බුද්ධකාලීන මහා ශ්‍රාවකයෝ – Saru News Media

0
7

බුදුහාමුදුරුවො ජීවමාන කාලයේදී දඹදිව පුරාවටම දහම් බෙරහඬ පතුරවන්න මහා ශ්‍රාවකයන් වහන්සේලා විශාල වෙහෙසක් ගත්තා. අපේ රටේ ජනතාවට උන් වහන්සේලා ගැන හරි අවබෝධයක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්. සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා ය​න අගසවු දෙනම ගැ​න අපේ අය දන්නවා. ඒ වගේම සීවලී මහරහතන් වහන්සේ ප්‍රත්‍යලාභීන් අතර අග්‍රස්ථානය ගන්න නිසා උන්වහන්සේගේ පින්තූරයක් හැම ගෙදරකම තියෙනවා. ඊට අමතරව අග්‍ර උපස්ථායක හාමුදුරුවෝ නිසා ආනන්ද හාමුදුරුවෝ ගැනත් දන්නවා. අපි අද කතා කථා කරන්න යන්නේ ලංකාවේ ජනතාව වැඩිපුර අහල නැති බුද්ධකාලීන මහ රහතන් වහන්සේලා කීප නමක් ගැන.

 

ගිහි කල භාරද්වාජ නමින් රජගහනුවර බ්‍රාහ්මණ කුලයක ඉපදුණු උන් වහන්සේ පන්සියයක් සිසුන්ට ආචාර්යවරයෙක් බවට පත්වුණා. රසවත් ආහාර පාන වලට දැඩි රුචියක් දක්වා නිසා එතුමාව පිණ්ඩෝල භාරද්වාජ විදිහට ප්‍රසිද්ධියට පත් වුණා. බුදුරජාණන් වහන්සේ මුණ ගැසී ධර්මය අසා පැවිදි බවට පත් වුණු උන් වහන්සේ රහත් බවට පත් වුණා. රහත් බවට පත් වූ උන්වහන්සේ යම් කෙනෙක්ට ධර්මය පිළිබඳව සැකසංකා ඇත්නම් තමන්ගෙන් විමසා බලන ලෙස සිංහනාද කළා. මේ නිසා බුදු රජාණන් වහන්සේ උන් වහන්සේව “සිංහ නාද පවත්වන ශ්‍රාවකයන් වහන්සේ අතර අග්‍රස්ථානයේ” තැබුවා. 

වතාවක් රජගහනුවර සිටුවරයා සඳුන් වලින් පාත්‍රයක් හදලා රියන් හැටක් උස උණ ගසක් මත තියලා ලෝකයේ රහතන් වහන්සේලා සිටී නම් අහසින් පැමිණ මෙම පාත්‍රය ලබා ගත යුතුයි කියා අභියෝග කළා. උණ ගස මුදුනට අහසින් වඩිමින් ප්‍රාතිහාර්ය පෑ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ එම පාත්‍රය රැගෙන ගියා. මේ ගැන දැන ගන්න ලැබුණු බුදුරජාණන් වහන්සේ නැවතත් එවැනි දේ සඳහා ප්‍රාතිහාර්ය පෑම නොකළ යුතුයි කියලා විනය ශික්ෂා පදයක් පනවනු ලැබුවා.

 

ගිහි ක​ල සිද්ධාර්ථ කුමාරයාගේ ඥාති සහෝදරයෙකු වූ අනුරුද්ධ කුමාරයා පසු කාලයකදී උපාලි කරණවෑමියා, ආනන්ද කුමරු ස​හ දේවදත්ත කුමරු ආදී තමන්ගේ ඥාතී පිරිසක් සමග බුදුරජාණන් වහන්සේ හමුවී පැවිදි බව ලබා ගත්තා. විදසුන් වඩා මහරහත් භාවයට  පත්වුණු උන්වහන්සේ දිවැස් ලාභීන් අතර අග්‍රස්ථානයට පත් වුණා. බුද්ධ පරිනිර්වාණය අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ විවිධ සමාපත්තීන්වලට සම වැදෙද්දී උන්වහන්සේ පිරිනිවන් පා ඇතැයි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සැක පළ කළා. ඒ අවස්ථාවේදී දිවැසින් බලා බුදුරජාණන් වහන්සේ තවම පිරිනිවන් පා නොමැති බවත් විවිධ සමාපත්තිවලට සම වැදී ඇති බව අනුරුද්ධ මහරහතන් වහන්සේ ප්‍රකාශ කළා. පළමු ධර්ම සංගායනාවෙන් පසුව අංගුත්තර නිකාය ආරක්ෂා කර ගැනීමේ වගකීම අනුරුද්ධ මහරහතන් ​වහන්සේ ප්‍රමුඛ ශිෂ්‍ය පරපුරට පැවරුණා.

 

ගිහි කල සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ සහ බාල සොයුරා වුණු රේවත මහරහතන් වහන්සේ පැවිදි දිවියට එළඹෙන්නේ අමුතුම ආකාරයකට. උන්වහන්සේගේ මව උන් වහන්සේ පැවිදි දිවියට එළඹීම වැළැක්වීමට විවාහයක් සූදානම් කරනවා. තම විවාහය සඳහා දෝලාවෙන් රේවත කුමාරයාව රැගෙන යද්දී, ඔහු දෝලාවෙන් බැස පලා ගොස් භික්ෂූන් වහන්සේලා හමුවී මහණ වෙනවා. ඉතාමත් දුෂ්කර කිහිරි ගස් වලින් පිරුණු වනාන්තරයක භාවනාවේ නිරතවන උන් වහන්සේ පළමු වස් කාලය තුළදීම රහත් භාවයට පත් වෙනවා. මේ බව දකින බුදු රජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයා පිරිවරාගෙන කිහිරි වනයට වඩිනවා. තමන්ගේ ඍද්ධි බලයෙන් භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය සියලු පහසුකම් රේවත මහරහතන් වහන්සේ විසින් සපයනු ලබනවා. උන්වහන්සේ ආරණ්‍යගත ව ගෙවන දුෂ්කර ජීවිතය විමසා බලන බුදුරජාණන් වහන්සේ ඛදිරවනීය රේවත හිමියන්ට ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබා දෙනවා.

 

සැවැත් නුවර බ්‍රාහ්මණ පවුලක ඉපදුණු වක්කලී මහරහතන් වහන්සේ බුදු රජාණන් වහන්සේ දැකීමෙන් ශ්‍රද්ධාවට පත්ව පැවිදි වුණා. නමුත් බුදු රජාණන් වහන්සේගේ රූපය කෙ​රෙහි බැඳුණු උන්වහන්සේ දිගින් දිගටම බුදුරජාණන් වහන්සේ දෙස බලමින් කාලය ගත කරන්න වුණා. මේක වටහා ගත් බුදුරජාණන් වහන්සේ වක්කලී තෙරුන් කෙරෙහි මහා කරුණාවෙන් මේ රූපයේ ආදීනව පිළිබඳව දේශනා කළා. ඒ උතුම් ධර්මය මෙනෙහි කළ වක්කලී හිමියන් මහ රහත් භාවයට පත් වුණා. උන්වහන්සේගේ අතිමහත් ශ්‍රද්ධාව අගය කළ බුදුරජාණන් වහන්සේ සැදැහැවත් භික්ෂූන් වහන්සේ අතර අග්‍රස්ථානය වක්කලී මහරහතන් වහන්සේට පිරිනමනු ලැබුවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here