Google search engine
Home ගොසිප් පුවත් පොලිස් ඇමැතියි නීතිඥයොයි සීතල යුද්ධයක

පොලිස් ඇමැතියි නීතිඥයොයි සීතල යුද්ධයක

0
20

police-lawyer-cold-war

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණන් මුදල් උපයන නීතිඥයන් රටට හෙළිදරව් කිරීමට අද (30) විශේෂ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.බොහෝ ප්‍රසිද්ධ නීතීඥවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණනින් මුදල් ලබාගන්නා බවට හෙළිවී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉකුත් දෙසැම්බර් 18 වැනිදා මාතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීමේ වැඩසටහනකදී පැවැසීම හේතුවෙන් නීතීඥයන් සහ අමාත්‍යවරයා අතර ගැටුම් හටගෙන තිබූ බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.ටිරාන් අලස් අමාත්‍යවරයාට කුමන මරණ තර්ජන පැමිණියත් පාතාලය හා කුඩු තුරන් කිරීමට අමාත්‍යවරයා කැප වන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.ඒ පිළිබදව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න මහතාගෙන් කළ විමසීමක දී නවරත්න මහතා මෙසේ අදහස් පළ කළේය.

‘ඒ ඇමැතිවරයා මහාධිකරණයේ අධි චෝදනා ලැබූ අවස්ථාවේ දී ඔහු වෙනුවෙන් පෙනී සිටියේත් නීතිඥවරු තමයි. ඒ වගේම පාර්ලිමේන්තුවේ සියයට 99 ක්ම අධිකරණ කටයුතු වලට සම්බන්ධ පුද්ගලයන් ද නේ. ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කරන්නෙත් නීතීඥයන්. ඒ නිසා සැකකරුවකු වෙනුවෙන් ඕනෑම මුදලක් අයකර ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥවරුන්ට හැකියාව තියෙනවා. සැකකරුවන් මුදල් ගෙවනවා නම් ඒකේ ගැටලුවක් නෑනේ උද්ධච්ච ප්‍රකාශ නිකුත් කිරීම නෙවෙයි වැදගත් වෙන්නේ නීතියට අවනත වීමයි. අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිට මිලියන ගණන් මුදල් උපයනවා කියන නීතීඥවරුන් එළි කරන තෙක් තමයි අපිත් බලාගෙන ඉන්නේ.

අනීතිකව මිනිසුන් ඝාතනය කරන්න එපා. එය නීතියේ ආධිපත්‍යයට කරන බලපෑමක් බවට අපි නීතීඥ සංගමය හැටියට ප්‍රකාශයක් නිකුත් කළා. පසුගිය කාල සීමාව තුළ විශේෂයෙන් පොලිසිය විසින් මිනිසුන් ඝාතනය කිරීම, පහරදීම සහ මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දැඩිව වාර්තා වුණා.ඊට සමාගාමීව අන්තර් ජාතික මානව හිමිකම් කවුන්සිලය ලබාදෙන උපදෙස් තුට්ටුවකට මායිම් කරන්නේ නැති බවට අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අපරාධකරුවන් තුරන් කිරීම පවක් නොවේ. අතේ තියෙන තුවක්කුව හරිදේට පාවිච්චි කරන්න කියා අමාත්‍යවරයා කටුකුරුන්දේ දී ප්‍රකාශ කළා. එතුමා ඉන් අදහස් කරන්නේ අපරාධයකට සම්බන්ධ පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් කිරීම අවශ්‍ය වන්නේ නෑ. තුවක්කුව පත්තු කර වෙඩි තබන්න පුළුවන් කියලයි. රටක කැබිනට් අමාත්‍යවරයකුට එවැනි ප්‍රකාශ නිකුත් කළ හැකි ද යන්න ප්‍රශ්නයක්. ඊට විරුද්ධව තමයි නීතීඥ සංගමය ඔහුගේ ක්‍රියා මාර්ග දැඩිව හෙළා දකින්නේ.

නීතීඥ සංගමය කිසි විටෙකත් අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න එපා කියා කියන්නේ නෑ. මා දැක්කා කුඩු ජාවාරමුන් අත්අඩංගුවට ගැනීමේ දී නීතීඥවරුන් විරුද්ධ වනවා කියා ප්‍රකාශ නිකුත් කරලා තිබුණා. ඒවා ඉතා ලාමක, පහත් තත්වයේ ප්‍රකාශ. කුඩු ජාවාරම කරගෙන ගියා කියන සැකය මත අත්අඩංගුවට ගත් සැකකරුවකු ඝාතනය කරන්න පොලිසියට හැකියාවක් නෑ. ඕනෑම සැකකරුවෙක් නීතියෙන් වරදකරු වෙන තෙක් ඔහුට නීතියේ සහාය ලබා ගැනීමට අයිතියක් තියෙනවා. එය කැබිනට් ඇමැතිවරුන් දන්නේ නැති නම් ඒ නීතිය ඉගෙන ගන්න ඕනැ ” යැයි කෞෂල්‍ය නවරත්න මහතා පැවැසීය.

ගයාන් සූරියආරච්චි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here