් මේරියම්ගේ කන්‍යාරාමය සතු ඉඩම්, ධනය සහ පහසුකම් එක්වරම කැපීපෙනෙන ලෙස ඉහළ යමින් තිබුණා. 

ඒ පිළිබඳව කල විමසීම් වලට ඉක්මන් ප්‍රතිචාර දැක්වූ මේරියම් ප්‍රකාශ කරේ සිය ප්‍රතිකාර සාර්ථක වීම නිසා සතුටු වූ ධානපතියන් ඔවුන්ගේ සතුට සහ ස්තූතිය ප්‍රකාශ කිරීම උදෙසා කන්‍යාරාමයට යම් යම් පරිත්‍යාගයන් කර ඇති බවයි. 

පිටතින් හෝ ඇතුළතින් කිසියම් හෝ වරදක කුඩා පමණකවත් සාක්ෂියක් හමු නොවූ නිසා මේ සැක සංකා දිනකින් හෝ දෙකකින් පසු නැවත කතාබහට ලක්වූයේවත් නැහැ.

පාලනය සියතට

සිය ආධ්‍යාත්මික ගමන් මාර්ගයේ විශ්වාසයන් මත ඉදිරියට යමින් සිටි මැතිව් කාර්පේතාකස් පියතුමා සිය දේශනා පවත්වමින් විවිධ රටවල් වල සහ විවිධ ප්‍රදේශ වල නිතරම සංචාරයන්ගේ නිරත වුණා. 

ඒ වගේම දින 45 ක කාලයක් ආහාර ගැනීමෙන් වැළකීමේ දැඩි ප්‍රතිපත්ති වලත් නිරත වුණා. මේ සියල්ලම අවසානයේ දැඩි ලෙස රෝගාතුර සහ දුර්වල වූ මැතිව් කාර්පේතාකස් පියතුමා කන්‍යාරාමයේ පමණක් නොව සිය පල්ලියේ කටයුතු සියල්ලම මේරියම්ට භාර දෙන්න කටයුතු කලේ ඇය ගැන තිබූ දැඩි විශ්වාසය නිසාමයි. 

ඉන් අනතුරුව මේරියම් කිරමේසා මව්තුමිය ලෙස උසස් වීමක් ලද ඇය ඉතා ඉහළ පන්තියේ කන්‍යාතුමියන් පමණක් සැරසුනු කළු ලෝගුවකින් සහ නළල ආවරණය කර සේද ආවරණයක් පළඳින්නත් කටයුතු කලේ සිය බලය සහ හැකියාව අන්‍යන්‍ට පෙන්වමිනුයි. 

පුපුරා ගිය සත්‍යය

මෙලෙස ටිකෙන් ටික මේරියම්ගේ සමාජ ආධිපත්‍ය සහ බලය ටිකෙන් ටික අසීමිත ලෙස වැඩිවෙමින් තිබූ 1951 වර්ෂයේ එක් දිනයක සියල්ල උඩු යටිකුරු කරමින් ඉතා කුරිරු වද බන්ධයනට ලක්වූ තුවාල සහිතව මරියා නම් කන්‍යාතුමියක් ග්‍රීසියේ කුඩා රෝහලකට ඇතුළත් කර තිබුණා. 

ඇය රෝහලට ඇතුළත් කර තිබුණේ කවුරුන් විසින්ද, කෙසේද යන්න රහසක් වුනත් ඉතා කුරිරු පහර දීම් හේතුවෙන් ඇගේ මොළය, හෘදය, පෙණහලු, අක්මාව වගේ ශරීරයේ ඉතා වැදගත් ඉන්ද්‍රයන් වලට දැඩි හානි ඇතිවී තිබුණා. 

ඇයව බේරා ගැනීමේ වෛද්‍යවරුන්ගේ දැඩි උත්සහය ව්‍යාර්ථ කරමින් මරියා කන්‍යාතුමිය මෙලොව හැර ගියත් ඇය මිය යාමට පෙර එතෙක් ලොවට වසන් වී තිබූ කන්‍යාවියන්ගේ කන්‍යාරාමයේ භයානක සහ ඇඟ කිළිපොලා යන සත්‍ය නිරාවරණය කරන්න සහ ඒ ගැන සාක්ෂි ලබාදෙන්න ඇය කටයුතු කරල තිබුණා. 

ඒ අනුව සිය සැප සම්පත් ලබා ගැනීම සඳහා අසරණ මිනිසුන් ඝාතනය කල එදා මෙදා තුර ලෝක ඉතිහාසයේ අතිශය දරුණු දාම ඝාතක ස්ත්‍රීන් අතර ඉහළින්ම සඳහන් වෙන මේරියම් සොලකියුටස් ගේ කතාව ලොව හමුවේ නිරාවරණය වුණා. 

