බිරිඳගෙ ගෙරවිල්ල නිසා නිදි යහන කටු යහනක් කරගත්ත සැමියෙක් – DeAr – Saru News Media

0
18

අපි විවිධ හේතු නිසා විවාහයක් කරගන්නවනෙ. සමහර වෙලාවට ආදරේ හන්දා. සමහර වෙලාවට පවුල්වල බලකිරීම හන්දා, සමහරවෙලාට වයසට යද්දි වතුර උගුරක් හරි දෙන්න කෙනෙක් ඉන්න ඕනනෙ කියල හිතෙන හන්ද.

හැබැයි ඔය කොයි විදියට විවාහයට එළඹුණත් මිනිස්සු අතර තියෙන සුලබ මතයක්නෙ, විවාහයේ මුල් කාලෙ කොච්චර ආදරෙන් බැඳුණ කපල් එකකට වුනත් ප්‍රශ්න ඇති වෙනව කියල. මොනතරම් කාලයක් යාලුවෙලා දැන අඳුනගෙන හිටියත් කසාද බැඳල එක වහලක් යට, එක ඇඳක, එක කාමරයක ඉන්න පටන් ගත්තට පස්සෙ තමා දෙන්නට දෙන්නගෙ වැරදි අඩුපාඩු ඇත්ත හැසිරීම් රටා එහෙම ඔක්කොම පේන්න ගන්නෙ.

සමහරවෙලාවට ප්‍රශ්න ඇති වෙන්නෙ අපි හිතන්නෙවත් නැති පොඩි පොඩි හේතුවලට. ඒත් හේතුව පොඩි උනත් කෙනෙක්ට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. මොකද මේක අලුත් අත්දැකීමක්. තමන්ට විඳල පුරුදු නැති අමුතු දෙයක් එකපාර ජීවිතේට වෙන්න පටන්ගත්තම හැමදාම එක දිගටම අපිට පොඩ්ඩක් ඕක දිරවගන්න අමාරුවෙනව. ඉතින් ඔන්න ඔතනදි තමා ඔය ප්‍රශ්න පටන්ගන්නෙ. සමහරු නම් රණ්ඩුවෙන්න කලින් කතා බහ කරල විසඳගන්න හිතුවට සමහරු නම් ඉතින් වැඩේට එන්ටර් වෙන්නෙම “මොකද්ද ඕයි මේකෙ තේරුම” කියාගෙන තමයි.

දෙන්නගෙන් එක්කෙනෙන් වැඩි වෙලාවක් වොශ් රූම් එකේ ඉන්න එක, නාන්න පැය ගණන් ගන්න එක, තෙත රෙදි ඇඳ උඩ දාන එක, ඇඳුම් ගලවපු තැන්වලම තියෙන එක විතරක් නෙවෙයි රෑටත් ඉර පායල තියෙනව වගේ රස්නෙ කාලෙටත් තුරුල් වෙලා නිදාගන්න හදන එක පවා මිනිස්සුන්ට විවාහය ඇතුලෙ රණ්ඩුවෙන්නා හේතුවක් වෙනව.

අපි අද කතාකරන්න යන්නෙත් අන්න එහෙම ජෝඩුවක් ගැන කියවෙන චිත්‍රපටයක් ගැන.

මේ චිත්‍රපටයේ නම DeAr.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක රඟපාන්නෙ GV ප්‍රකාශ් කුමාර් සහ අයිශ්වර්‍යා රාජේශ්. චිත්‍රපටය රිලීස් උනෙ 2024 අවුරුද්දෙ. නෙට්ෆ්ලික්ස් ඔස්සේ ඔයාලට මේ චිත්‍රපටය දැන් බලන්න පුලුවන්කම තියෙනව.

අර්ජුන් සහ දීපිකා කියන්නෙ තවමත් විවාහයක් කරගෙන නැති ජෝඩුවක්. මේ දෙන්න හොඳට ඉගෙන ගෙන හොඳ රස්සාවල් කරන අය. හැබැයි අර්ජුන් තාම කිසිම කෙල්ලෙක්ට කැමතිවෙලා නෑ වගේම දීපිකා ගැන ඇත්ත දැනගන්න මනමාලයො කිසිම කෙනෙක් දීපිකාව කසාද බඳින්න කැමති වෙන්නෙත් නෑ.

මොකද්ද මේ මනමාලයො අකමැති වෙන දීපිකා ගැන ඇත්ත? අන්න ඒ ඇත්තම තමයි දීපිකාට මනමාලයෙක් සෙට් නොවෙන්න හේතුවෙන්නෙ වගේම අර්ජුන් සහ දීපිකා දෙන්න මොකක් හරි හේතුවක් නිසා කසාද බැන්දයින් පස්සෙ මේ දෙන්න අතර ප්‍රශ්න ඇතිවෙන්න හේතුවක් වෙන්නෙ.

අර්ජුන් කියන්නෙ පොඩි සද්දෙකටත් ඇහැරෙන Light Sleeper කෙනෙක්. අනිත් පැත්තට දීපිකා කියන්නෙ මහ හයියෙන් ගොරවන මනුස්සයෙක්. හිතන්නකො දෙන්න එක ඇඳක නිදාගනිද්දි කොහොම තියෙන්න ඇතිද කියල?

