මනුස්සයෙක් ඇත්තටම ස්මාට් කියලා අඳුනගන්න පුළුවන් ගති ලක්ෂණ මේවායි! – Saru News Media

0
6

ස්මාට් මනුස්සයෙක් කියන්නේ කොයි වගේ කෙනෙක්ද? සරලවම කිවුවොත් හොඳ ඔළුවක් තියෙන කෙනෙක්ට. මෙහෙම ස්මාට් මනුස්සයෙක් වෙන එකේ තියෙන වැදගත්කම මොකද්ද? ඒකත් සරලයි. ස්මාට් මනුස්සයෙක් ජීවිතේ හරි විදියට ගත කරන්න දන්නවා, ජීවිතේ විඳින්න දන්නවා. ස්මාට් මනුස්සයෙක් ගාව අපූරු ආකර්ෂණයකුත් තියෙනවා. ඉතින් ස්මාට් මනුස්සයෙක් වෙන එක අමාරු දෙයක් නෙවෙයි. ජීවිතේ සමහර සමහර පුරුදු ඇතිකරගන්නකොට අපිට ඉබේම ස්මාට් වෙන්න පුළුවන්. ආන්න ඒ වගේ පුරුදු – ඒ කියන්නේ ස්මාට් මනුස්සයෙක් ගාව තියෙන ගතිලක්ෂණ කීපයක් ගැන තමයි මේ කියන්න යන්නේ!

 

අපි පුංචි කාලේ අපිට මොකක් හරි ගැඹුරෙන්ම ලැදියාවක් තිබුණු දෙයක් තිබුණා මතකද? සමහරු මුද්දර එකතු කලා. සමහරු කාර් වලට පිස්සු වැටිලා හිටියා. තව සමහරු පොත් පිස්සෝ වෙලා හිටියා. ඇත්තටම මේ දේවල් ඒ කාලේ අපේ විනෝදාංශ. හැබැයි අපි ඔය විදියේ අපේ ලැදියාවන් වුණු විනෝදාංශ ගැන පරතෙරටම දැනගෙන හිටියා මතකද? ආන්න ඒ ගුණය තමයි අපි ගාව අදත් ස්මාට් මනුස්සයෙක් විදියට තියෙන්න ඕන වෙන්නේ. ඒ ලැදියාව මොන දෙයක් ගැන වුනත් කමක් නෑ. සමහරු ක්‍රිකට් ගැන ඔය වගේ පැෂන් එකක් පවත්වගන්නේ. හැබැයි අනෙක් කොල්ලෝ ක්‍රිකට් බලන නිසා සෝබනේට බලන උන්දෑ කෙනෙක්ට තියෙන්නේ පැෂන් එකක් නෙවෙයි. එහෙම කෙනෙක්ට ක්‍රිකට් ගැන විශාරද දැනුමකුත් නෑ. හැබැයි ඇත්තටම ක්‍රිකට් පිස්සුව තියෙන මිනිස්සු ක්‍රීඩාව ගැන විතරක් නෙවෙයි, ක්‍රිකට් වල ඉතිහාසය ගැනත් දන්නවා. ඒ වගේම එහෙම මිනිස්සු තමන්ගේ දැනුමෙන් ක්‍රිකට් ගැන ඉතා හොඳ විශ්ලේෂණයක් වුනත් දෙන්න දන්නවා. ආන්න ඒ වගේ ගැඹුරු පැෂන් එකක් සහ ඒ පැෂන් එක ගැන පතලා වූ දැනුමක් තියෙන මිනිස්සු මාරම සෙක්සි!

 

 දැන් කාලේ ගොඩක් අය පොත් පත් කියවන්න හොරයි. ඒකට ඉතින් ස්මාට්ෆෝන් එක එහෙමත් වග කියන්න ඕන. හැබැයි හොඳ පොතක් කියවන්න, හොඳ ෆිල්ම් එකක් බලන්න කැමති කොල්ලෝ කෙල්ලෝ තාම ඉන්නවා. ඔව්, කියවන්න අකමැති නම්, ෆිල්ම් බැලුවත් කමක් නෑ. ආන්න ඒ වගේ අය බොහෝ දුරට ස්මාට් මිනිස්සු. ගොඩක් වෙලාවට හොඳ පොතක් පතක් කියවන, හිතන්න මතන්න දෙයක් තියෙන ෆිල්ම් එකක් බලන මනුස්සයෙක් එක්ක කථා කරන්න දේවල් තියෙනවා. ඒ වගේ මිනිස්සු එක්ක කථා කරනකොට ඒ මිනිස්සුන්ගේ දැනුම ගැන ආසා හිතෙනවා. ආන්න ස්මාට් වීමේ ප්‍රතිඵල.

