ණය ප්‍රතිව්‍යුවහගත නොකළහොත් විදේශ ධනය අහිමි විමේ අවදානමක්

0
10

ණය ප්‍රතිව්‍යුවහගත නොකළහොත් මේ වසරේ ලැබීමට ඇති ඩොලර් මිලියන අටසීයක පමණ විදේශ ධනය අහිමි වීමට ඉඩ ඇති බවට එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අනතුරු අඟවයි.

එමෙන්ම ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, මෙන්ම ආසියානු යටිතල පහසුකම් බැංකුව වැනි ආයතන වලින් අයවැය පරතරය පියවීමට ලබාදෙන සහන ලබා නොදුනහොත් ඒවායේ බලපෑම අස්වැසුම වැනි සංවර්ධන වැඩසටහන් වලට සෘජුව බලපාන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අවුරුදු දෙකක් තුළ පොලී නොගෙවා පැහැර හැර ඇති ණය ප්‍රමාණය ඩොලර් මිලියන එක්දහස් හත්සීයක් පමණ වන බවත් එයින් සියයට විස්සක් කපා හැර ඉතිරි ඩොලර් බිලියන දහතුනකට ආසන්න ප්‍රමාණයට අලුතෙන් බැඳුම්කර නිකුත් කිරීමට රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යෝජනා කොට ඇති බව ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවක දී මන්ත්‍රීවරයා කියා සිටියේය.

නිෂ්පාදනයට සාපේක්ෂව  ආණ්ඩුවේ ආදායම වැඩිකර ගැනීමට පාඨලී චම්පික රණවකගේ සභාපතීත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් යෝජනා කර ඇත.

එක්සත් ජනරජ පෙරමුණ විසිනුත් පෙබරවාරි දාහතර වෙනිදා වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ අතර අධික බදු පැනවීම නොකළ යුතු බවත් ඒ වෙනුවට බදු පැහැර හැර අති අයගෙන් බදු අයකර ගැනීමට යෝජනා කළ ද එය සිදු නොවන බවයි චම්පික රණවක මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

 

බදු පැහැර හැරීම වැළැක්වීම සඳහා යෝජනා කොට ඇති ඉලෙක්ට්‍රොනික වේදිකාව භාවිත කළ යුතු බව ද එසේ කිරීමෙන් මුදල් සඟවා ගෙන සිටින ජාවාරම්කාරයින්ට වැට බැඳෙන බවයි ඔහු පවසන්නේ. ඒ හරහා රටේ සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වන බදු ඉවත් කොට අත්‍යාවශ්‍ය දේ සඳහා බදු සහන ලබාදිය හැකි බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 

රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට බදු පැහැර හැර ඇති ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගේ බදු අය කර ගැනීම සිදු කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක තවදුරටත් කියා සිටියේය.

මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට චම්පික රණවක මන්ත්‍රීවරයා ලබා දුන් පිළිතුරු පහතින් පළ වේ,

 

ප්‍රශ්නය:
මැයි දිනයට රැළියක් නොකළේ කරන්න බැරි නිසාද.? එහෙම නැත්නම් උවමනාවක් නැති කමද.?

පිළිතුර:
කම්කරු දිනය දේශපාලන පක්ෂයක් විදියට සමරන්න ඕන කියලා අපි හිතන්නේ නැහැ. අපි පක්ෂයක් විදියට අපේ ජාතික සම්මේලනය පවත්වනවා.. කම්කරු දිනය කළ යුත්තේ වෘත්තිය සමිති සහ කම්කරුවන්ම එකතුවෙලයි…

ප්‍රශ්නය:
ඒත් පක්ෂ වලින් මැයි රැලි ගොඩාක් පැවැත්වුවානේ.. ඒවයින් කොයි එකද හොඳට තිබුනේ..? දැනෙන්න වැඩේ කරලා තිබුණේ කවුරු කියලද හිතන්නේ.?

පිළිතුර: 
සෙනග පැත්තෙන් ගත්තොත් ජාතික ජන බලවේගය තමයි පිළිවෙලයි, සෙනගයි දෙකම.  ඒක පුදුමෙකුත් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ට එක මන්ත්‍රී ධූරයක්වත් නැතුවත්, එක්දාස් නමසිය හැත්තෑ ගණන්වල විශේෂයෙන්ම හැටපහ, හැත්තෑව අතරෙත් ඒ වගේම විශේෂයෙන්ම හැත්ත හතෙන් පස්සෙත් ඊට පස්සේ ජවිපෙ තහනම් කරාට පස්සේ ඒගොල්ලන්ගේ වෘත්තීය සමිති හැටියටත් එහෙම පවත්වලා තියෙනවා.