කෲර ඝාතන ස්ත්‍රිය

පැතිර යමින් තිබූ මාරන්තික ස්වසන රෝගය සිය බලය සහ ධනය රැස් කිරීමේ පහසුම මාර්ගය ලෙස සිතූ මේරියම් සිය අනුගාමිකයන් යොදවා එම රෝගය වැලඳී තිබූ ධනවත් පවුල් වල සාමාජිකයන් පිළිබඳ තොරතුරු රැස් කරගෙන තිබුණා.

සිය විශ්වාසයන් වල ශක්තියෙන් එම රෝගය සුව කිරීමට හැකියාව තමන්ට ඇති බව එම පවුල් වල සාමාජිකයන් හමුවූ ඇගේ නියෝජිතයන් හෝ ඇය විසින් ඔවුන්ට දැඩිව ඒත්තු ගැන්වූ අතර ඒ සඳහා කන්‍යාරාමයට පැමිණීම අවශ්‍ය බවත් සඳහන් කරා.

සිය ජීවිතය පිළිබඳ සියළු බලාපොරොත්තු අතහැර ඉතාම අසරණභාවයට පත්වී සිය මරණය වෙනුවෙන් සූදානමින් සිටි ධනපති පවුල් වල සාමාජිකයන් තමන්ට ලැබුනේ මේ වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට මේරියම්ගේ කන්‍යාරාමයට පැමිණියත් ඔවුන්ට මුහුණ දෙන්න සිදුවුනේ ඔවුන් බලාපොරොත්තු වූ සුවදායී තත්වයට නම් නොවෙයි. 

එක් එක් අය වෙනුවෙන් වෙන්වූ සිර මැඳිරි ආකාරයට තැනූ කුඩා කුටි වල ගැටගසා ඔවුන්ව සිරභාරයට ගත් මේරියම් ඔවුන් ටිකෙන් ටික නිර්වත්‍ර කරන්නත් ආහාර ලබා නොවී දැඩි වද හිංසා වලට ලක් කරන්නත් පියවර ගෙන තිබුණා. 

මේ වද හිංසා නැවැත්වීමට නම් ඔවුන් සතු සියළුම දේපල තමන් නමට පැවරිය යුතු යැයි පැවසූ මේරියම් කිසිදු අනුකම්පාවක් ඔවුන් ගැන දක්වා තිබුණේ නෑ. 

දේපළ මිල මුදල් අහිමි සාමාන්‍ය ජනතාව වෙනම රඳවා ආහාර, බෙහෙත් හෝ වතුර ලබා නොදී රෝගය උත්සන්න වෙනතුරු ඔවුන්ව රඳවා තබා ගන්නත් එයින් පසු ඔවුන් මරණයට පත්වෙන තුරු බලන් ඉන්නත් මේරියම් උපදෙස් දී තිබුණා. 

මේ වද බන්ධන රෝගීන්ට පමණක් සීමා වුනේ නෑ. ඇය සමඟම මැතිව් කාර්පේතියස් පියතුමාගේ දේශනා ඉගෙනීමට පැමිණි ධනපති පවුලක සාමාජිකාවක් වූ බෙකා මහත්මිය මරණයට පත් කරන්නත් ඇය කටයුතු කර තිබුනේ ඒ ලෙසින්මයි. 

මැතිව් කාර්පේතියස් පියතුමාගේ දහමටද පටහැනිව මේරියම් ගෙනයන මේ කෲර වැඩපිළිවෙල ගැන සැක සිතී ඒ පිළිබඳ ප්‍රශ්න කරමින් එයට විරුද්ධ වූ බෙකා මහත්මිය සහ ඇගේ දරුවන් නිරාහාරව තබා මරණයට පත් කරන්නත් බෙකා මහත්මා තනිව සිහි විකල්ව මරණයට පත්වන තුරු වද හිංසා පමුණුවන්නත් ඇය කටයුතු කර තිබුණා. 

මෙලෙස ඇමෙරිකානු ඩොලර් 80,000 ක පමණ වත්කමක් තිබූ ඉයුජිනා මාගරිටා නැමැති තරුණියක් ද වත්කම් පවරාගත් පසු මරා දමා තිබුණා. 

මේ ක්‍රියාකාරකම් සඳහා විරුද්ධ වූ තියඩෝර් නම් කන්‍යාතුමියක් පහර දී මරා දමන්න ඇය නියෝග කර තිබුණා. 

නමුත් එයිනුත් පසු නොබැස සිය හඬ අවදි කළ මරියා කන්‍යාතුමියටත් ඒ ඉරණමම අත්කරන්න මේරියම් කටයුතු කලත් කෙසේ හෝ එයින් මිඳී පළාවිත් සිය මරණයට මොහොතකට පෙර හෝ මේ අසීමිත කෲරකම් ලොවට හෙළි කරන්න මරියා කන්‍යාතුමිය සමත් වුණා. 