 

අපි ස්මාට් මනුස්සයෙක් එක්ක කතාබහක යෙදෙන එක ගැන උඩින් කිවුවනේ. ඒ වගේම තව දෙයක් තමයි ස්මාට් මනුස්සයෙක් කථාබහ කරන විදිය. ඒ කියන්නේ දැන් සමහරු ඉන්නවා තමන්ගෙ වියත් බව පෙන්නන්න බොරු හරබර කෑලි දාලා කථා කරනවා. තව සමහරු ඉන්නවා අමුතු අමුතු ඇක්සන්ට් දාලා කථා කරනවා. තවත් සමහරු ඉන්නවා ඉංග්‍රීසි කෑලි එහෙන් මෙහෙන් සිංහල මැද්දට දදා කථා කරනවා. හැබැයි ඇත්තටම ස්මාට් මනුස්සයෙක්ට ඔය එකක්වත් කරන්න ඕන නෑ. ඇත්තටම ස්මාට් මනුස්සයෙක් කථා කරනකොට අහගෙන ඉන්න ආසයි. ගොඩක් වෙලාවට ඇත්තට ස්මාට් මනුස්සයෙක් සිංහලෙන් කථා කරනකොට ඉංග්‍රීසි කෑලි බෑලි පාවිච්චි කරනවා හොරයි. හැබැයි ඉංග්‍රීසියෙන් කථා කරනකොට වුනත් එහෙම මනුස්සයෙක් කරදරයක් නැතුව ඉංග්‍රීසියෙන්ම කථා කරයි. ඒ වගේම ස්මාට් මනුස්සයෙක්ගේ උච්ඡාරණය පැහැදිලියි. ඕන නැති බොරු ඇක්සන්ට් කෑලි නෑ. බොරු බර වචන නැති වුනාට, කථා කරන භාෂාව බොහොම වියත් සහ උසස්. 

 

දැන් ඔය ස්මාට් මනුස්සයෙක් එක්ක කථා බහ කියනකොටම මතක් වෙන දෙයක් තමයි, ස්මාට් මනුස්සයෙක් මොනවද කථා බහ කරන්නේ කියන එක. දැන් සාමාන්‍ය මනුස්සයෙක්ට ගොඩක් වෙලාවට ක්‍රිකට් වගේ ක්‍රීඩාවක් ගැන වර්තමාන තොරතුරු කථා කරන්න පුළුවන්. අනිවාර්‍යයෙන්ම ලංකාවේ පොලිටික්ස් ගැන කථා කරන්න පුළුවන්. අව්ව, වැස්ස ගැන කථා කරන්න පුළුවන්. හැබැයි ඒ එක කථාවකවත් ලොකු ගැඹුරක් බලාපොරොත්තු වෙන්න බෑ. උදාහරණයක් විදියට ගත්තොත් සාමාන්‍ය මනුස්සයෙක් ලංකාවේ පොලිටික්ස් ගැන කියන්නේ “ඕකුන් ඔක්කොම එලෝලා දාන්න ඕන, රට කන දේශපාලුවෝ” වගේ කතන්දර. එහෙම නැතිනම් “අරුන්ව එලෝලා මුන්ව පත් කරගෙන ඔය කොලේ” වගේ කතන්දර. හැබැයි ස්මාට් මනුස්සයෙක් එක්ක පොලිටික්ස් ගැන කථා කරන්න සෙට් වුනොත් ඔය වගේ සිල්ලර කතන්දර කියන්නේ නැහැ. ඊට වඩා ගැඹුරින්, විශ්ලේෂණාත්මකව දෙයක් කථා කරන්න පුළුවන්. ඒ වගේම ස්මාට් මනුස්සයෙක්ගේ දැනුම මේ දූපත ඇතුළේ වර්තමානයට විතරක් සීමා වෙන්නෙත් නෑ!

 

දැන් ඔය සංගීතේ වගේ දෙයක් ගත්තහම මිනිස්සු කැමති ගායකයෝ ඉන්නවා, අකමැති ගායකයෝ ඉන්නවා. සමහරු සිංහල ක්ලැසික් සිංදු වලට කැමති වෙනකොට තවත් එක්කෙනෙක් මල් සිංදු වලට ආසයි. දැන් අපිට බැහැ ඔය එකක් ලොකුයි, අනික පොඩියි කියලා කියන්න. එහෙම කියන එක සාධාරණත් නෑ. ස්මාට් මනුස්සයෙක් කවදාවත් තව මනුස්සයෙක්ගේ ටේස්ට් එක විවේචනය කරන්න දඟලන්නෙත් නෑ. හැබැයි ස්මාට් මනුස්සයෙක්ට ඉතාම සරල ටේස්ට් එකක ඉඳන් බොහොම සංකීර්ණ, පරිචයෙන් ලබාගන්න ඕන ටේස්ට් එකක් දක්වා පරාසයක් තියෙනවා. කොටින්ම ස්මාට් මනුස්සයෙක්ට ළමා ගීයක් අහලා රස විඳින්න පුළුවන් වගේම, ඔපෙරා එකක් අහලා රස විඳින්නත් පුළුවන්. ඔපෙරා එකක් අහලා “බළල්ලු කෑ ගහනවා වගේ” කියලා ස්මාට් මනුස්සයෙක් කවදාවත් කියන්නෙ නෑ! මේක සංගීතය සම්බන්ධයෙන් වගේම ආට් සම්බන්ධයෙනුත් මෙහෙමයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here