”ලාල් කාන්ත මහත්තයා සමාජවාදය අතහැරීම ගැන සතුටුයි. දැන් අනුර සහ ටිල්වින් මහත්තයලගෙ වාරේ..! ”

ප්‍රශ්නය:
ලාල් කාන්ත මහත්තයා මාලිමාවේ දැන් සමාජවාදය නැහැ කියලා කතාවක් කියලා තියෙනවා. ඔබතුමා ඒ ගැන මොකුත් දන්නවද..?

පිළිතුර: 
යූ ටියුබ් එහෙක එහෙම අදහසක් එන විදියට  කියලා තියෙනවා මාත් දැක්කා. මටත් ඒ ගැන කවුරු හෝ එවලා මමත් ඒක බැලුවා…. ලාල්කාන්ත, ලාල්කාන්ත සහෝදරයා කොම්රේඩ් ලාල්කාන්ත, ලාල්කාන්ත මහත්තයා වීම ගැන අපිට හරි සතුටුයි. අපිත් ඕක තමයි නිරන්තරයෙන්ම කිව්වේ ජනතා විමුක්ති පෙරමුණට ඔය පැරණි මාක්ස්වාදී හැව අතහරින්න කියලා. සමහරු මං දැක්කා ඒ අයගේ පෙළපාලිවල කාල්මාක්ස්, එංගල්ස්, ලෙනින් නැති එක ගැන. රතු මැයි රැළිය නැති එක ගැන ප්‍රශ්න කරලා තිබුණා. අපි දකින්නේ ඒක ප්‍රගතියක් පැත්තට ගත්ත පියවරක් හැටියට. මොකද කාල්මාර්ක්ස් එංගල්ස්ලා ඒවා දර්ශනයක් හැටියට හැදෑරුවට කමක් නැහැ. නමුත් ඒවා ප්‍රායෝගිකව මහපොළොවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් නෙමෙයි. සමාජවාදය අවසන් වගේ එහෙමත්. දැන් කොහෙවත් පැරණි සමාජවාදය නැහැ. 

ඒ වගේ යථාර්ථය පිළි අරගෙන මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඔය තියෙන වෙබ් අඩවියෙනුත් ඔය තමන් මාක්ස්වාදී පක්ෂයක් කියන එක අත ඇරලා ඔය දෑකැත්තයි, මිටිය අයින් කරලා, මොකද පරිගණක යුගයේ චිප් යුගය. ඉතින් ඒකට සරිලන විදිහේ පක්ෂයක් බවට පරිවර්තනය වෙනවා නම් ගොඩක් ලොකු විශ්වාසයක් ඇති වෙයි. එහෙම නැතුව යටින් එකක් තියාගෙන උඩින් තව එකක් කියන කියන ප්‍රමාණයට සැකේ, බිය වර්ධනය වීම තමයි වෙන්නේ. ලාල්කාන්ත මහත්මයා එහෙම එකක් කියලා තියෙනවා නම්, අපි ඉතාම සතුටුයි දැන් අනුර දිසානායක මහත්තයාගෙත්, ටිල්වින් සිල්වා මහත්තයාගේත් වාරය.

ප්‍රශ්නය:
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ කියන්නේ පොහොට්ටුව පහුගිය කාලය තුළ යම්කිසි විදිහකට පසුබැසීමකට පත්වෙලානේ හිටියේ…ඒත් මේවෙද්දී ඒගොල්ලොත් මැයි දින රැළිය හොඳට කළානේ..ඒ ගැන මොකක්ද ඔබතුමාගේ අදහස.?

