ඔය පොෂ් කියන එක සෑහෙන්න අපිට අහන්න ලැබෙන වචනයක්නේ. සමහරු පොෂ් පීපල්ස් කියලා තව කෙනෙක්ට බයිට් එකටත් කියනවා. එතකොට ඔය දේශීය බව උස්මුරුත්තාවට ගියපු අය පොෂ් එවුන් කියලා තවත් මිනිස්සුන්ව අපහාසෙට ලක් කරනවා දකින්නත් පුලුවන්. හැබැයි ඔය අතරේ ගොඩක් දෙනෙක්ගේ උපහාසයට සහ අපහාසයට බඳුන් වෙන “වෙන්ඩ පොෂ්” කැටගරියකුත් තියෙනවා. අපි ඔය වෙන්ඩ පොෂ් ඩයල්ස් දාන ඇම්බැක්කෙත් නැති කැටයම් ගැන කලින් කතා කරලත් තියෙනවනේ. හැබැයි ඔය ඔක්කොම අතරේ, ඇත්තටම පොෂ්, එහෙම නැත්තම් ඇත්තටම පොෂ් වෙන්න වුවමනාවක් තියෙන අයත් ඉන්නවා.
ඇත්තටම පොෂ් මනුස්සයෙක් වෙනවා කියන්නේ අපහාසෙට වත්, උපහාසෙට වත් ගන්න ඕන දෙයක් නෙවෙයි. ඒක එක අතකට පුද්ගලික සංවර්ධනයක්. තමන්වම යම් ලෙවල් එකකට දියුණු කර ගැනීමක්. හැබැයි ඇත්තටම පොෂ් වෙන එක, ‘වෙන්ඩ පොෂ්’ වෙනවට වඩා, ඒ කියන්නේ පොෂ් කියලා පෙන්නන්න යනවට වඩා අමාරුයි. ඒත් ඒ ලෙවල් එකට යන එක වටිනවා. පොෂ් වෙන්න ගලන්න සල්ලි වත්, කුරුඳුවත්තෙන් පැවත එන පවුල් පසුබිමක් වත් ඇත්තටම අවශ්‍ය නෑ. පොෂ් මනුස්සයෙක් වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ, ස්මාට්, ෆැෂනබල්, සහ එක්ස්පෙන්සිව් මනුස්සයෙක් වෙන එක තමයි, ඩික්ෂනරියේ විදියට. තවත් විදියකට කිව්වොත්, වෙනම ක්ලාස් එකකට අයත් වීම කියන්නත් පුලුවන්.
ඉතින් කොහොමද හැබෑවටම පොෂ් මනුස්සයෙක් වෙන්නේ? ආන්න ඒකට ගැලපෙන ටිප්ස් ටිකක් තමයි මේ.
ආචාරශීලීත්වය කියන එක අපි සෙල්ෆ් හෙල්ප් ආටිකල් ලියනකොට ගොඩක් වෙලාවට සඳහන් කරන කාරණයක්. ඒකට එක හේතුවක් තමයි, මේ කාලේ ආචාරශීලීත්වය ගැන මෙලෝ අදහසක් නැති ගොඩක් පිරිසක් මේ ලෝකේ ජීවත් වීම. හැබැයි දැන් මේ ආචාරශීලී වීම කියන්නේ දකින දකින හැම තැනම හැමෝටම උදව් කරන්න දඟලන එක, පාපිස්සක් වෙන්න ට්‍රයි කරන එක නම් නෙවෙයි. ඒ වෙනුවට පොෂ් මනුස්සයෙක් ආචාරශීලී වීම කියන එක එයාගේ ඇතුළාන්තයෙන්ම එන දෙයක්. සරල උදාහරණ වලින් කිව්වොත්, ඕනම අවස්ථාවකදී “කරුණාකරලා”, “ස්තුතියි” නැතිනම් “ප්ලීස්”, තෑන්ක් යූ”, “එක්ස්කියුස් මී” වගේ වචන පාවිච්චි කරන එක, ආචාරශීලීව හැසිරෙන එක වගේ හොඳ මැනර්ස් එක්ක හැසිරෙන එක. එතකොට කතාබහේදී කාරුණිකව, කෙනෙක්ව පහත හෙලන්නෙ නැතුව, ප්‍රියමනාපව කතාබහ කරන එක. අනවශ්‍ය පුද්ගලික ප්‍රශ්න එහෙම නාහා ඉන්න එක. එතකොට ඔය කාන්තාවක් එක්ක යනකොට එයාට මුල් තැන දෙන එක, දොරවල් ඇරලා දෙන එක පවා ඒ විදියේ හොඳ ලක්ෂණ. ඒ විතරක් නෙවෙයි, කෑම මේසෙට වාඩිවුණහම ෆොන් එක ඔබ ඔබා ඉන්නෙ නැති එක වගේ සුළු සුළු දේවල් පවා හොඳ මැනර්ස් විදියට ගන්න පුලුවන්.
