ජීවිතේ වැඩක්ම නැහැ කියල හිතෙනවද? මේ දේවල් කරලා බලන්න – Saru News Media

0
11

ජීවිතේ හැමෝටම හැමදාම එකම විදිහ නැහැ.. අර අමරදේව මහත්මයාගේ ගිතයකත් තියෙන්නෙ “මේ ජීවන ගමනේ.. සැප දුක සමබරවේ” කියල. ඉතින් අපි හැමෝගෙම ජීවිතවල සතුට දුක කියන දෙකම කාලෙන් කාලෙට තියෙන්න පුළුවන්. මේ හැමදේටම බලපාන්නෙ අපි ජීවිතේ එක එක කාල වකවානු වලදී ගන්න තීරණම තමයි. ඒ කොයිහැටි වෙතත් සතුට ලැබෙද්දී ආසවුණාට දුක් විඳින්න අපි කවුරුත් කැමති නැහැනේ. අපි හිතන විදිහට ජීවිතේ සමහර දේවල් සිදු නොවෙද්දී, දුක් කරදර එද්දී අපි කාටත් ජීවිතය ගැන ලොකු කලකිරීමක් දැනෙන්න පුළුවන්. මේ හරහා තමයි හුඟ දෙනෙක් විශාදය වගේ මානසික රෝග වලට ගොදුරුවෙලා, සියදිවි හානිකරගැනීම් වලට පවා පෙළඹෙන්නේ. ඉතින් ඒ නිසා ජීවිතය ගැන සෘණාත්මක සිතුවිලි යන්තමින් හෝ ඇතිවෙමින් තියෙනවනම් ඒවා පාලනය කරගන්න එක හරිම වැදගත්. ඔන්න ඒකට තමයි මේ උපදෙස්.

 

කලිනුත් කිව්ව වගේ ජීවිතේ හැමදාම සතුට සැනසීම විතරක් රැඳෙන්නේ නැහැ. ඒ නිසා සතුටම පමණක් බලාපොරොත්තු වෙන්න එපා. එතකොට තමයි බලාපොරොත්තු කඩවීමේ වේදනාව වැඩිපුරම දැනෙන්නෙ. ඒ වගේම අපිට ලැබෙන හුඟක් දේවල් වලට හේතුවෙන්නෙ අපි විසින්ම ජීවිතේ දවසක ගත්තු හරි හෝ වැරදි තීරණ. ඒකත් හැමවෙලාවෙම මතකයේ තියාගන්න ඕන. එතකොට “අනේ ඇයි මට මෙහෙම වුණේ” කියල හිතමින් අනෙක් අයට දොස් කියමින් ජීවිතය ගෙවන එක, ප්‍රශ්න වලම ඇලෙමින් ගැලෙමින් දුක්වෙන එක හුඟක් දුරට මඟහරවා ගන්න පුළුවන්. 

 

කතාකරනවා කියන්නෙ හුඟාක් ගැටළු වලට හොඳ තෙරපි එකක්. අපි ඕනම කෙනෙකුට ඉන්නවනේ ජීවිතේට, අපේ හිතට සමීප එකම එක හිතවතෙක් හරි. අන්න එහෙම තමන්ව හොඳින්ම දන්න කෙනෙක් එක්ක හිතේ තියෙන දුක, කලකිරීම ගැන කතාකරන්න. සමහරවිට ඒ එක කතාබහක් අවසානයේම හිත හුඟක් දුරට සුවපත්වෙලා තියෙන්න පුළුවන්. හැබැයි කතාකරද්දී පරිස්සම් වෙන්න ඕන සුදුසුම පුද්ගලයෙක් එක්ක විතරක් කතාකරන්නත්. මොකද අපි යාළුවො, හිතවත්තු කියල කතාකරන සමහර අය ඔබේ රහස් නරක විදිහට පාවිච්චි කරන අය වෙන්නත් බැරි නැහැ. ඒ නිසා ප්‍රශ්නය කියන්න ගැලපෙනම කෙනෙක්ව තෝරගන්නත් පරිස්සම් වෙන්න. 

 

කතා කරන්න කෙනෙක් හිටියත් නැතත් ලියනවා කියන්නෙත් හිතට ලොකු සහනයක් දෙන්න පුළුවන් වැඩක්. ඔබ ලියන්න දක්ෂ කෙනෙක්නම් නිර්මාණාත්මක රචනා විදිහට හිතේ තියෙන දුක, කලකිරීම පිට කරන්න පුළුවන්. ඒවා පලකරන්න අන්තර්ජාලය හරහා දැන් ඕනෑතරම් පහසුකම් තියෙනවා. එහෙම නැත්තම් අඩුම තරමේ ඔබටම විතරක් කියවන්න පුළුවන් දිනපොතක් විදිහට හරි හිතේ තියෙන දේවල් ලියන එක කතාකරනවා වගේම හොඳ තෙරපි එකක්. 

ඒ විදිහට ලියන ගමන්ම හිතේ කලකිරීමට, ජීවිතේ වැඩක්ම නැහැ කියල හිතෙන එකට ආසන්නතම හේතුව, ඒ කාරණයට මූලික වුණු හේතු, ඒ තත්වය විසඳා ගන්න කරන්න පුළුවන් දේවල් එහෙමත් ලියලා හිත නිදහස් කරගන්න පුළුවන්.

 

 

ජීවිතේ හැමදාම එපාම වුණු කාලසීමා විතරක්ම තිබුණේ නැහැනේ. අපි හැමෝගෙම ජීවිතවල ලස්සන සිදුවීම්, එක එක මට්ටමේ ජයග්‍රහණ තියෙනවා. ඉතින් ජීවිතේ වැඩක්ම නැහැ කියලා හිතෙන වෙලාවකට මතක් කරලා අතීතයේ සිදුවුණ ලස්සන දේවල් මතක් කරගන්න. පරණ ජයග්‍රහණ මතක් කරගන්න. එතකොට හිතේවි ජීවිතේ ඇත්තටම වැඩක් නැත්තෙ නැහැ කියල. 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here