පිළිතුර:
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගම් මට්ටමේ බිම් මට්ටමේ ප්‍රාදේශීය සභා දෙසිය තිස්පහක පාලනයක් තිබිච්ච, පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර එකසිය හතළිස් නවයක් තිබිච්ච පක්ෂයක්. ඉතින් ඒ පක්ෂයට නැවත වැඩ කරන්නට, පාරට ඇවිල්ලා වැඩ කරලා මහජනයාගේ කැමැත්ත දිනා ගැනීම පිළිබඳව අපේ කිසිම අකමැත්තක් නැහැ. හැබැයි එකක් මතක තබා ගන්න ඕනේ. අර මැයි නමය වර්ගයේ පාර්ට් වලින්, ඒ කියන්නේ බලහත්කාරය, චණ්ඩිකම පාවිච්චි කරලා,  අර සරම වලාපොටේ ගහගෙන, අඩෝ වරෙව්, අපි ලෑස්තියි, පුලුවන්නම් අපිට ගහපියව් කියන ජාතියේ ක්‍රමවලින් නම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනාගතයක් නැහැ. ඒ වගේම රට බංකොලොත් කිරීමට වගකිවයුතු මහින්ද රාජපක්ෂ මැතිතුමාත්, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත්, බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉස්සරහින් තියාගෙන යන ගමනට අනාගතයකුත් නෑ. ඒ නිසා ඔය මැයි රැළි මොනවා කළත් ඕවාට මොන සෙනඟ රැස් වුණත් ඊළඟ මැතිවරණයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ලංකා දේශපාලනයෙන් අතුගෑවී යාම. 

ඒ නිසා, රාජපක්ෂ නොවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්න පිරිස් වලට අවස්ථාව තියෙනවා තාමත් මේ ජන පදනමත් එක්ක නව දේශපාලනයකට, නව දේශපාලන සන්ධානයකට ඇතුල් වෙන්න. මහින්ද මහත්තයාගේ කැමැත්ත, නාමල් මහත්තයා නම් එයා දේශපාලනය කළාට අපිට ප්‍රශ්නයක් නැහැ. එයා දේශපාලනය කරගෙන ගියාවේ. නමුත් ඔය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අර මැයි නමයේ චණ්ඩි ආකල්පයයි, පැරණි රාජපක්ෂවාදෙන් මිදෙන්නැතුව නම්, ගමනක් නැහැ.

ප්‍රශ්නය
මැතිවරණ වලට කලින් අපි මේ ණය ප්‍රතිව්‍යුවහගත කරන වැඩේ ඉවර කරගෙන තමයි මේ මැතිවරණ ගැන කතා කරන්නේ කියලා ජනාධිපතිවරයත් ප්‍රකාශ කරලා තියෙනවා..ඔබතුමත් ඒ ගැන එහමම කියනවා…ඔබතුමායි ජනාධිපතිතුමයි අතරේ පැහැදිලි සංවාදයක් තියෙනවා වගේ පේන්න තියෙනවා.

පිළිතුර
ජනාධිපතිතුමා කොහොමත් පළාත් පාලන ඡන්දේ ගිය අවුරුද්දේ මාර්තු මාසේ කල් දැම්මේ මට ආර්ථිකය ගොඩ දාන්න වෙන වැඩ තියෙනවා. ඡන්ද තියෙනවට වඩා කියලනේ. හරි. ඒ අතරේ බැසිල් මහත්තයා ඇවිල්ලා දැන් මහ ඡන්දයක් තියන්න ඕනෙයි කියලා උද්ඝෝෂණයක් කරගෙන යනවා. නමුත් රට තියෙන මූලික ප්‍රශ්නය ණය ප්‍රතිව්‍යුහගත කරන එක. ඒ ණය ප්‍රතිව්‍යුහගතකරණය විපක්ෂයත් එක්කත් කතා කරලා එහෙම කරන්න ඕනෙයි කියන විවෘතභාවයේ අපි ඉන්නේ. අපි මේ රනිල් වික්‍රමසිංහ කරන හැමදේටම විරුද්ධයි, රනිල් රාජපක්ෂ කිය කිය බෙරිහන් දිදී යන්නේ නැහැ. මොකද අපිට අත්දැකීම් තියෙනවනේ. ඔය විරුද්ධ කතා පවත්වන අය, ඊළඟට බලයට ආවම කොහොමද කරන්නේ කියලා අපි දන්නවනේ. ඒ හින්දා අපි එහෙම නෑ. අපි මේ රට පැත්තෙන් කතා කරලා තියෙන්නේ. රටේ අනාගතය පැත්තෙන්, මේක කළේ නැත්නම්, අනිවාර්යෙන්ම විශාල අර්බුදයකට ජූනි මාසෙන් පස්සේ යනවා. ඒ නිසා මේ මූල්‍ය අරමුදලේ ඒ ඊළඟ වාරිකයත් ඒකත් එක්ක ගැට ගැහුණු ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සහයත්, ඒ වගේම විදේශ වෙළඳපොලේ ණය වෙළදපොලේ විශ්වාසයත්, ඒ වගේම අපට ආධාර කරපු බහු පාර්ශවීය, ද්විපාර්ශවීය රටවල් වල විශ්වාසයත් දිනාගන්න තව කෙටි කාලයයි තියෙන්නේ. ඒ කාලය ඇතුළත ඒක කරන්න ඕන.