එහෙම ආචාරශීලී කතාබහ, ඉරියව් වගේම ආචාරශීලී ආකල්පයත් මෙතනදී වැදගත් වෙනවා. ඒ කියන්නේ ඕනම තත්වයක ඉන්න ඕනම කෙනෙක්ට සම තත්වයෙන්, කාරුණිකව සලකන එක, කිසිම කෙනෙක්ව කොන් නොකරන එක වගේ ආකල්පමය දේවලුත් මේ පොෂ් මනුස්සයෙක්ගෙන් දකින්න ලැබෙන ආචාරශීලීත්වයට ඇතුළත් වෙනවා.
මේකත් කතාබහේදී එහෙම විශේෂයෙන්ම පොෂ් මනුස්සයෙක්ගෙන් දකින්න පුලුවන් දෙයක්. ඒ කියන්නේ හොඳ දැනඋගත්කමක් තියෙන, ඇසූ පිරූ තැන් තියෙන, ලෝකයට විවෘත වුණු, ලෝකයට නිරාවරණය වෙලා තියෙන මනුස්සයෙක් කතාබහ කරනකොට පාවිච්චි කරන වචන පවා වෙනස්. ඒ කියන්නේ බර වචන වලින් කතා කරන එක නෙවෙයි. දැනුවත් භාවයකින්, හොඳ, ප්‍රියමනාප වචන භාවිතයෙන්, ප්‍රියමනාප ස්වරයකින් කතා කරන එක දැනඋගත්කමත් එක්කම එන දෙයක්. ඔය හොඳ ඇක්සන්ට් එකක් කියන්නේ, අන්න ඒක. පොෂ් මනුස්සයෙක්ට ඉංග්‍රීසි අනිවාර්යයෙන්ම පුලුවන් වෙන්න ඕනැද? එහෙමම කියන්න බෑ. හැබැයි තමන්ගේ මවුබස හැරෙන්න තව භාෂාවක් දෙකක් දැනගෙන ඉන්න එක ප්‍රයෝජනවත්. එතකොට ලංකාවේ අපිට නම් ජාත්‍යන්තර භාෂාව විදියට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා ඉංග්‍රීසි දැනගෙන ඉන්න එක.
ඒ ඇරෙන්න ලෝකේ මොනවද වෙන්නේ කියලා දන්න එක, පොත් පත් කියවන, හොඳ චිත්‍රපටි බලන, සංගීතය අහන මනුස්සයෙක් වෙන එක ඇත්තටම පොෂ් කියන එක පේන්න වැදගත් වෙනවා. කොටින්ම ඇසූ පිරූ තැන් ඇති මනුස්සයෙක් කියන එක, කෙනෙක් එක්ක කතාබහ කරනකොට අපිට දැනෙන දෙයක්නේ. ආන්න එහෙම වෙන්න ඕන පොෂ් මනුස්සයෙක් වුණහම.
Saru FM Media