අර්ජුන්ට තරහ යන එක මාර සාධාරණයි. අනිත් පැත්තට දීපිකා ගොරවන එක වරදක් නෑ. ඒ එයාගෙ හැටිනෙ. හැබැයි ඇත්තටම මේ දෙන්න අතර ප්‍රශ්න ඇතිවෙන්න දීපිකා ගෙ අම්මා දීපිකාගෙ මේ ප්‍රශ්නෙ ගැන අර්ජුන්ගෙ ගෙදර අයගෙන් හංගන එක.

ඇත්තටම වෙන්නෙ මෙන්න මේකයි. දීපිකාව නිසි වයසෙදි බන්දල දෙන්න බැරි එක දීපිකාගෙ අම්මට වගේම අර්ජුන් එක කෙල්ලෙක්ටවත් කැමති නොවෙන එක අර්ජුන්ගෙ අම්මලටත් ප්‍රශ්නයක්. ඉතින් දෙපැත්තෙම අම්මල ඔය කපුවො අරගොල්ලො මේගොල්ලන්ට කියල මේ දෙන්නට ගැලපෙන අය හොයනව.

ඒ විදියට තමයි අර්ජුන් සහ දීපිකා දෙන්න එකිනෙකාව හමුවෙන්නෙ. එතනදි තමයි දැනගන්නෙ මේ අම්මල දෙන්න එකට ඉස්කෝලෙ ගියා ඒ දවස්වල හොඳම යාලුවො දෙන්නෙක් හැබැයි පස්සෙ කනෙක්ශන් නැතිවෙලා කියල.

ඉතින් දන්නවනෙ අම්මල දෙන්නටම ඕන උනා මේ කසාදෙ කරල දෙන්න. මොකද ලමයි දෙන්න බන්දල දුන්නොත් තමන්ට ආයෙ යාලුවො වෙන්න ලඟින් ආස්‍රය කරන්න අවස්තාව ලැබෙන නිසා.

ඉතින් අම්මල දෙන්නගෙගෙ අවසරය මත අර්ජුන් සහ දීපිකා දෙන්න කතාකරන්න පටන්ගන්නව. දීපිකා හරිම අවංක මනුස්සයෙක්. ඉතින් කලින් මනමාලයන්ට වගෙම දීපිකා මෙතනදි උත්සහ කරනව අර්ජුන්ට ඇත්ත කියන්න. තමන් මහ හයියෙන් ගොරවන මනුස්සයෙක් කියල කියන්න. ඒත් කතාවට බාධා කරගෙන  එතනට එන දීපිකාගෙ අම්මා කියනව “ඔයා ඔය ගොරවන කතාව අර්ජුන්ට කියන්න එපා” කියල.

දීපිකා අහනව “බොරු කරල කොහොමද කසාදයක් කරන්නෙ?” කියල

අම්මා කියනව “ඔයා ඒක අර්ජුන්ට කියන්න ඕන නෑ. මම ඒක එයාගෙ අම්මට කියන්නම්, එයා මගෙ යාලුවනෙ” කියල.

හැබැයි ඒ කතා කොහොම උනත් ලස්සනට වෙඩින් එක අරගෙන දෙන්න සතුටෙන් කසාද බඳිනකනුත් අර්ජුන් දන්නෙ නෑ “දීපිකා මහ හයියෙන් ගොරවන කෙනෙක්” කියල.

මේ දෙන්නගෙ වෙඩින් නයිට් එක දවසෙ අර්ජුන් කතා කරන ගමන් කියනව මෙන්න මෙහෙම.

“මේ මම ඔයාට දෙයක් කියන්නද ඔයා මුකුත් හිතන්නෙ නැත්තම්?”

“ඔව් කියන්න”

“මම මාරම  Light Sleeper කෙනෙක් අනෙ පොඩි සද්දෙකටත් මට ඇහැරෙනව” කියල

දීපිකාට තරු පේන්නෙ එතනදි.

ඉතින් ප්‍රශ්නෙ පටන්ගන්නෙ හිමින් සැරේ. හැබැයි අන්තිමේ මේ දෙන්න වගේම පවුල්වල අය හිතනව මේකට එකම විසඳුම දෙන්න වෙන්වෙන එක කියල.

ඒත් ඇත්තටම මේක එච්චර දරුණු විදියට ඉවර වෙන්න ප්‍රශ්නයක්ද?

ඇත්තටම විවාහ ජීවිතයකදි එන මේ වගේ අමුතු අමුතු ප්‍රශ්නවලට අපි මොනවගේ උත්තරද දෙන්න ඕන? අලුත බැඳපු ජෝඩුවකට සුලබව මුහුන දෙන්න වෙන මේ වගේ ගැටලු එක්ක විවාහ ජීවිතය ඉස්සරහට අරගෙන යන්නෙ කොහොමද කියල දැනගන්න මෙන්න මේ චිත්‍රපටය අපි බලන්නම ඕන.

ඉතින් නෙට්ෆ්ලික්ස් ඔස්සේ බලන්න DeAr!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here