ප්‍රශ්නය:
දැන් එතකොට මේ පහුගිය දිනවල, මේ මේ ආසන්න කාලය තුළ අපි දන්නවා මේ තෙල් මිල සුළු වශයෙන් අඩු කරගෙන කම්කරුවන්ගේ, වතු කම්කරුවන්ගේ වැටුපට යමක් එකතු කරලා, හාල් වගයක් එහෙම සමහර තැන්වල බෙදලා, මේ වගේ මුදල් වියදම් කරලා, අර පැරණි ක්‍රමයකට දැන් මැතිවරණයක් සඳහා සූදානම් වෙනවදෝ වගේ, වැඩපිළිවෙලක් යනවා. හැබැයි මෙහෙම, මේ වගේ දේවල් වලට ජනතාව රැවටිලා, එහෙම නැත්නම් ජනතාව මේවට අසුවෙලා සමස්ත ජනතාව ගැන මම කතා කරන්නේ. එතකොට දැන් ඔබතුමා මේ කියන ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ දැන් මැතිවරණයකින් යම්කිසි කණ්ඩායමක් හෝ දිනලා මේක මෙහෙම තිබුණොත් ජනතාව මොන වගේ තත්වෙකට පත්වෙයිද ඒ මැතිවරණයෙන් පස්සේ?

පිළිතුර:
අනිවාර්යයෙන්ම මේ ආර්ථික අර්බුදයේ දිග පළල ගැන දන්නැතුව අපි සතුටු වෙනවා කාටහරි හාල් කිලෝ ග්‍රෑම් දහයක් ලැබුණද, ඩීසල් මිල රුපියල් තිහකින් අඩු වුණාද, ඒකෙන් සහනයක් ලැබෙනවා නං අපි ඒකට විරුද්ධ වෙන්නෑ කිසිසේත්ම. ඒක ලැබිය යුතුයි. ගැටලුව තියෙන්නේ ඊට වඩා පුළුල් ප්‍රශ්නයක්. මේ අතුරේ යන ගමනක තමයි මේ කරගෙන යන්නේ. එතකොට මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කාරණය කරගත්තේ නැත්නම් විශේෂයෙන්ම අර රජයේ ආදායම් වැඩිකර ගැනීමට අපි යෝජනා කරලා තියෙන ක්‍රමවේදය යොදා ගත්තේ නැත්නම් බදු පොලු කාරයින්ගෙන්, බැංකු පොලු කාරයින්ට බය නැතුව අත තිබ්බේ නැත්නම්, සුරාබදු පොලු තියලා තියෙන මිනිස්සුන්ට බය නැතුව අත තිබ්බේ නැත්නම් මේ ගමන මේ ජනතාවත් එක්ක යන්න බැහැ. ඒකයි අපි කියන්නේ. ඒ නිසා ඒක තියන්න අපි ලෑස්තියි. මම අභියෝගයක් හැටියටම භාරගත්තානේ. මාස හයකින් මේ ඉලෙක්ට්‍රොනික වේදිකාව හදලා මේ කටයුතු කරන්න අපි ලෑස්තියි අපේ කමිටුවට ඒ බලය දෙන්න කියලා මම පාර්ලිමේන්තුවේදිම ඉල්ලා හිටියනේ. ඉතින් ඒක හින්දා මේක කරන්න පුළුවන් දෙයක්. අපි ඒ වගේ වැඩ කරලා පෙන්නපු අය. නිකන් කටකතාවට කතා කරන අය නෙමෙයිනේ. ඒක නිසා මේ ඔය හාල් කිලෝ දහය දුන්නයි කියලා ඩොලර් බිලියන් පහට අපේ සංචිත ආවයි කියලා. එහෙම නැත්නම්  තෙල් මිල අඩු කරා කියලා විදුලි ගාස්තුව යම් ප්‍රමාණයකින් අඩු කළා කියලා ප්‍රශ්නෙ විසඳිලා නැහැ. 