අවසානය

මේ ලැබුණු සාක්ෂි ඔස්සේ වර්ෂ 1951 එක් රාත්‍රියක කන්‍යාවියන්ගේ කන්‍යාරාමයට ඇතුළු වූ පොලිස් භට පිරිස් සහ FBI විමර්ෂණ නිළධාරීන්ට මේරියම් සොලකියුටස් අත් අඩංගුවට ගන්නත් එහි රඳවා සිටි 71 ක පමණ පිරිසක් බේරා ගන්නත් හැකියාව ලැබුණා.

එහි තිබූ සොයාගත් ආනයනය තහනම් වූ ඔලිව් තෙල් පිළිබඳ චෝදනාවකින් සිය පළමු නඩුව ගොනුකළ විමර්ෂණ නිළධාරීන්ට ටිකෙන් ටික මේරියම්ගේ කෲරත්වය ගැන සාක්ෂි එකතු කර ගැනීමේ හැකියාව ලැබුණා. 

ඒ අනුව සාක්ෂි සහිතව තහවුරු කර ගත හැකි මනුෂ්‍ය ඝාතන 27 ක් පිළිබඳවත් සම්පූර්ණ ඝාතන 177 ක පමණ ප්‍රමාණයක් සම්බන්ධවත් ඇයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර තිබුණා. 

ඊට අමතරව, තර්ජනය කිරීම්, මංකොල්ල කෑම්, වද හිංසා පැමිණවීම් සහ බලහත්කාරයෙන් දේපළ පවරා ගැනීම් සම්බන්ධවත් ඇයට චෝදනා එල්ල වුණා. 

මෙහිදී ජේසුස් වහන්සේගේ සැබෑ ධර්මයට පටහැනිව ඇය සිදුකර ඇති විවිධ අකටයුතුකම් ගැන පල්ලියේ පියතුමන්ලා උසාවිය හමුවේ සාක්ෂි ලබාදුන් අතර මේරියම්ගේ අනුගාමිකයන් ඔවුන්ට මරණ තර්ජන පවා කර ඇති බවට සඳහන් වුණා. 

දඬුවම

1951 සිට 1952 දක්වා එක් නඩු වාරයකුත් 1952 දී එක් නඩු වාරයකුත් 1953 දී තවත් නඩු වාරයකුත් ක්‍රියාත්මක වුණා. 

මේ සියළුම නඩු වාරයන්ගේ චෝදනා සඳහා වෙන් වෙන්ව ඇයට කළ චෝදනා සාර්ථකව ඔප්පු කර ගැනීමේ හැකියාව විමර්ෂණ නිළධාරීන්ට ලැබුණත් ඇය වැනි සමාජයේ බලවත් ස්ථානයක් හිමිකර ගෙන සිටි කාන්තාවකට දඬුවම් කිරීමට පෙර අධිකරණයට කාරණා රාශියක් සිතා බැලිය යුතුව තිබුණා. 

කෙසේ වෙතත් අවසානයේ ඇයට වසර 10 ක සිර දඬුවම් පැමිණවීමට අවසාන තීන්දුවක් ලබා දුන්නා. 

එයින් වසර 06 කට පසු 1956 දී සිරභාරයේ සිටියදීම මේ දරුණු ස්ත්‍රිය මියගිය අතර ඉතිරි වී සිටි ඇගේ අනුගාමිකයන් විසින් ඇගේ අවමංගල්‍ය උත්සවය උත්කර්ෂවත් ආකාරයට පවත්වන්නත් කටයුතු කර යුතු තිබුණා. 

ඔබේ සංවේදී මොහොතවල් වල ඔබට පිහිටට පැමිණෙන බොහෝ දෙනා ඔබ ගැන අවංක කාරුණික හැඟීමෙන්ම පමණක් ඔබ හමුවට නොපැමිණෙන බව මේරියම් සොලකියුටස් ඔබට පෙන්වා දුන්නේ ඒ අයුරිනුයි. 

සියළුම ශාස්තුවරයන් වහන්සේලා ඔබ කෙරෙහි කරුණාවෙන් සහ අසීමිත මෛත්‍රියෙන් කල නිවැරදි දේශනා පමණක් හොඳින් සවන්දී මනා වැටහීමෙන් යුතුව පිළිපැඳීම නුවණට හුරු බව ඔබට මතක් කරමින් අපි සමුගන්නේ “සත්‍ය සැමඳා සඟවා තබාගත නොහැකියි” යන සදාතනික සත්‍යය ඔබට මතක් කරමිනුයි. 

සටහන – දුලානි නවෝද්‍යා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here