බඳින්න කලින් හිටපු ගෑණි නෙමෙයි බැන්දට පස්සේ හිටියේ..

0
12

දේශප්‍රේමී ජනාධිපති අපේක්ෂකයෙක් සමග දේශප්‍රේමී නැවුම් බලවේගයක් ගොඩනගන බව උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපති පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ කිරුලපන දී “77න් ඇරඹි පරාධීන ආර්ථික ගමනට එරෙහි එක්සත් මැයි රැලිය” යන තේමාව යටතේ පැවති උත්තර ලංකා සභාගයේ මැයි දින රැළිය අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා මෙසේ ද පැවසීය.

රනිල්ට ඉඩදෙමු කියන තරුණ පුතාලා නොදත් කතාව

2015 දී ඒකාබද්ධ විපක්ෂයේ කුළුඳුල් මැයි රැළිය අපි පැවැත්වුවේ මේ පිට්ටනියේ. එදා ඒ වේදිකාව දෙවනත් කරපු අපේ නායකයෝ රනිල් වික්‍රමසිංහ මහත්තයාව පතුරු ගහලා පරගැති ජනපීඩක යහපාලන ආණ්ඩුව පෙරලලා දේශප්‍රේමී ආණ්ඩුවක් හදන බවට සපථ කලා. අවාසනාවකට අද රනිල් වික්‍රමසිංහගේ ඇමතිකට්ටකට රනිල් වික්‍රමසිංහ වර්ණනා කරමින් ඉන්නෙත් එදා මේ වේදිකාවේ ඉදන් යහපාලන ආණ්ඩුව පෙරලලා දේශප්‍රේමී ආණ්ඩුවක් හදන්න පොරොන්දු වුන අයමයි.

අපි පොරොන්දු වූ ආකාරයටම දේශප්‍රේමී ආණ්ඩුවක් හැදුවා. අපේ පොරොන්දු අපි ඉටු කලා. හැබැයි අපි ආණ්ඩු බලය අල්ල ගන්න කොටම ඇමරිකාව අපේ ජනපති අල්ලගත්තා. අපි පත් කරපු ජනපති රට පාලනය කලේ ඇමෙරිකානුවන් දෙන්නෙකුට ඕන විදිහට. එක්කෙනෙක් කොරියානු ඇමරිකානුවෙක් වන ජූලි චං තානාපති නෝනා. අනික් එක්කෙනා මැද මුලන ඇමරිකානුවෙක් වන බැසිල් රාජපක්ෂ. ඒ ඇමරිකානුවන් දෙන්නාගේ ලණු කාලා හදාගත්ත ආණ්ඩුවත් විනාශ කරගෙන වැඩේ වැරදුනාම ගෝඨාභය මහත්තයා ඇමරිකාවේ යන්න වීසා ඉල්ලුවාම උඹෙන් දැන් අපට වැඩක් නෑ. ඔන්න ඔහේ ලංකාවට වෙලා හිටපන් කියලයි ඇමරිකාව කිව්වේ.

එහෙම තමයි රනිල් පත් කරගත්තේ. දැන් රනිල්ට ඉඩදෙන්න කියලා තරුණ පුතාලා ටිකක් යතුරුපැදි සවාරියක් යනවා. මේ පුතාලා දන්නේ නෑ මේ රටේ ජනතාව දෙපාරක් වැරදිලා රනිල්ට ඉඩ දුන්නා. ඉඩ දීලා රට නැතිවෙන්න ඔන්න මෙන්න කියලා අපි බොහොම අමාරුවෙන් මේ රට බේරගත්තේ. ඒක පුංචි තරුණ පුතාලට කියලා දෙන්න එක වැඩිහිටි අපේ වගකීමක්.

බඳින්න කලින් හිටපු ගෑණි නෙමෙයි බැන්දට පස්සේ හිටියේ

අපි ගෝඨාභය මහත්තයව තෝරගත්තේ ජවිපෙ ඊබ්‍රහම් නානා තෝරගත්තා වගේ හොයන්නේ බලන්නේ නැතුව නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම් විදිහට මුළු ලෝකයම පරාජය කරන්න බෑයි කියපු කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීමට නායකත්වය දුන්නා වගේම, නාගරික සංවර්ධන ලේකම් විදිහට කොළඹ කුණු නැති කරලා මාර්ග පාදලා ලෝකයේ පිරිසිදුම නගරය බවට කොළඹ නගරය පත් කරනවාත් අපි දැක්කා. ලංකා රෝහලේ සභාපති වෙලා වසර ගණනාවක් පාඩු ලබපු ලංකා රෝහල ලාභ ලබන තැනක් බවට පත්කරනවාත් අපි දැක්කා. මිලිබෑන්ට , බර්නාඩ් කෘෂ්ණ වගේ ජාත්‍යාන්තර පිරිස් සටන් විරාම දෙන්න කියලා බලපෑම් කරන්න ලංකාවට ආවහම අපේ ස්වාධීනත්වයේ පාඩම කන පුරා උගන්නලා යවපු හැටිත් අපි දැක්කා. ඒ නිසයි අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයව තෝරගත්තේ. හැබැයි අවාසනාවකට ජනපති වෙන්න කලින් හිටපු ගෝඨාභය ජනපති උනාට පස්සේ ඉන්න ගෝඨාභයයි දෙන්නෙක් වුණ. සමහරු දික්කසාද නඩුවලදී උසාවියට ඇවිත් කියනවා බඳින්න කලින් හිටපු ගෑණි නෙමෙයි බැන්දට පස්සේ හිටියේ කියලා. තවත් සමහරු කියනවා ස්වාමීනි බඳින්න කලින් හිටපු මිනිහා නෙවෙයි බැන්දට පස්සේ ඉන්නේ කියලා. අපිට වුණෙත් ඔය ටිකමයි. ජනපති වෙන්න කලින් මිලිබෑන්ට කනේ ඇඟිලි ගහගන්න දේශප්‍රේමී පාඩම උගන්නපු ගෝඨාභය ජනපති උනාට පස්සේ ජූලිචං ඉස්සරහා පූස් පැටියෙක් බවට පත්වෙලා පුරුපුරු ගාන්න පටන් ගත්තා.

දේශප්‍රේමී බලවේගය මරන්නත් බෑ. මැරෙන්නෙත් නෑ

මිත්‍රවරුනි අපි වැටුණා. අපිට රිදුනා. වාසිපිලට හෝයියා කියලා සමහරු අපිව අත්හැරලා ගියා. දේශප්‍රේමී බලවේග ඉවරයි කියලා බෙදුම්වාදීන් ජය ගෝසා නැගුවා. අන්තවාදින් හුරේ දැම්මා. අධිරාජ්‍යවාදීන් සාද තිබ්බා. හැබැයි මේ රටේ දේශප්‍රේමී බලවේගය මරන්නත් බෑ. මැරෙන්නෙත් නෑ. ඒක කියන්නයි අද අපි මෙතනට ඇවිත් ඉන්නේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here