මේවා ඡන්ද ගුණ්ඩු හැටියට නම් කරන්න එපා. මොකද මේ ජාතියේ ඡන්ද ගුණ්ඩු එකකට දෙකකට රැවටිලා තමයි අපිට වුනේ. බැසිල් රාජපක්ෂ මහත්තයත් රට බංකොලොත් කළේ, සංවර්ධන ව්‍යාපෘති ලක්ෂයක් කොරන්න කියලා. කිසිම හැකියාවක් නැතුව දෙදාස් විසි එකේ අයවැය විවාදෙදි, විසි දෙකේ අයවැය සඳහා වෙච්ච විවාදෙදි කියලා, පාරවල් කිලෝමීටර් ලක්ෂයක් කාපට් කරනවා වගේ නේද? මේ කතා කියලනේ මේගොල්ලෝ ඇවිල්ලා රට බංකොලොත් කර ගත්තේ. ඒ නිසා මේවා මේ දිගුකාලීන කාරණා නෙවෙයි. මේවා ආර්ථික අර්බුදය දරුණු පිළිකාවක්. මේකට කටට සීනි බෝල, එහෙම නැත්නම් කිරි ටොපි දාලා හරියන් නෑ. මේක විසඳාගන්න ඕනේ ගැඹුරෙන්. ඒ විසඳාගැනීමේ මග අපි පෙන්වලා තියෙනවා. ඒක කරන්න කියලයි අපි කියන්නේ.

ප්‍රශ්නය:
මේ පාරත් මේ ගඟ ගලාගෙන යන අතටම ඔහේ කණ්ඩායම් පත් කරලා ජනතාවට නිකන් ඉන්න ගෙනත් දෙනවාද?

පිළිතුර
ඇත්තටම ජනතාව අපි එකක් තේරුම් ගත යුතුයි. රැළිවලට අහුවෙන්න එපා. රැලි, උද්වේගකරයි ඒ වගේම ඔය දෙන කුඩා කුඩා සීනි බෝලයි විසින් රට බිඳ දමලා තියෙන්නේ බරපතල විදියට. රට එතනින් ගොඩ නගා ගන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කළා පසුගිය පෙබරවාරි දාහතර. ඒකත් එක්ක එකතුවෙන්න පුළුවන්. පාර්ලිමේන්තු මන්ත්‍රීලා, සියලුම දේශපාලන පක්ෂවල ඒ සියලු දෙනාටම එකට එකතුවෙන්න කියන ආරාධනය අපි කරනවා. අපි ඉදිරිපත් කළා පසුගිය පෙබරවාරි දාහතර වෙනිදා. දේශය වෙනුවෙන් එක්වන පියවරක් කියලා වැඩපිළිවෙලක්. අපේ මේ කාර්යාලය හෝ වෙන ඕන තැනක ඔය ඕනම ආර්ථික කණ්ඩායමක් එක්ක, එහෙම නැත්නම් ඔය ඕනම නායකයෙක් එක්ක, විවාදයක් නෙවෙයි. සංවාදයකට අපි ලෑස්තියි. අපිට නම් එහෙම කිසිම බියක් නැහැ මේ සම්බන්ධයෙන්. අපි ඉදිරිපත් කරලා තියෙන කරුණු පිළිබඳ සීයට දෙසීයක් අපිට විශ්වාසයි. ඒ වගේම කිරීම ගැන අපිට විශ්වාසයි. ඒ නිසා අපි කිසි පැකිලීමක් නැහැ. ඒ සියලු දෙනාටම ඇවිල්ලා අපේ මේ අපි ඉදිරිපත් කරලා තියෙන ලියවිල්ල මත ඕන සංවාදයකට ලෑස්තියි. ඒ වගේම මේ ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය පක්ෂ දෙක දෙපැත්තට ඇද ඇද ඉන්නේ නැතුව වහාම නායකයෝ දෙපළත්, ආර්ථික කණ්ඩායමුත් ඒ විවාදය සිදු කළ යුතුයි. රටේ ජනතාවට දැනගන්න, ඔවුන්ගේ ප්‍රතිපත්ති වල තත්වය ගැන.

මේ මාධ්‍ය හමුව සඳහා එක්සත් ජනරජ  කාන්තා අංශයේ විධායක සභික මධුරි රණසිංහ සහ එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශයේ විධායක සභික ඉසුරු චන්ද්‍රසේකර ද සහභාගී විය.

 
(චතුරංග මේදිස්)

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here